එජාප උප නායක සජිත් ප්‍රේමදාස වෘත්තීය සමිති සභාපති දයාසිරි

එජාප උප නායක සජිත් ප්‍රේමදාස වෘත්තීය සමිති සභාපති දයාසිරි

එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාටත්, වෘත්තීය සමිති සභාපති ධූරය දයාසිරි ජයසේකර මහතාටත් ලබාදෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඊයේ (29) දා විපක්ෂ නායක නිල නිවසේ පැවැති වෘත්තීය සමිති සාමාජිකයන්ගේ හමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා එසේ පවසා ඇත.

වෘත්තිය සමිති සභාපති ධූරය දයාසිරි ජයසේකර මහතා තමාගෙන් ඉල්ලා සිටි බවත් එම තනතුර ඔහුට දීමට තීරණය කළ බවත් වික්‍ර‍්‍රමසිංහ මහතා කියා තිබේ.

පක්ෂයේ දැවැන්ත ප්‍රතිසංවිධානයක් සිදුකිරීමට තමා කිසිසේත් පසුබට නොවන බව කියා ඇති වික්‍රමසිංහ මහතා පක්ෂය ග්‍රාමීය මට්ටමින් නඟා සිටුවීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මහතාට එජාප උපනායක ධූරය පිරිනැමීමට තීරණයක් ගෙන ඇති බව පවසා ඇත.

එසේ නම් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නියෝජ්‍ය නායක ධූරය ලබාදෙන්නැයි එහිදී වෘත්තිය සමිති සාමාජිකයින් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවද දැන ගැනීමට ඇත. වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමන කළ බවද දැන ගැනීමට තිබේ.

පක්ෂයේ වෘත්තිය සමිති සභාපති ධූරය හෝ කිසිදු තනතුරක් තමා පක්ෂ නායකයාගෙන් හෝ වෙනත් කිසිදු කෙනෙකුගෙන් ඉල්ලා නොමැති බවත් පක්ෂයේ තනතුරු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්ද විමසීමකින් පත්කරන ලෙස තමා නැවත වරක් කාරුණිකව ඉල්ලා සිටින බවත් දයාසිරි ජයසේකර මහතා “දිනමිණ” කළ විමසීමකදී ප්‍රකාශ කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා