යතුරු කපන්නට උපන් හපන් කම් ඇති වයිමන්

යතුරු කපන්නට උපන් හපන් කම් ඇති වයිමන්

දෙනෝදාහක් ජනයා සැරිසරන කලබලකාරීත්වයෙන් අනූන පදික වේදිකාව තම වෘත්තීය මධ්‍යස්ථානය කරගනිමින් යතුරු කැපීමේ කර්මාන්තය ජීවන වෘත්තිය කරගත් අපූර්වත්ම භූමිකාවක් හොරණ නගරයේදී දැක ගත හැකිවේ. හොරණ නගරයට මොහු පැමිණ ඇත්තේ, අද ඊයේ නොව දැනට වසර 25ට පමණ පෙර භද්‍ර යෞවනයේ පසුවන වකවානුවකදීය.

හෙතෙම අද වයස්ගත තත්ත්වයකින් පසුවුවත් මොහුගේ සේවාව නවීන විද්‍යාත්මක තාක්ෂණය හා සසදා බැලීමේදී ඊට ඉහළින් පසුවන බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවන්නේය. එයට මූලිකම හේතුව වන්නේ තාක්‍ෂණය හා සමගාමීව ඊටත් වඩා සුපිරි ප්‍රමිතියක් හා ඉක්මනින් තම සේවාව ඉටුකිරීමේ හැකියාවකින් යුක්ත වීමය.

උදේ සිට ඇඳිරි වැටෙනතුරුම තම උත්සාහය පෙරටු කර ගනිමින් මොහුගේ පියවි ඇසින් බලා සිවුම් යතුරු තව් පීරකින් පිරිමදිමින් සිදුකරන ක්‍රියාවලිය ආශ්චර්යමත් වේ. යතුරු තහඩුවක්, සුවිචයක්, දුටුවහාම එය දෙවරක් නොසිතා හා නොකර ඒ ක්ෂණයෙන්ම යතුර නිර්මාණය කිරීමේ උපන් හපන්කම පිළිබඳව හොරණ පමණක් නොව දිවයිනේ විවිධ පළාත්වල වෙසෙන ජනයා දැන හදුනාගෙන සිටින බැවින් එක දිනෙන් මොහොතෙන් එය ඉටුකර ගැනීම සඳහා ඔව්හු මොහු සොයා පැමිණෙති.

මොහුගේ ගම හොරණ අඟුරුවාතොට, උඩුවරය. නමින් වයිමන් සිල්වා වේ. දැනට වයස අවුරුදු 70 කට ආසන්නව සිටී. වයස අවුරුදු 20 දී පමණ නිවෙසින් පිටුවුණු වයිමන් රැකියාවක් සොයා කොළඹ පුරවරයට පා තැබුවේ සෙල්ලම් බඩු එල්ලාගත් රාක්කයක් හිසේ තබාගෙනය. මේ යන අතරතුර මොහුට උරුම වූ ජීවන වෘත්තියට පිවිසීමට මග හෙළිකරදී ඇත්තේ කොළඹ දී හමුවූ ද්‍රවිඩ ජාතික කන්දයියා නැමැත්තා විසිනි.

ඉන් අනතුරුව ඔහුගෙන් ලබාගත් කාර්මික ඤාණය හා පළපුරුද්ද මත නව වෘත්තීය රටාවකට යොමුවෙමින් යළිත් මොහු හොරණ නගරය තෝරාගත්තේ තම ගම් ප්‍රදේශයට ළඟපාත වූ බැවිනි. හොරණට අමතරව බදුරලිය, පාදුක්ක හා හෝමාගම නගරද සතියේ දින 03ක් වෙන්කර ගත් මොහු දිනකට රුපියල් 1500/=ක් පමණ ආදායම උපයාගැනීමට තරම් වාසනාවන්ත වී තිබේ.

නමුත් අද ඊට වඩා වෙනස් තත්ත්වයක් උද්ගතවී ඇතැයි මොහු පවසයි. වයස්ගතවීමත් සමඟම රෝග තත්ත්වයක් ද පහළවී ඇති බැවින් තම සේවාව ඉටුකිරීම මන්දගාමී තත්ත්වයකට පත්ව ඇති බවයි.

මේ කර්මාන්තය කරද්දී හොර යතුරු කපා ගැනීමට එන අයද මුණගැසී ඇතිමුත් එවැනි අවස්ථාවන් හඳුනාගෙන යතුරුතහඩුව නොමැතිව එය ඉටුකරදීමට නොහැකි බැව් පවසා ඔවුන්ව හිත සන්සුන්ව ආපසු යැව¼ අවස්ථා එමට තිබූ බැව් පැවසූ මොහු අදවනතුරුත් එවැනි සමාජ විරෝධී ක්‍රියාවකට දායක වී නැති බැව්ද පවසා සිටී. මෙසේ බලන කල්හි වයිමන් සිල්වා මහතාගේත් සමාජයට සිදුවන්නේ විශාල සමාජ මෙහෙවරකි. තරුණ පරපුරට ආදර්ශයෙකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා