මෙන්න කතාව!

මෙන්න කතාව!

හසය වන සාර්ක් සමුළුව අමතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ දේශනය අන්තර්ජාතික වශයෙන් විශේෂ සැලැකිල්ලට ලක් ව තිබේ. එක අතකින් රටවල් අටේ ම නායකයෝ ද එම දේශනය ගැන කුතුහලයෙන් සිටියහ. තව අතෙකින් ලෝක ජනමාධ්‍ය; මහින්ද රාජපක්ෂ මහතාගේ දේශනය වාර්තා කිරීමට බලවත් උනන්දුවක් දැක්වී ය. දකුණු ආසියාවේ ප්‍රබල රාජ්‍යය ඉන්දියාව වුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කෙරෙහි ජගත් ජනමාධ්‍යවල විශේෂා’වධානය යොමුව තිබිණි. ඊට බලපෑ ප්‍රධාන හේතුව නම්; ත්‍රස්තවාදය පරාජය කිරීමේ ලෝක අත්දැකීම් අනුව එහි ප්‍රමුඛස්ථානය මහින්ද මහතාට හිමිවීම ය.

භූ®තානයේ තිම්පු නුවර පැවැති දහසය වන සාර්ක් සමුළුවේ දී මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් කළ කතාව කෝටි එකසිය පනහකටත් අධික දකුණු ආසියාවේ සියලු මිනිසුන් වෙත මුද්‍රිත සන්නිවේදනයෙන් හෝ විද්‍යුත් සන්නිවේදනයෙන් හෝ බෙදාහැරීම ඉතා වැදගත් වේ. මහින්ද රාජපක්ෂ මහතා දකුණු ආසියාවේ ජනතාවට අනන්‍යතාවක් ඇති ව නැඟී සිටින්නැ’යි ආරාධනය කළේ ය. අපට අපේ ම වූ මාවතක් තිබිය යුතු ය. අපේ ම වූ දර්ශනයක් තිබිය යුතු ය. අප ගේ දර්ශනයට හා ප්‍රායෝගික වැඩපිළිවෙළට දිය හැකි කදිම නිදසුන වන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීම ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශනය අවසන් කළේ බුදු වදනක් සිහියට නඟමින් ය. තමන් හිසට තම අතමය සෙවණැල්ල යන්න එහි අර්ථයයි. දකුණු ආසියාවේ සියලු රාජ්‍යයන් එකට එක්විය යුතු ය. බාහිර වශයෙන් බලපාන ප්‍රශ්න හා අභියෝග නිරාකරණය කළ හැක්කේ පොදුත්වය සලකා අප ශක්තිමත් ව ඒකරාශී විය යුත්තොත් පමණි. එය ඉතා ප්‍රායෝගික සත්‍යයෙකි. මහින්ද මහතා ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කරන විට බටහිර රටවලින් ඊට සහයෝගයක් ලැබුණේ නැත. එම රටවල් විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අප පරාජය කිරීමට හැකි සෑම ප්‍රයත්නයක් ම ගත්තේ ය.

මහින්ද රාජපක්ෂ මහතා බටහිරට හිස නැමුවේ නැත. ඔහු අලුත් උපාය මාර්ග හොයමින් ත්‍රස්තවාදය පරාජය කළේ ය. දකුණු ආසියාවේ සහයෝගීතාවෙන් ඊට ලැබුණු ප්‍රබල සහයෝගයක් නැත. ජනාධිපතිවරයාට යම් සහයෝගයක් දැක්වූයේ වියට්නාමය, චීනය, ඉන්දියාව, රුසියාව, ඉරානය, ලිබියාව වැනි රටවල් පමණි. බටහිර මතවාදය එක් පාර්ශ්වයක ගමන් ගනී. දකුණු ආසියාවේ මතවාදය තවත් පාර්ශ්වයක ගමන් ගනී. දකුණු ආසියාව සම්මුතියක් ලෙස එකට බැඳී සිටියහොත් අපට මීට වඩා දුර ගමනක් යා හැකි ය. ඒ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවබෝධ කරගෙන සිටී.

දකුණු ආසියාවේ රටවල් දේශපාලනික වශයෙන් සේ ම ආර්ථික වශයෙන් ද සම්මුතියකට පැමිණිය යුතු බව මුලින් ම ප්‍රකාශ කළේ ශ්‍රී නේරු මහතා ය. එහෙත් ඔහු ගේ අදහස් යථාර්ථයක් බවට පත්වූයේ නැත. පසුව මේ අදහස අනුව කටයුතු කළ බංගලිදේශයේ හිටපු නායක ඩියා උර් රහමන් මහතා 1985 වන විට එය යථාර්ථයක් බවට පත් කළේ ය. සාර්ක් සංවිධානයේ ආරම්භය එයයි. මේ ආරම්භය ශක්තිමත් වුව ක්‍රියාත්මක වීම ශක්තිමත් වූයේ නැත. මේ නිසා ම වෙනත් ජගත් සංවිධාන ලෝකයට කරන බලපෑම සාර්ක් සංවිධානයට කළ නො හැකි විය. මහින්ද මහතා ගේ අදහස වන්නේ දකුණු ආසියාවේ සහයෝගීතා සංවිධානය ලෝකයට බලපෑමක් කරන ආයතනයක් බවට පත් විය යුතු බවය. එය අපට කළ හැකි ය.

අප මීට පෙර ද සඳහන් කළ පරිදි දකුණු ආසියාවට බලපාන ප්‍රධාන ගැටලු දෙකක් තිබේ. පළමුවැන්න දුප්පත්කමය. දෙවැන්න ත්‍රස්තවාදය හා බෙදුම්වාදය ය. මේ ප්‍රවාහයන් දෙක ම පරාජය කළ හැකි ජවය අපට තිබේ. ඒ සඳහා ප්‍රබල හඬක් නැඟිය යුතු ය. නිදසුනක් ලෙස ගතහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියෝග කරන තැනට අප යා යුතු ය. මහින්ද රාජපක්ෂ මහතා තනි පුද්ගලයකු ලෙස හා තනි ආණ්ඩුවක් ලෙස ලෝකයට අභියෝග කරමින් ත්‍රස්තවාදය පරාජය කළේ ය. ආර්ථික අභියෝග ජය ගැනීමට පදනම සකස් කර ගත්තේ ය.

මහින්ද රාජපක්ෂ මහතා දහසය වන සාර්ක් සමුළුවේ දී කළ දේශනයේ වැදගත් ම තේමාව වන්නේ දකුණු ආසියාවේ සියලු රාජ්‍යයන් එකට ගොනුවිය යුතු බව කීම ය. අපට බැහැරින් එල්ලවන අභියෝග ජයගත හැක්කේ අප තුළ ම පැළපදියම් වන සාමූහිකත්වය මත ය. අපට බලපෑමක් කළ හැකි ය. මේ කලාපය වනා හී ලෝක ජනගහනයෙන් 25% කට අධික පිරිසක නියෝජනය කරන තැනෙකි. සංඛ්‍යාත්මක ව ගතහොත් කෝටි එකසිය පනහකට වැඩි පිරිසක් දකුණු ආසියාවේ ජීවත් වෙති. එහෙත් අපි විවිධ හේතු නිසා වර්ගීකරණය වී ඇත්තෙමු.

මහින්ද රාජපක්ෂ මහතා ගේ දේශනයට ලෝක ජනමාධ්‍ය ඉතා ඉහළ ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ය. හෙට අනිද්දා වන විට ඒ සම්බන්ධ විවේචන හා විචාර පළවන්නට පටන් ගනී. ඒ සියල්ල දෙස උපකල්පනයක් කරන අපට හැඟී යන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ගේ ප්‍රායෝගික අදහස් හා මතවාද පිළිගන්නට තවත් විශාල පිරිසක් ඒකරාශි වන බව ය. අපට අනන්‍යතාවක් තිබිය යුතු ය. අපට අභිමානයක් තිබිය යුතු ය. අපට උපාය මාර්ග තිබිය යුතු ය. මහින්ද මහතාගේ මේ අදහස දකුණු ආසියාව යථාර්ථවාදී ලෙස වටහාගත්තේ නම්; ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය, ඇතුළු දකුණු ආසියාවේ රටවල් කිසිවිටෙකත් බටහිරට යටත් නොවනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා