ඇමැති නිමල්ගෙන් තවත් මෙහෙයුමක්

ඇමැති නිමල්ගෙන් තවත් මෙහෙයුමක්

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා රටට ම බලපාන වැදගත් තීන්දුවක් ගෙන තිබේ. එම තීන්දුව වහා ම ක්‍රියාත්මක කරන ලෙස ද අදාළ අංශවලට උපදෙස් දී තිබේ. තීන්දුව නම්; පහත් බිම්වල ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම ය.

ගොඩනැගිලි යැයි කියූව ද මේ තැන්වල ඇත්තේ පැල්පත් ය. කොළඹ, කළුතර, ගම්පහ, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවල මෙබඳු ඉදිකිරීම් බහුල ය. තීන්දුව ගත්තේ 23 දා ය. හෙවත් පෙරේදා ය. පසු දා ම එනම්; 24 දා ම එය ක්‍රියාත්මක විය යුතු බව ඇමැතිවරයා කියා තිබේ.

රජයට අයත් ඉඩම්වල අනවසර ගෙවල් ඉදිකිරීම ආරම්භ වූයේ වසර ගණනාවකට පෙර සිට ය. කලකට ඉහත මීට දේශපාලකයන්ගේ සහයෝගය ද ලැබිණි. දැන් එම තත්ත්වය වෙනස් වී ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැරුණු කොට ශ්‍රී ලංකාවේ වැඩි ම ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවයි.

එම දෙපාර්තමේන්තුවේ ඉඩම්වලින් සැලකිය යුතු කොටසක් අනවසර ඉදිකිරීම් සඳහා යොදාගෙන ඇත. ඒවා නිදහස් කර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත.

මේ ක්‍රියාදාමය තුළ බරපතළ හානි දෙකක් සිදුවේ. පළමුවැන්න වගුරුබිම් ගොඩකිරීම ය. ඒ මගින් ජලය බැසයාමට බාධා ඇති වී ජල ගැලීම් සිදුවෙයි. දෙවැන්න පහත්බිම්වල අනවසරයෙන් පදිංචිවීම නිසා ඔව්හු වැසි වතුරට යට වෙති.

මෙහි තවත් සිදුවීමක් වන්නේ ගංගා - ඇළ - දොළ ආදී ජල මාර්ග දෙපස අනවසරයෙන් පදිංචිවීම ය.මේ මගින් ජලය අපවිත්‍රවීම ද, ජල ගැලීම් ඇතිවීම ද සිදුවේ. පුදුමයකට මෙන් රජයේ කිසිදු බලධරයෙක් මේ ගැන සොයා බලන්නේ නැත. මේ නිසා ම අනවසර පදිංචිවීම් දිනෙන් – දින ව්‍යාප්ත වේ.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෙන ඇත්තේ නිර්භීත තීන්දුවෙකි. මෙය කවුරුන් විසින් හෝ ගත යුතු ව තිබිණි. ඡන්දය බලාගෙන හෝ ජනප්‍රියත්වය සලකාගෙන හෝ කරබාගෙන සිටීම පාලකයකුගේ සිරිත නො විය යුතු ය.

අනවසර පැල්පත් ඉවත්කරන විට පැල්පත්වාසීන්ගෙන් විශාල විරෝධතාවක් මතු වේ. විපක්ෂ දේශපාලකයන් එය දඩමීමා කරගෙන ආණ්ඩුව විවේචනය කරන්නට ද පුළුවන. එහෙත් තාවකාලික ලාභ – ප්‍රයෝජන තකා අවශ්‍ය ;ද් නො කර සිටීම ඊට වඩා භයානක ප්‍රතිඵලයකට හේතුවක් වේ.

ජලය අපට අත්‍යවශ්‍ය අගනා සම්පතෙකි. එය අප වෙත ලැබෙන්නේ ස්වභාව ධර්මයේ නීතියකට හා කිසියම් රටාවකට අනුව ය. පොළොවට පතිත වන ජලය බැස යන්නේ ද රටාවකට අනුව ය. නැතහොත් චක්‍රීය ස්වරූපයකට අනුව ය. එම රටාවට හෝ එම චක්‍රීය ස්වරූපයට හෝ බාධා ඇති වූ කල්හි ජලය අප ගේ සතුරකු බවට පත් ව නිවසට කඩා වදිනු ඇත.

මේ නිසා ජලයට නිදහසේ ගලායාමට ඉඩ දිය යුතු ය. එලෙස ම යම් ස්ථානවල තැන්පත් ව වියළි කාලයේ දී ප්‍රයෝජනයට ගත හැකි ලෙස පැවැතිය යුතු ය. අනවසර ගොඩකිරීම් හා අනවසර පදිංචිවීම් මේ සියල්ලට ම බාධා ඇති කරයි.

ගෙවී ගිය සතිය තුළ කඩා වැදුණු මහා වැස්ස නිසා දිස්ත්‍රික්ක ගණනාවක් ජලයෙන් යට විය. ගම්පහ, කොළඹ, කළුතර ඒ අතරින් ප්‍රධාන වේ. අනවසර ඉදිකිරීම් හා පහත්බිම් ගොඩකිරීම් බහුලව දක්නට ලැබෙන්නේ ද එම දිස්ත්‍රික්ක තුළය. ශ්‍රී ලංකාව පාලනය කළ ඇතැම් රාජ්‍ය නායකයෝ පරිසරවේදීන්ට කන් නොදුන්හ. ඉංජිනේරුවන්ට නම්‍යශීලි නොවූහ. ඔව්හු හිතුවක්කාර තීන්දු මත පහත්බිම් ගොඩකළහ.

ඉඩම් ගොඩකිරීම හා ඒ මත ව්‍යාපාර ආරම්භ කිරීම ආර්ථිකයට වැදගත් බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් මේ කාරණය නිසා සිදුවන පාරිසරික හානිය හා මතුවන ස්වාභාවික ව්‍යසන ගැන බලන විට ආර්ථික ලාභයෙන් පලක් නො වනු ඇත.

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණය අතින් කුඩා රටක් බැවින් ඉඩම් කළමනාකරණය නිවැරැදි ලෙස සිදුවිය යුතු ය. ස්වාභාවික ජල උල්පත් රැක ගැනීම සඳහා වනය ආරක්ෂා කළ යුතු ය. එහෙත් ගෙවී ගිය කාලය තුළ සිදු වී ඇති වන විනාශය ඉතා බලවත් ය.

දැන් රටේ මුළු ඉඩම් ප්‍රමාණයේ අනුපාතයක් ලෙස ගතහොත් වනය ඇත්තේ 20%ට ද අඩුවෙන් ය. වසර පනහකට පෙර එම තත්ත්වය 44%ක් පමණ විය. පරිභෝජනයට ගත හැකි ඉඩම් ජනගහනය අතර බෙදී ගියහොත් එක පවුලකට අක්කරයක්වත් ඉතිරි වන්නේ නැත. ඉඩම්වල වටිනාකම හා ඒවා ආරක්ෂා කිරීමේ වැදගත්කම ඉන් මොනවට පැහැදිලි වේ.

කොළඹ යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරය වුව එහි අනවසර ඉදිකිරීම් බහුල විය. එම ඉදිකිරීම් ආරම්භ වූයේ 1977 සිට ය. ඉනික්බිති ඉදිකිරීම් නගරයේ වීථි පුරා ව්‍යාප්ත විය. අවසානයේ කොළඹ නගරය ‘ඩකා’ නගරයක් බවට පත්වෙමින් තිබිණි.

දේශපාලකයෝ කෙළින් තීන්දුවක් නො ගත්හ. ඒ ඡන්දය හේතුකරගෙන ය. එහෙත් මේ වන විට කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නට පටන්ගෙන තිබේ. ජනප්‍රිය නො වූව ද මේ තීන්දුව නිසා කොළඹ නගරය ශුද්ධ පවිත්‍ර වී අලංකාර වනු ඇත. එය අප ගේ සංචාරක කටයුතු දියුණුවීමට ද ආයෝජක ආකර්ෂණය දිනා ගැනීමට ද හේතුවක් වනු ඇත.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ තීන්දුව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වනු ඇත. මෙබඳු තීන්දු නො ගෙන රට සංවර්ධනය කිරීම අපහසු ය. අනෙකුත් ඇමැතිවරුන් ද මෙබඳු තීන්දු ගෙන තම තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කරත් ද ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වීමට වැඩි කලක් ගත නො වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා