රත්තරන් රූප – රාමුවක් !

රත්තරන් රූප – රාමුවක් !

සිනමා කෘතියක එක් රූප රාමුවකින් ජීවිතයක් වෙනස් කළ හැකි ය. මුළු මහත් සමාජයක් වෙනස් කළ හැකි ය. රටක් හා ජාතියක් පෙළ ගැස්විය හැකි ය. රූප රාමුවක් යනු එක්තරා විප්ලවයෙකි. ඉතිහාසයෙකි. තවත් විදියකින් මහා ප්‍රබන්ධයෙකි. සිනමාකරුවකු ගේ පරිකල්පනය තුළ මැවෙන මේ රූප රාමුව සෙලොලයිඩ් පටියකට හෝ රූපවාහිනී කැසටයකට හෝ පරිවර්තනය වීම යනු සංකීර්ණ ක්‍රියාවලියෙකි. ඊට අවශ්‍ය පසුබිම, කැමරා කෝණ, තාක්ෂණය, රංගනය, සංස්කරණය හා තවත් අවස්ථාවන් ඊට ඇතුළත් වේ. එම සියලු අවස්ථාවන්ට රටේ දේශපාලනය හා රාජ්‍ය නායකත්වයේ බලපෑම ද තිබේ. එම බලපෑම යහපත් නම්; සිනමාවේ හා ටෙලි නාට්‍යයේ අනාගතය යහපත් ය. නැතහොත් අයහපත් ය.

1980 ගණන් වනතුරු ම සිංහල සිනමාවට හොඳ කල දසාවක් තිබිණි. අසූ ගණන්වල සිට සිනමාව බිඳ වැටෙන්නට විය. විදේශීය චිත්‍රපටවල ආක්‍රමණය දේශීය සිනමාව සම්බන්ධයෙන් ගනු ලැබූ අයහපත් තීන්දු හා රටේ පැවැති කලබලකාරී තත්ත්වය ද සිනමාව කෙරෙහි බලපෑවේ ය. ඒ අනුව සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස බිඳ වැටී එහි නියුතු වූ වෘත්තිකයෝ බරපතළ අර්බුදයකට ලක්වූහ. විවිධ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් විය. වාර්තා නිකුත් විය. වැඩසටහන් ක්‍රියාත්මක විය. එහෙත් සිංහල සිනමාව ගොඩගැනීමට කිසිවකුටත් හැකිවූයේ නැත.

අද සිංහල සිනමාවට අලුත් යුගයක් උදා වී තිබේ. එම යුගය උදා වූයේ රාජ්‍ය නායකත්වයේ රසඥතාවට හා බුද්ධිමත්භාවයට පින් සිදු වන්නට ය. 2005 නොවැම්බර් 19 දා රාජ්‍ය නායකත්වයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 2006 – ජූනි - 29 දා ඉතා බුද්ධිමත් තීන්දුවක් ගත්තේ ය. එනම් ; විදේශීය චිත්‍රපට හා ටෙලිනාට්‍යය සඳහා බද්දක් අය කිරීමට තීන්දු කිරීම ය. ඒ වන විට පෞද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයක් මගින් විදේශීය ටෙලිනාට්‍ය දිගට - හරහට විකාශනය කරන්නට පටන්ගෙන තිබිණි. ඇතැම් චිත්‍රපටශාලා හිමියන් ද විදේශීය චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය කරන්නට පටන් ගෙන තිබිණි. ඒ නිසාම දේශීය චිත්‍රපට කලාව හා ටෙලිනාට්‍ය කලාව වළ පල්ලට යමින් තිබිණි.

විදේශීය චිත්‍රපට හා විදේශීය ටෙලිනාට්‍ය මගින් විනාශයක් දෙකක් සිදුකරන ලදී. පළමුවැන්න දේශීය කර්මාන්තය දුර්වල කිරීම ය. දෙවැන්න සාංස්කෘතික වශයෙන් රට ආක්‍රමණය කිරීම ය. මේ දෙකම කලාවට පමණක් නොව රටේ සමාජ - ආර්ථික පරිසරයට ද බලපෑම් කළේය. විවිධ විචාර, විවේචන, සමීක්ෂණ ඉදිරිපත් වුව කිසිවකු තීන්දුවක් ගත්තේ නැත. දේශීය කලාව හා සංස්කෘතිය දෙස හැරී බැලුවේ ද නැත. සිනමා ශාලා ඇඟලුම් කම්හල් බවට ද, සංචාරක හෝටල් බවට ද පරිවර්තනය විය. ඇතැම් සිනමා ශාලාවක කරාටේ හෝ කුංග්ෆු හෝ පන්ති පැවැත්විණි. මහින්ද රාජපක්ෂ මහතා එම විනාශය නැවැත්වී ය.

ශ්‍රී ලංකාවේ පළමුවරට සිනමා හා ටෙලි නාට්‍ය සඳහා උද්‍යානයක් හෙවත් එළිමහන් චිත්‍රාගාරයක් බිහි වී තිබේ. පසුගිය 30 දා එහි පළමු අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විණි. මේ වනා හී සිංහල සිනමාවේත්, සිංහල ටෙලිනාට්‍ය කලාවේත් තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. රන්මිහිතැන්න සිනමා තෝතැන්න ඉදි වී ඇත්තේ විදේශීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා අයකරන බදු මුදලෙන් ය. මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිර්මාණාත්මක චින්තනයට අනුව බිහි වූ ස්වර්ණමය ත්‍යාගයක් ලෙස සැලකිය හැකි ය. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි - සිනමා උද්‍යානය ඉදිකිරීම ජාතික චිත්‍රපට සංස්ථාවක් බිහිකිරීමටත් වඩා වැදගත් ය.

ලෝකයේ දැවැන්ත සිනමා කර්මාන්තයන් සහිත ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, ඉරානය, ස්වීස්ටර්ලන්තය වැනි රටවල ආණ්ඩු එරට සිනමාවට හා ටෙලි නාට්‍ය කලාවට බලවත් කැපවීමක් කරයි. විශේෂ අනුග්‍රහයක් ද දක්වයි. එබැවින් එබඳු රටවල සිනමාව බෙහෙවින් දියුණු තත්ත්වයකට පැමිණ තිබේ. රාජ්‍ය නායකත්වයට අවශ්‍ය නම්; දේශීය කලාව අනන්‍යතාවක් සහිත ව දියුණු කළ හැකි ය. එය රාජ්‍ය නායකත්වය අතින් ඉටුවිය යුතු යුතුකමක් සේ සැලකිය හැකි ය. එහෙත් මේ රටේ හිටපු පාලකයන්ට කලාව අමතක වී තිබිණි. සංස්කෘතිය අමතක කර තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා ඒ දුර්ගුණ සහිත ඉතිහාසය වෙනස් කළේ ය.

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය අක්කර සියයක පමණ භූ®මි භාගයක් පුරා පැතිර තිබේ. එය නවීන තාක්ෂණික පහසුකම්වලින් යුක්ත ය. මේ අනුව දේශීය, චිත්‍රපට රූගැන්වීම් ද, ටෙලිනාට්‍ය රූගැන්වීම් ද එහි දී කළ හැකි ය. එයින් ප්‍රධාන වාසි දෙකක් ලැබේ. එකක් නම් මෙබඳු රූ ගැන්වීම් සඳහා දේශීය චිත්‍රපට කරුවාට වැය වන අධික වියදම ඉතිරි කර ගැනීමට හැකිවීම ය. දෙවැන්න තමන්ගේ දේශීය අවශ්‍යතාවට ගැළපෙන ලෙස හා වඩාත් කාර්යක්ෂම ලෙස වැඩ කටයුතු නිමාවකට පත්කිරීමට හැකිවීමය. මේ ක්‍රියාවලීන් දෙකම අපගේ කලාවට හොඳ සේවයක් කරනු ඇත. අනාගත පරම්පරාව කලාව දෙසට යොමු කරවනු ඇත. ඔවුන් කලාත්මක අගයකින් යුතු හොඳ නිර්මාණ බිහි කරනු ඇත.

රන්මිහිතැන්න ටෙලි - සිනමා තෝතැන්න විවෘත කරමින් ජනාධිපතිවරයා අපූරු ප්‍රකාශයක් කළේ ය. එනම්; උතුරු - නැඟෙනහිර යුද්ධය හෙවත් ත්‍රස්තවාදය අවසන් කළා සේ ම රටේ සිදුවෙමින් පවතින සාංස්කෘතික විනාශය ද වහාම නවත්වන බව ය. විදේශීය චිත්‍රපට හා ටෙලි නාට්‍යය මගින් අපේ සමාජය වෙත ප්‍රබල බලපෑමක් ඇතිකර තිබිණි. එක අතකින් අපගේ විනය පිරිහිණි. තව අතෙකින් විකෘති සමාජයක් බිහි කරමින් මෙරට පවුල් සංස්ථාවේ සමගියට බාධා ඇති කළේ ය. කුමන හෝ ජරාවක් පෙන්නා තමන් ගේ පොකැට්ටුව තරකරගන්නා මාධ්‍ය මුදලාලිලා මෙහි පෙරමුණ ගත් හ. ඔවුන්ට රටේ අනන්‍යතාවෙන් වැඩක් නැත. ශිෂ්ටාචාරයෙන් වැඩක් නැත.

මහින්ද රාජපක්ෂ මහතා ගත් බුද්ධිමත් තීන්දු සමඟ මාධ්‍ය මුදලාලිලා එකඟවූයේ නැත. මිනිසා ගේ මූලික නිදහසට හා රස වින්දනයේ නිදහසට බාධා ඇතිකරන්නේ යැයි මාධ්‍ය මුදලාලිලා තර්ක කළ හ. එහෙත් ජනාධිපතිවරයා ගත් තීන්දුව වෙනස් කළේ නැත. එතුමා දේශීය කලාව වෙනුවෙන් ද එම කර්මාන්තය වෙනුවෙන් ද පොදුවේ රසිකයා වෙනුවෙන් ද පෙනී සිටියේ ය. ජනාධිපතිවරයා ගේ එම නොසැලෙන ගමන් මඟෙහි එක් ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය හඳුන්වාදිය හැකි ය. අද පරපුර පමණක් නොව මතු පරපුර ද මේ විශිෂ්ට ඉදිකිරීම දැක ප්‍රහර්ෂයට පත් වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා