වෙනිසියුලා ජනපති පාස්කුව වෙනුවෙන් සතියක නිවාඩුවක් දෙයි

බලශක්ති අර්බුදයට විසැඳුමක්:

වෙනිසියුලා ජනපති පාස්කුව වෙනුවෙන් සතියක නිවාඩුවක් දෙයි

සුපුරුදු පාස්කු නිවාඩුව තෙදිනකින් දීර්ඝ කරමින් රජය හා රජයේ ආයතනවලට සතියක නිවාඩුවක් ලබාදෙන බව වෙනිසියුලා ජනාධිපති හියුගෝචාවේස් ඉකුත් සතියේ ප්‍රකාශ කළේය. මෙය විදුලිබලය ඉතිරි කැරගැන්ම හා උග්‍රවන බලශක්ති අර්බුදයට විසැඳුමක් වශයෙන් ක්‍රියාත්මක කරන්නකි. ශුද්ධ වූ පාස්කුවට පූර්ව සඳුදා අඟහරුවාදා හා බදාදා ද පාස්කු නිවාඩුවට එක් කිරීමට අප තීරණය කැර තිබෙනවා. මේ අනුව ශුද්ධ වූ සතියම නිවාඩු කාලයක්” යැයි චාවේස් කීවේය.

කතෝලික බහුතරයකින් යුත් සෙසු ලතින් අමෙරිකානු රටවල් සේම වෙනිසියුලාවටද බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පූර්ව පාස්කු නිවාඩුව ලෙස සැලකේ. ඊට ඉදිරියෙන් වූ දින තුනද නිවාඩු ලබාදීමෙන් නිල පාස්කු නිවාඩුව සතියක කාලයක් ලෙස දීර්ඝ වෙයි. මෙහි මූලික අරමුණ කම්මැලිකම ඇතිකිරීම නොව විදුලිබලය ඉතිරිකැර ගැනීම යැයි චාවේස් කීවේය. රජය ප්‍රකාශ කැර ඇති පරිදි පවත්නා දරුණු නියඟය නිසා ධරිනෝකෝ නදියේ පිහිටි ගුරි ජලවිදුලිබලාගාරය ආශ්‍රිත ජලාශයේ ජල මට්ටම “හදිසි මට්ටමට” ළඟා වී තිබේ. මෙම විදුලිබලාගාරයෙන් රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් සැපයේ.

එහෙත් විපක්ෂය චෝදනා කරන්නේ බලශක්ති අංශයේ ආකාර්යක්ෂමතාව හා ආයෝජන මඳකම බලශක්ති අර්බුදයට හේතුව බවය. මේ බලශක්ති අර්බුදය නිසා ඉකුත් මස රජයෙන් නිකුත් කැරුණු නියෝගයකට අනුව පුද්ගල විදුලිබල පරිභෝජනය 10%කින් කප්පාදු කළ යුතු අතර සමාගම් 20%කින් අඩුකළ යුතු විය. මෙම නියමය උල්ලංඝණය කරන්නන්ට දඩ පැනවිණ. නියමිත විදුලිබල කෝටාව ඉක්මවූ සමාගම් හා කඩසාප්පු 96කට 24 පැයක විදුලි කප්පාදු දඬුවමක් ලබාදීමට ඉකුත් සතියේ වෙනිසියුලා රජය පෙළඹී තිබිණ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා