අනු සූරයන් වූ ශ්‍රී ලංකාව සූරයන් වී මේ සටනට පිවිසෙයි

අනු සූරයන් වූ ශ්‍රී ලංකාව සූරයන් වී මේ සටනට පිවිසෙයි

නවසීලන්තය සමඟ අද තරග බිමේ

3 වැනි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද නවසීලන්තය සමඟ ගයානාහි තරග වදී. කුමාර් සංගක්කාර ඔහුගේ කණ්ඩායම පසුගිය 2009 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී අවසාන වටයට ගෙන ගොස් අනුසූරයෝ වූහ. මෙවර ඊට වඩා තවත් එක් පියවරක් ඉදිරියට තබමින් සූරයන් වී ශ්‍රී ලංකාවට දෙවැනි ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා දීමට ඔහු අද ඇරැඹෙන තරගාවලියේ දී උපරිම උත්සාහ දරනු නොඅනුමානය.

විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වඩාත්ම සමබර කණ්ඩායමක් ඇත්තේ ශ්‍රී ලංකාවට බව දිස්වෙයි. ලසිත් මාලිංගගේ පන්දුවේ වේගයත් මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවල දඟ කැවීමත් එක් වූ විට මේ තරගාවලියේ අනෙකුත් කණ්ඩායම්වලට වඩා ඉතාමත්ම බල සම්පන්න පන්දු ප්‍රහාරය සතුව සිටින්නේ ශ්‍රී ලංකාවයි. බොහෝ විට මේ පන්දු ප්‍රහාරය ප්‍රතිවාදී බොහෝ පිතිකරුවන්ට ඉමහත් අභියෝගයක් වී තිබේ.

පන්දුවට පහර දීමේ දී ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් 2009 එංගලන්තයේ පැවැති 2 වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වෙමින් දැක් වූ වීර ක්‍රියා මෙවරද ප්‍රදර්ශනය කරනු ඇතැයි ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවයි. එහෙත් ඔහු මේ දිනවල ලකුණු අතර නොසිටීම ශ්‍රී ලංකා කඳවුරට මහත් ප්‍රශ්නයක් වී තිබේ.

පසුගියදා ඉන්දියාවේ නිමා වූ අයි. පී. එල් තරගාවලියේ දී ඩිල්ෂාන්ගේ පිත්ත ඉස්මතු වූයේ නැත. පෙරේදා දකුණු අපි‍්‍රිකාවට එරෙහිව පැවැති පෙරහුරු තරගයේද ඔහු පළමු පන්දුවෙන්ම දැවි ගියේ ය. ඩිල්ෂාන් අද ශ්‍රී ලංකා ඉනිමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා දෙමින් නැවතත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණෙනු ඇතැයි යන්න කාගේත් බලාපොරොත්තුව වෙයි.

මෙවර අයි. පී. එල් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලට ඇතුළත් ක්‍රීඩකයන්ගෙන් හපන්කම් පෑමට සමත් වූයේ මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් හා ඇන්ජලෝ මැතිව්ස් පමණි. එම තරගාවලියට සහභාගී වීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලත් අත්දැකීම් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන්ට ප්‍රයෝජනවත් වනවාද ? නැද්ද ? යන්න කාලය විසින් පෙන්වා දෙනු ඇත.

කෙසේ වෙතත් 2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී පැවැති ලෝක කුසලාන තරගාවලියේද අවසාන තරගයට පිවිසි ශ්‍රී ලංකාවට එම රටේදීම අද ඇරැඹෙන තරගාවලිය සම්බන්ධයෙන් කුමන ආකාරයක හෝ බියජනක සිතුවිලි පහළ වීමට කොහෙත්ම ඉඩක් නැත. එදා තරගාවලියේ දී ගයානාහිදී ලසිත් මාලිංග දකුණු අපි‍්‍රකාවට එරෙහිව පන්දු 4කදී කඩුලු 4ක් බිඳ හෙලමින් ඉතිහාසගත විය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පෙරේදා පැවැති පෙරහුරු තරගයේ දී සනත් ජයසූරිය මැද පෙලෙන් පැමිණ ලකුණු 33ක් රැස් කිරීම ශ්‍රී ලංකා පිලට එක් සහනයකි. පන්දු යැවීමෙන්ද දස්කම් දැක් වූ ඔහු සිය ඕවර හතරේදී ලකුණු 18ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක්ද ලබා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව එම තරගයේ දී කඩුලු 5 ක පරාජයක් ලැබීය.

එහෙත් හිටපු නායක මහේල ජයවර්ධනට සිතෙන කාරණයක් වී ඇත්තේ තරගාවලියේ ආරම්භක තරගයේ දී ශ්‍රී ලංකාවට මීට වඩා පහසු කණ්ඩායමක් මුණ ගැසෙන්නට තිබුණා නම් වඩා හොඳ බවය. තුන් ඉරියව්වෙන්ම දක්ෂ කණ්ඩායමක් වන නවසීලන්තය ඉතාමත් භයානක එකක් වීමට ඉඩ ඇතැයි ජයවර්ධන කියයි.

ඔහුගේ ඒ අදහස් තහවුරු කරන්නාක් මෙන් නවසීලන්තය පෙරේදා පැවැති පෙරහුරු තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල ලකුණු 7කින් පරාජය කළේ ය. ඊට පෙර දින පෙරහුරු තරගයේ දී ඔවුහු ලකුණු 40කින් අයර්ලන්තය පරාජය කළහ.

ඩැනියල් වෙටෝරී

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සැලකිය යුතු කණ්ඩායමක් බවට පත්ව සිටින ඩැනියල් වෙටොරිගේ නවසීලන්ත කණ්ඩායම තමන්ට ප්‍රථම වතාවට ලෝක කුසලානයක් මෙවර දිනාගැනීමට හැකි වෙතැයි දැඩි විශ්වාසයකින් සිටින කණ්ඩායමකි.

බ්‍රෙන්ඩන් මැකලම් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින සූරත්වයෙන් පිරුණු පිතිකරුවෙකි. නවසීලන්ත පිල කැරිබියන් දූපත් බලාගියේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම ශරීර යෝග්‍යතාවය පිළිබඳ සැකයක්ද සමගිනි. එහෙත් ජෙසී රයිඩර් ඔහුගේ ඉකිලියේ ආබාධයෙන් සුවය ලබා සිටින බවට ප්‍රකාශ කර තිබේ.

බ්‍රෙන්ඩන් සමග ජෙසී එක්වූ විට එතැන ඇත්තේ දැඩි ආක්‍රමණශීලී ආරම්භක පිතිකරණයකි. ක්ෂණික ක්‍රිකට් ක්‍රීඩාවේ අද ලොව සිටින භයානකම පිතිකරුවන්ගෙන් බ්‍රෙන්ඩන් කෙනෙකි. "පිතිකරු පෙලේ මුල බ්‍රෙන්ඩන් සිටිනවා කියන්නේ අපේ සාර්ථකත්වයේ යතුරයි. ඔහුට මෙය හොඳ තරගාවලියක් වුණොත් කණ්ඩායම කුසලානය දිනාගනීව් කියා මා හිතනවා" යැයි නායක වෙටෝරි පවසයි.

බ්‍රෙන්ඩන් මෙන්ම ඔහුගේ වැඩිමහල් සොහොයුරු නේදන් මැකලම්ද මෙවර තරගාවලයේදී වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමට ඉඩ තිබේ. මෙතෙක් පැවැති පෙරහුරු තරගවලින් පෙනී ගොස් ඇත්තේ තණතිලි දඟ පන්දුවට වඩාත් හිතකර බවකි. එබැවින් පිට දඟ පන්දු යවන නේදන් මැකලම් ඉදිරියේ ඉතාමත් වැදගත් ඕවර ගණනාවක්ම තිබේ.

අයර්ලන්තයට එරෙහිව නවසීලන්තය ලකුණු 40කින් ජය ගත් පෙරහුරු තරගයේදී නේදන්ට අළුත් පන්දුව ලබා දුන්නේය. එය 1992 ලෝක කුසලාන තරගාවලියේදී ඉනිම ආරම්භ කිරීමට පිට දඟ පන්දු යවන දිපක් පටෙල් එවකට නායකයාව සිටි මාටින් ක්‍රෝ විසින් යොදා ගැනීම යළි මතකයට නංවන්නක් විය. ඒ උපක්‍රමය මත නවසීලන්තය එම තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට පිවිසියේය.

අයර්ලන්තයට එරෙහි තරගයේදී මැකලම් ලකුණු 25 කට කඩුලු 3 ක් ලබාගැනීමට සමත් විය. ඩැනියල් වෙටෝරිද වසර ගණනාවක් තිස්සේම ඔහුගේ වමත් දඟ පන්දු යැවීමෙන් ජගත් මට්ටමින් පෙළහර පාමින් සිටී. නවසීලන්ත වේග පන්දු ප්‍රහාරය ක්‍රියාත්මක වන්නේ හිටපු පොලිස් නිලධාරියකු වන ෂේන් බොන්ඩ්ගේ මූලිකත්වයෙනි.අද ඇරැඹෙන තරගාවලියේ අදට නියමිත අනෙක් තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල හා අයර්ලන්තය අතර ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකාව

කුමාර් සංගක්කාර (නායක) මුත්තයියා මුරලිදරන්, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්,, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව්, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, චානක වෙලගෙදර, චාමර කපුගෙදර, සනත් ජයසූරිය, චින්තක ජයසිංහ.

නවසීලන්තය

ඩැනියල් වෙටෝරී, (නායක) බ්‍රෙන්ඩන් මැකලම්, ජෙසී රයිඩර්, මාටින් ගෆ්ටිල්, රොස් ටේලර්, ස්කොට් ස්ටයිරිස්, ඒරන් රෙඩ්මන්ඩ්, ජේකබ් ඔරාම්, ගැරත් හොප්කින්ස්, රොබ් නිකොල්, නේදන් මැකලම්, කයිල් මිල්ස්, ටීම් සදී, ෂේන් බොන්ඩ්, ඉයන් බට්ලර්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා