එජාපය-ජවිපෙ මේ ඡන්දයෙන් කුජීතයි

එජාපය-ජවිපෙ මේ ඡන්දයෙන් කුජීතයි

මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රීලනිප මහ ලේකම්, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය

සුගියදා නිකුත් කළ තම කෘතීන් ද්විත්වය පිළිබඳව, එළැඹෙන මහ මැතිවරණය සහ අගමැති සටන පිළිබඳවත් කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් දක්වයි.

* ඔබගේ පසුගිය අත්දැකීම් සම්බන්ධව “ඇත්තයි සත්තයි”, “95 න් පසුව මහවැලිය” ලෙස කෘතීන් දෙකක් නිකුත්වුණා. මේ සම්බන්ධයෙන් කතා කරලම අපි සාකච්ඡාව ආරම්භ කරමු?

‘ඇත්තයි සත්තයි’ කියන පොත මගේ ජීවිතයේ දේශපාලන අත්දැකීම් මතයි පසුගියදා එලිදැක්වුණේ. කාලයක් මගේ ජීවිතය හා සම්බන්ධ තොරතුරු සතිපතා පුවත්පතක පළවුණා. ඒ තොරතුරු සහ පුවත්පතේ අන්තර්ගත නොවුණු තවත් තොරතුරු එකතු කරලා තමයි මේ කෘතිය රචනා වුණේ. මේ මඟින් තරුණ පරපුරට ආධුනික දේශපාලනඥයන්ට වැදගත් වේවි කියලා මම හිතනවා. ඒවගේම 95 න් පසුව මහවැලිය යන කෘතියෙන් කඩිනම් මහවැලි ව්‍යාපෘතිය 1995 න් පසුව සිදුවුණු දේ පිළිබඳ කතා කරනවා. විශේෂයෙන් මතයක් තියෙනවා 1995 න් පස්සේ මහවැලි ව්‍යාපෘතිය පිළිබඳ අඩුවෙන් අපි සැලකුවේ කියලා මතයක් තියෙනවා. නමුත් එහෙම නොවේ කියන එක මේ කෘතිය මගින් පැහැදිලි කෙරෙනවා.

* මහ මැතිවරණයට තව දින කිහිපයයි තියෙන්නේ. ප්‍රතිඵලය කුමක් වේවි කියා ඔබ සිතනවාද?

මහ මැතිවරණය අපි ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා. අද රටේ විපක්ෂයක් නැහැ. මම මගේ මැතිවරණ ජීවිතයේ මැතිවරණ රාශියකට මුහුණදීලා තියෙනවා. මෙවර මම තරග කරන්නේ හයවෙනි මහ මැතිවරණයටයි. මම දන්න ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් මේ විදිහට විනාශ වෙලා, දුර්වල වෙලා, යටපත් වෙලා තියෙනවා. මම දැක්කේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් විපක්ෂයක් නැති මහ මැතිවරණයකට අපි මුහුණදීලයි ඉන්නේ. එම නිසා පවතින ඡන්ද ක්‍රමය යටතේ ලබාගත හැකි ඉහළම ඡන්ද සංඛ්‍යාව අපි මෙවර ලබනවා.

* ආණ්ඩුවේ බොහෝ ප්‍රධානීන් 2/3 ක බලයක් ලබා ගැනීම සම්බන්ධයෙනුත් නොයෙක් මත ප්‍රකාශ කරනවා?

ඔව්. මේ තියෙන තත්ත්වය අනුව 2/3 ක බලයක් අපිට ලැබෙනවා. පසුගිය පළාත්සභා මැතිවරණවලදී පවතින මැතිවරණ ක්‍රමය තිබියදීත් අපිට පළාත් සභා කිහිපයකම 2/3 බලයක් ලැබුණා. අද පවතින ව්‍යවස්ථාව හදපු විශාරදයොත් මේ පවතින ක්‍රමය යටතේ 2/3 බලයක් ගන්න බැහැයි කිව්වා. නමුත් පසුගිය පළාත් සභාවලදී අපි පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්නා, ඒ තත්ත්වය වෙනස් වෙන බව. ඒ වගේම රටේ අපට පවතින ජන ප්‍රසාදය අනුව 2/3 ක් ලබා ගැනීම අපහසු දෙයක් නොවෙයි.

* හොඳයි ආණ්ඩුව 2/3 ක් ලබාගත්තට පස්සේ මොකද කරන්නේ?

ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍ය කරන ව්‍යවස්ථාමය වෙනස්කම් කරනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා අද හැමෝම කියනවා. විශේෂයෙන්ම දේශපාලන සංස්කෘතිය පහළට කඩා වැටිලා තියෙන්නේ මේ මැතිවරණ ක්‍රමය නිසයි. සදාචාරසම්පන්න යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා මේ මැතිවරණ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ. මේ මැතිවරණ ක්‍රමය නිසා එකම පක්ෂය තුළ ඇතිවන අසමගිය, මනාප සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් වැයකිරීමේ අවශ්‍යතාවය පෙනෙනවා. මේ නිසා මැතිවරණ ක්‍රමය වහාම වෙනස් කරන්න ඕනේ. ඒවගේම රටේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවයට අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීම, 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සශෝධනය කිරීම, ව්‍යවස්ථාදායක සභාවේ තිබෙන සංකීර්ණභාවයට විසැඳුම් සෙවීම මෙවැනි කරුණු රාශියක් තියෙනවා. ඒ නිසා රට ඉදිරියට ගෙනියන්න රට සංවර්ධනයට අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුයි. ඒක අපි 2/3 බලය ලබාගෙන කරනවා.

* ආණ්ඩුවට පසුගිය කාලයේ එල්ල වූ ප්‍රධාන චෝදනාවක් තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන් මාර්ගයක කටයුතු කරනවා කියන එක. දැනට ආණ්ඩුව පැහැදිලි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලත් නැහැ. මේ නිසා 2/3 ක බලය ලබාගෙන අන්තතෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනකට ආණ්ඩුව යාවි යැයි සමහරු අදහස් දක්වනවා?

ඔය එජාපයටයි, ජවිපෙටයි අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න පුළුවන්ද? 1977 බලයට පත්වෙලා අවුරුදු 12 කට මැතිවරණ සිතියම අහෝසි කරපු මිනිස්සු තමයි ජනමත විචාරණ තියලා කලගෙඩි සෙල්ලම් දාලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළලපු අය තමයි අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. එදා ජවිපෙ 88/89 කාලයේදී ඡන්ද පොළට ආපු පළමු ඡන්ද දායකයාට වෙඩි තිබ්බා. සම්පූර්ණයෙන්ම ඡන්ද ක්‍රමයට විරුද්ධව කටයුතු කළා. එහෙම මිනිස්සු කොහොමද කටක් ඇරලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාවත් මැතිවරණ කල්දාලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ සෙයින් ආරක්ෂා කරලා කටයුතු කරනවා. ඒ නිසා ජවිපෙ සහ එජාපය අද සිහින දකිනවා. නමුත් මේ රටේ ජනතාව දන්නවා මේ අය තමන්ගේ බලය තියෙන කාලයේ කොහොමද ක්‍රියා කළේ කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්තයලා 88/89 වැඩ කළේ කොහොමද කියන එක හැමෝම දන්නවා. ඒනිසා ප්‍රජාතන්ත්‍රවාදයේ කළුපැල්ලම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන්නේ ජ.වි.පෙ.ට සහ එජාපයටයි. එහෙම බලපුවාම ප්‍රජාතන්ත්‍රවාදය රැකලා තියෙන්නේ අපිියි. අපි ව්‍යවස්ථාමය වෙනසක් කළත් ඒ තුළ කොහෙත්ම ජවිපෙ සහ එජාපය කළ විනාශය අපි කරන්නේ නැහැ. ඡන්දය කල්දාන්නේ නැහැ. මැතිවරණ කාලසටහන නියමිත පරිදි තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න හැම පියවරක්ම අරගෙන තියෙනවා. ඉදිරියට අපෙන් ප්‍රජාතන්ත්‍රවාදයට කිසිම හානිකර බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

* විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තියෙනවා ආණ්ඩුවට 2/3 බලයක් අවශ්‍ය නැහැ. ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය සහය තම පක්ෂය ලබාදීමට සූදානම් බව?

විපක්ෂ නායකතුමා අද කියන ඒවා නොවෙයි හෙට කියන්නේ. එයාට රෑට නින්දට යනකොට එකයි ඇහැරෙන කොට එකයි එක එක විදිහට එයා කතා කරන්නේ. ඔවුන් මැතිවරණ ප්‍රකාශන කීයක් දුන්නද, ජනාධිපති ඡන්දයට එකයි. මහ මැතිවරණයට එකයි. මෙහෙම මැතිවරණ ප්‍රකාශන කීයක් දුන්නද. එජාපය අද කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක් බවට පත්වෙලා තියෙනවා. විපක්ෂ නායකතුමා මෙහෙම ක්‍රියාකරන නිසා තමයි එජාපය අද නැත්තටම නැතිවෙලා තිබෙන්නේ. විපක්ෂ නායකතුමා හීන දකිනවා විතරයි. එයාගේ හීන කවදාවත් සැබෑ වෙන්නේ නැහැ. සෝදාපාළුවකට යනවා විතරයි.

* එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා නැහැ?

අපිට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඕනේ නැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු ප්‍රකාශනයම තමයි අපේ මහ මැතිවරණ ප්‍රකාශනයයි ජනාධිපති ඡන්දයයි මහ මැතිවරණයයි, පළාත් සභාවයි කියලා වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. අපිට ස්ථිර ප්‍රතිපත්තියක් තියෙනවා. එතැන ප්‍රතිපත්ති දෙකක් නැහැ එක ප්‍රතිපත්තියයි තියෙන්නේ. ජනාධිපතිධූරය, පාර්ලිමේන්තුව, පළාත් සභාව කියලා රටේ ආයතන තියෙනවා. ඒ සඳහා විවිධ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. මතක තියා ගන්න අපි එක ප්‍රතිපත්තියයි. එකම ජාතික සංවර්ධන සැලැස්මයි තියෙන්නේ. අපේ ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරන්නයි අපිට පාර්ලිමේන්තුවේ බලය අවශ්‍ය වෙන්නේ. රටේ ජනතාව ජනාධිපතිධූරය මහින්ද රාජපක්ෂ මහත්තයාට දීලා බලාපොරොත්තු වුණේ රටේ සංවර්ධනයයි. එය ඉටුකරන්න අපිට පාර්ලිමේන්තුවේ බලය දෙන්න කියලයි කියන්නේ.

* ආණ්ඩුව ඉදිරි කාලය සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරලා කටයුතු කරන බව ප්‍රකාශ කරනවා. එහෙත් මේ වනවිට අන්තර්ජාතිකව ආණ්ඩුවට ලැබෙන මූල්‍ය සහනාධාර නොලැබෙන තත්ත්වයක් පෙනෙනවා. මෙහෙම තත්ත්වයක ඉදිරි සංවර්ධනය විශේෂයෙන්ම ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීම යථාර්ථයක් වේවිද?

අපි හැමදාම අන්තර්ජාතිකව හිඟමනේ ගිහිල්ලා හරියන්නේ නැහැ. යුද්දෙ තියෙනකොට රටේ ජනතාව කිව්වේ අපි ඕනෙ දෙයක් ඉවසන්නම් යුද්ධය ඉවර කරන්න කියලයි. යුද්ධය කළා ඒ වගේම මේ රට ආර්ථික වශයෙන් ගොඩ නගන්නත් පොල්කට්ටක් අරගෙන අන්තර්ජාතිකව හිඟා කන්නේ නැතිව ස්වශක්තියෙන් නැගී සිටින්න ඕනේ. අපේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක්. මැතිවරණයෙන් පස්සේ අපි ඔවුන්ට හොඳ වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා. රටක් විදිහට ඔළුව උස්සලා ඉස්සරහට වැඩ කරන්න. අපි අපි ගැන විශ්වාසය තියලා කටයුතු කරන්න ඕනේ. ජනතාවගේ බුද්ධිය මගින් කටයුතු කරලා රට ගොඩ නැගීම අපේ ඉලක්කයයි.

* එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂ ගණනාවක එකතුවක්. එවැනි තත්ත්වයක අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව අඩුකිරීම ප්‍රායෝගිකද?

ඕවා අපි ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ. දැන් අපි බැරි දේවල් ගැන හිතන්නේ නැතිව පුළුවන් දේ ගැන හිතලා කටයුතු කරන්නයි ඕනේ. අපිට ඕනේ දෙයක් කතා බහ කරලා සාකච්ඡා කරලා විසඳා ගැනීම තියෙනවා. පළාත් සභාවක ඇමැතිකම් 5 යි කියලා පළාත් සභා ව්‍යවස්ථාවේ තියෙනවා. ඒවගේ පාර්ලිමේන්තුවේ ඇමැතිකම් ගණන 35 යි කියලා සීමාකරලා ව්‍යවස්ථාව සැකසෙන්න ඕනේ. එතකොට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ අනුව අපිට කටයුතු කළ හැකියි.

* සන්ධානයේ අභ්‍යන්තරයේ අගමැතිධූරය සඳහා සීතල යුද්ධයක් පවතිනවා කියලා මාධ්‍යවල වාර්තාවෙලා තිබෙනවා?

කිසිම සටනක් නැහැ. මම එහෙම සටනක් දකින්නෙත් නැහැ. පෙනෙන්නෙත් නැහැ. මැතිවරණය ඉවරවුණාම ජනාධිපතිතුමා වඩාත්ම සුදුසු කෙනෙක් අගමැතිධූරයට පත්කරාවි. විපක්ෂය තමයි එක එක හීනයන් පෙනී අපේ ගැටුම් ගැන ප්‍රකාශ කරන්නේ. ඒවා විපක්ෂයේ නන් දෙඩවිලි විතරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා