කරපු හැම අමාත්‍යංශයෙන්ම මම පාස්

කරපු හැම අමාත්‍යංශයෙන්ම මම පාස්

එස්. එම්. චන්ද්‍රසේන
වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති

පේ රටේ හත්වැනි පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරාපත් කැර ගනු ලැබුණි. එහි නව අමාත්‍ය මණ්ඩලයේ සුවිශේෂී අමාත්‍යාංශයක් වූ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ඉදිරි වැඩ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සමඟ දිනමිණ කළ සාකච්ඡාවකි මේ.

* රජ රට නියෝජනය කරමින් සන්ධාන ආණ්ඩුවෙන් දියවන්නාවට පැමිණි ඔබ, අද නියෝජ්‍ය අමාත්‍යවරයෙක් .. ?

ඔව් වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය ඇමැතිවරයා.

* ඔබ මෙයින් සෑහීමකට පත් වෙනවාද ?

ඇයි නැත්තේ, මම සාමාන්‍ය පවුලක ගොවිපුතෙක්. රජ රට ගොවීන්ගේ දහදිය සුවඳ හඳුනන, ඔවුන්ගේ ප්‍රශ්න අඳුනන කෙනෙක්. මේ වගේ අමාත්‍යාංශයක් තුළින් විශාල සේවාවක් කළ හැකියි.

* එය තවත් පැහැදිළි කළොත්?

වාරිමාර්ග අමාත්‍යාංශයෙන් මහවැලියට අයත් ජල සම්පත කළමනාකරණය වෙනවා. ඒ විතරක් නොවෙයි, මේ රටේ සියලුම වැව් අමුණු, ඇළ වේලී කළමනාකරණ කටයුතු මේ අමාත්‍යාංශය යටතට ගැනෙනවා. කෘෂිකාර්මික රටකට ජල කළමනාකරණ සුවිශේෂයි. මේ රටේ ඉතිහාසය දිහා බැලුවිටත් සාර්ථක රාජ්‍ය නායකත්වය විසින් වාරිමාර්ග දියුණු කැර තිබෙනවා. රටක් ස්වයංපෝෂිත කිරීමට අත්‍යවශ්‍ය සාධකය වාරි කර්මාන්තයයි.

ඒ නිසා ම පරාක්‍රම රජතුමා පවසා තිබෙන්නේ අහසින් වැටෙන දිය බිඳක්වත් මුහුදට නොදිය යුතුය කියා. ඒ නිසාම තමයි එදා රජරට, වැව්බැදි රාජ්‍ය බවට පත්ව ඇත්තේ. එයින් රට ස්වයංපෝෂිතව තිබෙනවා. එය අදටත් වලංගුයි. සෑම සාර්ථක රාජ්‍ය නායකයෙක්ම වාරි කර්මාන්තයට අත ගසා තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂයන් මොරගහකන්ද වැනි ජලාශ වගේම, උමා ඔය, දැදුරු ඔය, යාන් ඔය වැනි වාරි කර්මාන්ත ආරම්භ කළේත් ඒ නිසායි. මේ රටේ යුද්ධයක් තියෙන අවස්ථාවේත් මේ වාරි කර්මාන්ත නැංවීමට මුදල් වෙන් කෙළේ මේ රට ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා ගෙන යාමට පාර කැපීමටයි.

* වාරි කර්මාන්තය සංවර්ධනය කළ පමණින් මේ රට ස්වයං පෝෂිත කළ හැකියි කියා ඔබ හිතනවද ?

මා ඉහතින් කියූ පරිදි මේ රට කෘෂිකාර්මික රටක්. අපට අවශ්‍ය ආහාර අපම සකසා ගැනීම රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. ඊට ප්‍රධාන සාධයක වාරි කර්මාන්තය. මීට වසරකට පමණ පෙර ලෝක ආහාර අර්බුදයක් පැවතුණා. ඒත් ඒක අපේ රටට දැනුණේ නැහැ. ඊට හේතුව මහින්ද රාජපක්ෂයන් ‘තමුන්ගේ ආහාර තමුන්ම සකසා ගත යුතුයි’ යන ආකල්පය මේ රටේ ජනතාවට ලබා දුන්නා. ඒ විතරක් නොවෙයි, එය ක්‍රියාවටත් නැංවුවා. එහෙම නම් වාරි කර්මාන්තය නංවා, මේ රට කෘෂිකාර්මික සංවර්ධනය කරා යොමු කළ යුතුයි. ආසියාවේ දියුණු රට අපේ රට බවට පත් කරන විට, වාරි කර්මාන්තයත් ඊට දායක කරගත හැකියි. ඒ මඟින් ශ්‍රී ලංකාව ආශ්චර්යමත් රට බවටත් පත් කළ හැකියි.

* එය අභියෝගයක් නොවේ ද ?

මම පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වන නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මටත්, ඒ අභියෝගයට මුහුණ දෙන්න පිළිවන්. මේ ඇළවේලි, වැව් අමුණු අවුරුදු ගණනාවකින් ප්‍රතිසංස්කරණය වෙලා නෑ. ඒවා ක්‍රමවත්ව ප්‍රතිසංස්කරණය කළ යුතුයි.

* ඔබ එසේ කිව්වත් පසුගිය කාලයේදි ජවිපෙ, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අමාත්‍යධූර දරද්දී වැව් දහසක් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවුවා නොවේ ද ?

එහෙම වැඩපිළිවෙළක් ආරම්භ කර ක්‍රියාවට නැංවුවත්, එහි ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි. බොහෝ වැව් රොන් මඬවලින් ගොඩ වෙලා. වැහි ජලය ඒකරාශී වෙනවා වෙනුවට ඒවා දෝරේ ගලා ගොසින් ඇළ දොළ, ගංඟා මගින් මුහුදට ගලාගෙන යනවා. දැන් කළ යුත්තේ විවේචනවලට වඩා කළ යුතු දේ කිරීමට පටන් ගැනීමයි. මේ වැසි ජලය රට මැද රදවා ගනිමින්, කෘෂිකර්මාන්තය නඟා සිටුවීමයි.

* ඔබ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. මේ වැඩකරන්න පිළිවන් වෙයිද ?

ඇයි බැරි , ඇයි මේ සේරම කරන්නේ රට නඟා සිටුවීමට. මේවා අපේ පෞද්ගලික බූදලයක් නොවෙයි. මේ සියල්ල ජනතාවගේ දේපළ අපි ජනතාවගේ සේවකයන්. ජනතාව වෙනුවෙන් හරි දේ කළ යුතුයි. අනික නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමාටත් මටත් එකට වැඩ කිරීමේ හැකියාව තිබෙනවා. එතුමන් බදුල්ලේ ගොවිජනතාව හොඳින් හඳුනන කෙනෙක්. මමත් ගොවි කම දන්න ගොවි පවුලක ගොවිජන සිතුම් පැතුම් හඳුනන කෙනෙක්.

* මේ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ජනතාවට වැඩි වැඩක් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

පුළුවන්, මා මෙතෙක් දැරූ සියලු අමාත්‍යාංශවලින් ජනතාවට හොඳ සේවාවක් ලබා දුන්නා. මේ අමාත්‍යාංශයේ දීත් මට එසේම කළ හැකියි යන විශ්වාසය තිබෙනවා. හරියට පීනන්න දන්නවානම් වක්කඩත් ඇති පීනන්න .

* අනුරාධපුර නගරය සැලැසුම් සහගතව ඉදිවුණු නගරයක්. වර්තමානයේ සැලැසුමින් තොරව මේ නගරයේ ගොඩනැගිලි ඉදිවෙන බවට චෝදනා තිබෙනවාද?

අතීත ශ්‍රී විභූතිය කියාපාන නගරයක්. පැරැණිම වාස භූමිය අනුරාධපුරය. පළමුව වැව් අමුණු ඉදිකිරීම ආරම්භ වුණේ අනුරාධපුරයෙන්. සඳකඩ පහන, සමාධි පිළිමය, යෝධ ඇළ වැනි විශ්මිත වාරිකාර්මාන්ත වගේම ලෝකයේ ඉපැරැණිම ශාඛය වන ශ්‍රී මහා බෝධිය ඇත්තේත් මේ අනුරාධපුර නගරයේ. ඒ නිසා මේ ශ්‍රී විභූතියට හානි කරවන අයුරින් ඉදිකිරීම් කටයුතු කිරීමට කිසිසේත් ජනාධිපතිතුමන් කටයුතු කරන්නේ නෑ. එතුමන් බලාපොරොත්තු වන්නේ මේ රට ආශ්චර්යමත් රටක් බවට පත් කරමින්, ලෝක වාසීන්ට මේ නගරය බැතිබරව නැරැඹීමටත්, වැඳ පුදා ගැනීමටත් පුළුවන් ස්ථානයක් බවට පරිවර්තනය කිරීමයි. මා මේ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එතුමන්ට උපරිම සහාය ලබා දෙනවා.

* ඡන්දය ඉවරයි. ඒත් මනාප නිසා එක ම ගෙදර උදවියගෙත් අමනාපකම් වැඩි වෙලා නේද ?

ඒ මේ ක්‍රමයේ වැරැද්දයි. පුද්ගලයන්ගේ නොවෙයි. ජේ. ආර්. හදපු ව්‍යවස්ථාව නිසා තමයි මේ අවුල ඇතිව තිබෙන්නේ.

* එහෙමනම් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් නේද ?

පැහැදිලිවම ඔව්, ජේ. ආර්. 78 ව්‍යවස්ථාව ගෙනාවේ ඔවුන් දීර්ඝ කාලීනව බලයේ රැදෙන්න. කිසිම දවසක, කිසිම පක්ෂයක් 2/3ක බලයක් ලබා නොගන්න විදියට හදපු මේ ව්‍යවස්ථාව, එ. ජා. ප යටම අද පාරාවලල්ක් වෙලා. අද ඔවුන්ට යන එනමන් නැතිවෙලා. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2/3ක බලයක් ලබා ගත්තා.

* ඔබ එසේ උදම් ඇනුවත් එය දියවන්නාවට පත් වූ නියෝජිතයන්ගේම ජයග්‍රහණයක් ලෙස භුක්ති විඳීමට පිළිවන්ද ?

කිසිසේත් නෑ, එහි ගෞරවය යන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ට. මේ රටේ තිස් වසරක යුද්ධය නිවා දමා නිදහස් රටක් ලෙස මවුබිම මුදා ගත්තේ මහින්ද රාජපක්ෂයන්. ඒ අභිමානය මේ රටේ ජනතාවට ලබාදීම නිසා ජනතාව පෙරලා කෘතවේදීත්වය එතුමන්ට පුද කළා. ඒ වගේ මේ රටේ කඩා වැටුණු සංස්කෘතිය අපේකම ශ්‍රී ලාංකිකකමට එතුමන් පණ දුන්නා. නගරයේ සංවර්ධනය ගමට දෝලනය කළා. මෙන්න මේ හේතු රාශිය නිසා මෙවර අපේ ආණ්ඩුවට 2/3ක් බලය ලබා දුන්නා.

* එසේ නම් ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් ?

ජනාධිපතිතුමන් කිසිවිටකත් කරන්න බැරි දේ කිව්වෙත් නෑ. කියන්න බැරි දේ කෙරුවෙත් නෑ. සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට ඡන්ද කොට්ඨාස නියෝජනයක්, දිස්ත්‍රික් නියෝජනය ඇතිවෙන ආකාරයට මහජන නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණ ක්‍රමයක් ගේනවා. මෙයින් සුළු පක්ෂවලටත්, සාධාරණයක් ඉටුවෙනවා. එසේම එකම පක්ෂයේ උදවිය භේද බින්න කරන මනාප පොරයත්, මැතිවරණ වියදමත් අඩුවෙනවා.

* ඔබ මීට පෙර අමාත්‍යාංශ ගණනාවක අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළා. ඒ අමාත්‍යාංශ තුළ ඔබගේ කාර්ය සාධනය ඇගැයීමට ලක් කළොත් ?

මම පාස්.

මුලින්ම මා ගොවිජන සේවා සහ ගොවිජනතාව නඟා සිටුවීමේ අමාත්‍ය ධූරයේ සිටියේ. එහිදී ගොවිජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් නඟා සිටුවීමටත්, ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමේ වෙළෙඳපොළ පවා ක්‍රියාත්මක කළා. ගොවිජනතාවගේ ප්‍රශ්නවලට සෘජුවම මැදිහත් වුණා.

මාවිල් ආරු ගොවීන්ට වතුර නොදීම LTTE  කටයුතු කරද්දී ගොවීන් උපවාස කිරීම නිසා යුද හමුදාවට  LTTE මර්දනය කිරීම සඳහා ප්‍රහාර එල්ල කිරීමට නොහැකි වුණා. එහි දී මා සෘජුව මැදිහත් වෙමින් ඔවුන්ව ඒ උපවාසයෙන් ඉවත්කරන්න යුද හමුදාවට සහාය ලබා දුන්නා. එහි කීර්තිය මාවෙත එයි කියා සැලැසුම් සහගතව කණ්ඩායමක් මා අපකීර්තියට පත් කිරීම සඳහා විවිධ චෝදනා එල්ල කිරීමට කටයුතු කළා. හැබැයි මගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ නිසා මා වැටුණේ නෑ.

රජ රට ජනතාවටත් එය පිළිගත්තා. ඒ පිළිගැනීම මෙවර ඔප්පුකර පෙන්නුවා. ඒක තමයි මට ඔවුන් මනාප එක් ලක්ෂ දොළොස්දහස් තුන්සිය හැටපහක් ලබා දෙමින් මෙවර ඔසවා තැබුවේ. ජාතිය ගොඩනැඟිීමේ අමාත්‍යාංශය තුළින් ද මා ජනතාවට විශාල සේවාවක් ඉටු කළා.

* අමාත්‍යධූරයක කටයුතු කළ ඔබ නියෝ්ජ්‍ය අමාත්‍ය වරයෙක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා. එසේනම් මේ තනතුරින් ඔබ සැනසෙනවාද ?

මා මීට ඉහතදී කිව්වේ පීනන්න පුළුවන්නම් වක්කඩත් ඇති. මට ගොවි ජනතාවට සේවය කරන්න මේ තනතුර හොඳටම ඇති. අනික ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වී ගිය අවස්ථාවේ දී ආණ්ඩුව බේරා ගැනීමට එ. ජා. ප නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු 18 දෙනා අපේ ආණ්ඩුවට ගෙන ඇවිත් මේ යුද්ධ ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කර දුන් කෙනෙක්.

වෙන කෙනෙක් නම් ඒ හේතු දක්වමින් විවිධ වරප්‍රසාද හා වරදාන ඉල්ලනවා. මම එහෙම කෙනෙක් නොවෙයි. මොකද එතුමා බුද්ධිමත්ව හිතමින් කටයුතු කරන කෙනෙක්. මම මට වඩා හිතන්නේ රට ගැන. වත්මන් ජනාධිපතිතුමන් තරම් රටට සේවය කළ රටට ආදරය කරන නායකයන් බිහි වී නෑ. මේ තනතුරින් මගේ ගොවි ජනතාවට සේවාවක් කිරීමට පුළුවන්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා