2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේදී

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේදී

ඡන්ද විමසීම 2011 ඔක්තෝබරයේ කොදෙව් දූපත්හිදී

වසර 2018 දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව හෝ ඕස්ට්‍රේලියාව තෝරාගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාවේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණය ආශ්‍රිතව හා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආශ්‍රිතව 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට ලැබුණු නාමයෝජනා එම සම්මේලනය පිළිගෙන ඇතැයි ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2018 වසරේදී පැවැත්වීමට නාමයෝජනා කැඳවීම පෙරේදා රාත්‍රියෙන් අවසන් වූ අතර ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාවේ ඉල්ලීම් 2011 ඔක්තෝම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්හි පිහිටා ඇති සාන්ත කිට්ස් හා නෙවීස් සම්මේලනයේ පැවැත්වෙන ඡන්ද විමසීමට ඉදිරිපත් කරනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට සාමාජික රටවල් 71 ක් ඇති අතර එම එක් රටකට එක් ඡන්දය බැගින් හිමිවේ. ඡන්ද විමසීමේදී බහුතර කැමැත්ත ලැබෙන රට 2018 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරක රට බවට ප්‍රකාශ වේ. ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයකට ඉදිරිපත් කර තහවුරු වීමෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා එම තීරණය ජනතාව වෙත නිවේදනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට සූරියවැව අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීමට දැනටමත් සැලසුම් කර ඇත. 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වුවහොත් එය 21 වැනි ක්‍රීඩා උළෙල වේ. 19 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2010 ඔක්තෝම්බර් 3 සිට 14 දක්වා නවදිල්ලියේදී හා 20 වැනි ක්‍රීඩා උළෙල 2014 දී ග්ලාස්ගෝව්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයේ සභාපති මයික් ෆර්නෙල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කළාප දෙකකට අයත් රටවල් දෙකක් 2018 ක්‍රීඩා උළෙල සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම ගැන තමා සතුටු වන බවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය ලැබීමෙන් පසුව එම රටට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා