ජැක්සන් ඝාතන චූදිත මරේ අධිකරණයේ දී වරදකරු නොවන බව කියයි

ජැක්සන් ඝාතන චූදිත මරේ අධිකරණයේ දී වරදකරු නොවන බව කියයි

ඩොලර් 75000ක මුදල් ඇපයක්

ඉකුත් වසරේදී මාරක ඖෂධයක් ලබාදීමෙන් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින ඔහුගේ වෛද්‍යවරයා වන 56 හැවිරිදි කොන්රඩ් මරේ, පෙරේදා අධිකරණය හමුවේ ‘නිරුත්සාහක මනුෂ්‍ය ඝාතනය’ සම්බන්ධයෙන් වරදකරු නොවන බව ප්‍රකාශ කැර සිටියේ ය.

ජැක්සන් මරණය සම්බන්ධයෙන් සත්මසක් තිස්සේ පැවති පරීක්ෂණයක් කුළුගැන්වෙන මෙම නඩු විභාගය ජනයාගෙන් පිරි අධිකරණ ශාලාවකදී ඇරැඹුණු අතර මරේගේ නීතිවේදියා ඔහුගේ සේවා දායකයාට එරෙහිව ගොනුවුණු එකම චෝදනාවට ඔහු නිවැරැදි කරු බව කියා සිටියේ ය.

මෙහිදී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදීමට නියමිත වූ අතර අප්‍රේල් 5 දා පැවැත්වෙන මීළඟ නඩු දිනය තෙක් ඩොලර් 75,000ක මුදල් ඇපයක් මත ඔහු මුදාහැරිණ.

ජැක්සන් ජීවත්ව සිටියදී ඔහුට හමුවූ අවසන් පුද්ගලයා වන වෛද්‍ය මරේ, ඔහුට නින්ද යාමට පහසුවනු පිණිස ඖෂධයක් ලබා දී තිබුණි.

ජැක්සන්ගේ පෙරැත්තය මත අදාළ ඖෂධය ඔහුට ලබා දුන් බව මරේ පවසන අතර මෙම චෝදනාවට ඔහු වරදකරු වූවොත් සිවු අවුරුදු සිරදඬුවමකට යටත් වනු ඇත.

ජැක්සන්ට ඔහු ලබා දී තිබුණු ඖෂධය වෛද්‍ය නිර්දේශ මත සැත්කමකට පූර්වයෙන් ලබා දෙන්නක් බව පැවසී ඇති අතර වෛද්‍ය මරේට නඩු විභාගය පවත්නා කාලයේ දී සිය වෘත්තියේ නියැලීමට අවසර දී ඇතත් අදාළ ‘පොපොෆොල්’ නම් ඖෂධය නිර්දේශ කිරීම තහනම් කැර තිබේ.

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෛද්‍ය කොන්රාඩ් මරේ පෙරේදා ලොස් ඇන්ජලීස් උත්තරීතර අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සඳහා පැමිණි අවස්ථාව.
රොයිටර්

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා