එජාප ගාලු බල මණ්ඩල රැස්වීමේ ගාලගෝට්ටි

එජාප ගාලු බල මණ්ඩල රැස්වීමේ ගාලගෝට්ටි

ගාල්ලේදී පෙරේදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම ගාලගෝට්ටි මැද අවසන් වී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර කාර්යාලයේ පැවැති බල මණ්ඩල රැස්වීම ඉතා සාමකාමීව ආරම්භ වුවද පක්ෂ ප්‍රතිසංවිධාන පිළිබඳ ප්‍රකාශ වීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

ආනන්ද ලැනරෝල් මහතා දැඩි කෝපයෙන් නැගී සිටිමින් රනිල් වික්‍රමසිංහ පක්ෂය විනාශ කරලා ඉවරයි. මැතිවරණ 17 ක් පරාජය වෙලා තවදුරටත් නායකකම රැකගන්න හදනවා. පක්ෂයේ සිදු වී ඇති මූල්‍ය වංචා පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා.

ඒත් ඒවාට උත්තර නෑ. ඒවා වැරදි නම් මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර නොගන්නේ ඇයි. රනිල්ගේ පස්සේ ගිහිල්ලයි වජිර අබේවර්ධන පැරදුණෙත් සාමාන්‍ය අයට නැති කැත කතා පාර්ලිමේන්තුවෙත් එතුමාට එරෙහිව තිබෙනවා.

ඕනනම් මේ කියන දේ ටේප් කරලා නායකයාට ගිහින් දෙන්නැයි කියා තිබේ. ඒ සමඟම නැගී සිටි සුනිල් සේනානායක මහතා කියා ඇත්තේ යළි ගාල්ලට නම් පක්ෂ නායකයාට එන්න බෑ. ආවොත් කරන දේ බලාගමු යනුවෙන් කියා ඇත.

මේ සියලු දේ වෙද්දී වජිර අබේවර්ධන වික්‍ෂිප්තව සිටි ඇති අතර මනූෂ නානායක්කාර හා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරු එම ප්‍රකාශ අනුමත කරන්නා සේ සිනා සෙමින් සිටි බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. අවසානයේ බල මණ්ඩල රැස්වීම අතර මග නතර කිරීමට සිදුව තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා