හිතටගන්න මං ගමට විද්‍යාව දෙනවා !

හිතටගන්න මං ගමට විද්‍යාව දෙනවා !

මහාචාර්ය තිස්ස විතාරණ තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති

* විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය භාර ඇමැතිවරයා ලෙස ඔබ පසුගිය කාලයේදී කැපී පෙනෙන සේවයක් සිදු කළා. එම විෂයට සමාන වගකීමක් මෙවරත් ඔබට පැවරිලා තිබෙනවා. ඒ අනුව ඔබේ ඉදිරි සැලැසුම් මොනවාද?

රටක් දියුණු වෙද්දි එහි මූලික සාධකයක් බවට පත්වෙන්නේ විද්‍යාව තාක්‍ෂණය හා පර්යේෂණය යන විෂයයන්. රටක සංවර්ධනයට මේ අමාත්‍යාංශය මඟින් සුවිශේෂ කාර්යයභාරයක් ඉෂ්ඨ කරන්න පුළුවන්. පසුගිය අවුරුදු හයේදීත් මට මේ අමාත්‍යාංශයේ වගකීම් පැවරී තිබුණා.

ඒ වගේම එම වගකීම් සැලැසුම් සහගතව හා සාර්ථකව ඉෂ්ඨ කිරීමට පුළුවන්කම ලැබුණා. ඒ ගැන මම විෂය භාර ඇමැතිවරයා විදිහට සතුටු වනවා. මෙවරත් එම විෂය පිළිබඳ වගකීම මාහට ජනාධිපතිතුමා විසින් පැවැරීම පිළිබඳ අතිශය සතුටට පත්වන අතර එතුමා මා වෙත පැවරූ කාර්යයභාරය වගකීමෙන් යුතුව ඉෂ්ඨ කිරීමට බලාපොරොත්තු වෙනවා.

විද්‍යාවේ හා තාක්‍ෂණයේ ප්‍රතිලාභ ගමට ලැබෙන ආකාරයට කටයුතු කිරීමට තමයි අපි සැලැසුම් කරලා තිබෙන්නේ. ගමේ දියුණුවට සිදුවිය යුත්තේ විද්‍යාවේ ප්‍රතිලාභ ලබාදීමයි.

ඒ නිසා තමයි අපි පසුගිය අවුරුදු හයේදී ග්‍රාමීය මට්ටමින් විදාතා මධ්‍යස්ථාන ආරම්භ කළේ. දැනට මධ්‍යස්ථාන 256ක් පමණ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී උතුරු, නැඟෙනහිර ප්‍රදේශ ඇතුළු විදාතා මධ්‍යස්ථාන නොමැති ප්‍රදේශවලත් එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු කරනවා. මේ මධ්‍යස්ථානවලින් ග්‍රාමීය ජනතාවට විද්‍යාවේ තාක්‍ෂණයේ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා.

අපේ රටේ විද්‍යාව, තාක්‍ෂණය වැනි විෂයන් මෑතක් වනතුරුම කොළඹ නගරයටත්, ඒ පිළිබඳ දැනුවත් එක්තරා පිරිසකටත් සීමා වී තිබුණා. ඒත් එයින් අපට රටක් විදිහට නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකියි. විද්‍යා, තාක්‍ෂණය වැනි විෂයක් ගමට, බිම් මට්ටමට රැගෙන යා යුතුයි කියලා අපි තරයේ විශ්වාස කරනවා.

අද පරිගණක සාක්‍ෂරතාව නැතිනම් දියුණු සමාජය ඉදිරියේ සාර්ථකව මුහුණදීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙනවා. ඒ නිසා තමයි අපි ආරම්භයක් විදිහට විදාතා මධ්‍යස්ථාන මඟින් පරිගණක පුහුණුව නොමිලේ ලබාදීම ආරම්භ කළේ.

එමඟින් අඩු ආදායම්ලාභී පවුලක දරුවකුට වුණත් පරිගණක අධ්‍යාපනය ලබා ඉදිරියට යාමට පුළුවන්. ඒ වගේම ඔවුන්ට අලුත් රැකියා සඳහා මඟ විවර වීමකුත් ඒ මඟින් සැලසෙනවා. මේ සඳහා මධ්‍යස්ථානවලින් දැනටමත් පහළොස්දහසකට අධික පිරිසක් පුහුණුව ලබා තිබෙනවා. එම පුහුණුව මඟින් ජාත්‍යන්තර මට්ටමේ පරිගණක පුහුණූවක් මෙන්ම ඒ සඳහා සහතික පත්‍රයකුත් ලැබෙනවා.

දේශීය නිෂ්පාදන හා කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩි දියුණුවත් විද්‍යාත්මක තාක්‍ෂණයේ ප්‍රතිලාබ ලබාගත හැකියි. අද වෙලා තිබෙන්නේ අපේ නිෂ්පාදන නිසි විදිහට ප්‍රමිතිගතව නිෂ්පාදනය නොවීම නිසා එයට නිසි වටිනා කමක් ඇගැයීමක් නොලැබී යාමයි.

ඒ නිසා අපිට ලැබී තිබෙන වගකීම් අනුව දේශීය නිෂ්පාදන අපනයනයේ දී ප්‍රමිතිගත තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු සැලසුම් කරලා තිබෙනවා. එයට උදාහරණයක් විදිහට අගලවත්තේ, කිතුල්ගල පැණි මේවා විදේශයන්ට අපනයනය කරද්දී එහි ප්‍රමිතිය ඉහළින් රඳවා තැබීම මඟින් වඩාත් හොඳ යහපත් ප්‍රතිලාබ අපිට ලබාගත හැකියි.

* ඇතැමුන් කියනවා ඔබට මෙවර තිබෙන අමාත්‍යංශයේ වගකීම් අඩු කරලා කියලා ?

එහෙම දෙයක් නැහැ. මා ගැන ජනාධිපතිතුමා පූර්ණ විශ්වාසය තියලා තමයි මේ අමාත්‍යාංශය භාරදී තිබෙන්නේ. මට ගියවරට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් මෙවර එතුමා විසින් පවරා දී තිබෙනවා. මගේ බලාපොරොත්තුව වෙලා තිබෙන්නේ මා ගැන විශ්වාස කරලා ජනාධිපතිතුමා මට පැවරූ වගකීම රට වෙනුවෙන් උපරිමයෙන් ඉටු කිරීමයි.

* ශ්‍රී ලංකාවේ බොහෝ දේශීය නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය නිසි විදිහට ඇසුරුම් නොකිරීම, සංරක්‍ෂණ ක්‍රමයන්හි දුර්වලතා ආදි කරුණු නිසා අකලට විනාශ වෙනවා. මෙය රටක් විදිහටත් ගොවියාට නිෂ්පාදකයාට ආර්ථික වශයෙනුත් හානිකරයි. මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට මොන විදිහේ සැලැසුමක් ද තිබෙන්නේ?

අස්වැන්න වැඩි කාලයේදී අධික වශයෙන් ඵල ලැබුණත් අපේ ගොවියාට නිෂ්පාදකයාට එය සංරක්‍ෂණය කර ගන්න කල්තබා ගන්න විදිහක් නැහැ. ඒ නිසා පලතුරුවගේ දේවල් විශාල ලෙස විනාශයට පත්වෙනවා. මෙය ඇත්තෙන්ම අපරාධයක්. ඒත් මෙවැනි දේ කල්තබා ගැනීම පිළිබඳ රාජ්‍ය මට්ටමේ විධිමත් වැඩපිළිවෙළක් මෙතෙක් නිසි විදිහට ක්‍රියාත්මක වී නැහැ.

උදාහාරණයක් ලෙස දෙහි වාරයට වීසි කරන්න දෙහි තිබෙනවා. ඒත් මේවා කල්තියා ගන්න අපිට ක්‍රමයක් නැහැ. එහෙම දෙහි කල්තියාගෙන වසර පුරා විදේශයන්ට අපනයනය කළානම් රටට හොඳ විදේශ ආදායමක් ලබාගන්න හැකියි. අද අපගේ අවධානය යොමුවී තිබෙන්නේ මෙවැනි ඉසව් පිළිබඳයි. ඉදිරියේ දී අපි මේ වැනි දේ නිවැරැදි කිරීමට වැඩ පිළිවෙළක් ආරම්භ කරනවා.

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා. ලංකා සමසමාජ පක්‍ෂය විදිහට මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අපි දේශපාලන පක්‍ෂයක් විදිහට 1978 දී මෙම ව්‍යවස්ථාව ඉදිරිපත් කරද්දී මූලිකව විරෝධය පළ කළ දෙශපාලන පක්‍ෂයක්. එදත් අපි මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු පිළිබඳ දැක්කා. අද වෙද්දි ඒ මතය මුළු සමාජයම පොදුවේ පිළිඅරගෙන තිබෙනවා. අපිත් දේශපාලන පක්‍ෂයක් විදිහට කල්පනා කරනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි කියලා.

මේ සංශෝධනය සිදුවිය යුත්තේ දෙමළ, මුස්ලිම් මන්ත්‍රීතුමන්ලා සමඟත් විපක්‍ෂය සමඟත් සාකච්ඡා කර ඉදිරි සංශෝධනයන් සිදුකළ යුතුයි. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සුළුජාතික දේශපාලන පක්‍ෂ පමණක් නෙමෙයි ප්‍රධාන විපක්‍ෂය වූ එජාපයත් සෙසු පක්‍ෂ දේශපාලන පක්‍ෂ සමඟත් සාකච්ඡා කළ යුතුයි. ඒ විදිහට කටයුතු කළොත් අපිට පුළුවන්කම තිබෙනවා රටට හිතවත් රටට හිතකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහි කිරීමට.

* සර්වපාර්ශවීය විසඳුම් පිළිබඳ පසුගිය අවුරුදු කිහිපයේ දී විවිධ කතාබහ ඇති වුවත් සර්වපාර්ශවීය විසඳුම් යෝජනා මෙතෙක් ක්‍රියාත්මක වන බවක් දක්නට නැහැ. සර්වපාර්ශවික යෝජනාවලට මොකද වුණේ?

ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලට ස්ර්වපාක්‍ෂික කමිටු යෝජනත් ඇතුළත් කර තිබෙනවා. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය පත් කිරීම, ග්‍රාමීය මට්ටමට බලය බෙදාහැරීම ඇතුළු යෝජනා ආවේ සර්වපාක්‍ෂික කමිටු යෝජනා මඟිනුයි. ඒ නිසා සර්වපාර්ශවීය කමිටුව නියෝජනය කළ පිරිස් වශයෙන් සතුටට පත් වෙනවා.

* පළාත් සභාවලට බලය ලබාදීම ඇතුළු දේශපාලන විසඳුම් පිළිබඳ යළි කතාබහ ඇතිවී තිබෙනවා. පළාත් සභා ඇතුළු මේ විසඳුම් කොයි කාලයේදී ද ඉදිරිපත් වන්නේ?

දැනටමත් නැඟෙනහිර පළාත් සභාව ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙනවා. වගේම උතුරු පළාත් සභාවත් නුදුරේදී ම පිහිටුවීමට කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා පළාත් සභා මට්ටමේ විසඳුම් ඉතාම නුදුරේදීම ලබාදීමට සූදානමින් තිබෙන්නේ.

* යුද්ධය නිමා වූ පසු ආර්ථික හා සංවර්ධන මෙහෙයුම ආරම්භ වී ඇතැයි ආණ්ඩුවේ බලධාරීන් ප්‍රකාශ කරනවා. ඒත් විපක්‍ෂය සඳහන් කරන්නේ ‘ආර්ථික සංවර්ධන මෙහෙයුම’ ආණ්ඩුවේ තවත් ප්‍රචාරක උපක්‍රමයක් බවයි. මේ පිළිබඳ ඔබේ අදහස?

ප්‍රචාරක උපක්‍රමයක් නෙමෙයි රජයට ආර්ථිකය නැංවීමට, සංවර්ධන මෙහෙයුම සාර්ථකව ඉදිරියට රැගෙනයාමට අත්‍යවශ්‍යතාවයක් තිබෙනවා. ඒ සඳහා සුදුසු ඇමැතිවරු, නිලධාරීන් රජය විසින් නම්කර ඔවුන් වෙත වගකීම් පවරා දී තිබෙනවා.

සංවර්ධනය ඉලක්ක කරගත් ගමනක් පිළිබඳ ව තමයි මෙවර ආණ්ඩුවේ මූලික ඉලක්කය වී තිබෙන්නේ. පසුගිය අවුරුදු හතරේ දී රටේ යුද්ධයක් තිබියදී පවා සංවර්ධනයේ මූලික කටයුතු ආරම්භ වුණා. දැන් යුද්ධය නිමාවී තිබෙන පසුබිමක ආර්ථික හා සමාජීය සංවර්ධනයේ අරුණලු වැටෙමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන නායකත්වයත් ආර්ථික නායකත්වයත් ලබාදීමටත් ජනාධිපතිතුමාත් රජයත් සැලැසුම් සකසා එය ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

රටට අතිරේක බරක් විදිහටයි යුද්ධය පැවතුණේ. දැන් යුද්ධය ඉවරයි එළැඹී තිබෙන සාමයේ ප්‍රතිලාභ රටට ලබා ගනිද්දී ආර්ථික සංවර්ධනය මූලික දෙයක්. ඒ සඳහා තමයි ආණ්ඩුව කටයුතු කරලා තිබෙන්නේ. දැන් අදාළ පුද්ගලයන් සැලැසුම් නිර්මාණය කර අවසානයි. ඉදිරි වසර හය ඇතුළතදී රට ආසියාවේ ආශ්චාර්ය බවට පත්වන එක ඒකාන්තයි. මේ මොහොතේදී විපක්‍ෂය විදිහට සිදුකළ යුත්තේ ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළට හරස් කැපීම නෙමෙයි වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමයි. වගකිවයුතු දේශපේ‍්‍රමී විපක්‍ෂයක් කටයුතු කළ යුතු ආකාරයයි මා සඳහන් කළේ.

* ලංකා සමසමාජ පක්‍ෂය ඇතුළු වාමාංශික දේශපාලන පක්‍ෂ මෙවර මහ මැතිවරණයේදී වර්ධනීය ප්‍රතිඵලයක් ලබා තිබෙනවා. මේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?

මෙවර මහ මැතිවරණයේ දී සමාජවාදී වාමාංශිකයන්ට වඩාත් හොඳ දේශපාලන තත්ත්වයක් අලුත් දේශපාලන ආරම්භයක් ඇතිවී තිබෙනවා. මෙවර ලංකා සමසමාජ පක්‍ෂයෙන් වයි. පී. පද්මසිරි සහෝදරයා ජයග්‍රහණය කළා අපේ සහෝදර පක්‍ෂ මඟින් වාසුදේව නානායක්කාර, චන්ද්‍රසිරි ගජධීර සහෝදරවරුද පත්ව සිටිනවා.

ඒත් සමඟම සන්ධානය යටතේ තරග කළ අපේක්‍ෂකයන්ට විශාල මනාප ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන් වුණා. අද වෙද්දී ආණ්ඩුව තුළ වමේ නියෝජිතයෝ පස් දෙනකු සිටිනවා. මේ තත්ත්වය අඩපණවී තිබූ වාමාංශයට අලුත් ආරම්භයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

ජවිපෙ නියෝජනය ආසන තිස් නවයේ සිට හතර දක්වා පහළ ගොස් තිබියදී සමාජවාදී වම වශයෙන් අපිට සතුටුවෙන්න පුළුවන් වර්ධනයක් අත්පත් කර ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විදිහට ආසන හතක් ලබා ගත්තද එහි මන්ත්‍රීවරු වන ජෙනරාල් ෆොන්සේකා, අර්ජුන රණතුංග, ටිරාන් අලස් යන මහත්වරු ජවිපෙ සාමාජිකයන් නෙමෙයි. ඒ නිසා තමයි මම කීවේ ජවිපෙට පාර්ලිමේන්තුවේ ඉන්නේ හතර දෙනයි කියලා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා