ආසියානු ක්‍රීඩා සමාජ හොකී තරගාවලිය රටවල් 10ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී

ආසියානු ක්‍රීඩා සමාජ හොකී තරගාවලිය රටවල් 10ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී

ආසියාවේ රටවල් 10ක් සහභාගී වන ආසියානු සූරතා ක්‍රීඩා සමාජ හොකී තරගාවලිය ලබන මස 5 වැනිදා මාතලේ නන්දිමිත්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය
ඩකාහී තරග වැදුණු අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ දී ආසියානු මට්ටමේ හොකී තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙයට පෙර දකුණු ආසියානු හොකී තරගාවලියක් පවත්වා තිබුණි. ආසියානු සූරතා ක්‍රීඩා සමාජ හොකී තරගාවලිය ලබන මස 13 වැනිදා දක්වා මාතලේ දී පැවැත්වේ.

කොළඹ රීඩ් මාවත කෘතිම හොකී පිටියේ නවීකරණ කටයුතු සිදුවන බැවින් සියලුම තරග මාතලේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනයට සිදුව ඇත. තරගාවලියට හොංකොං උස්බෙකිස්තාන, ඕමාන් හා පාකිස්තාන ක්‍රීඩා සමාජ කිහිපයක් දැනටමත් සහභාගීත්වය ස්ථිර කර ඇතැයි ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ලේකම් ගාමිණී ජයසිංහ මහතා ‘දිනමිණ’ ට පැවැසීය. ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් තරගාවලියට එක්වන අතර ගුවන් හමුදාව හා මාතලේ දිස්ත්‍රික් හොකී පිල එම කණ්ඩායම් දෙක වේ.

ජයග්‍රාහී කණ්ඩායමට ආසියානු ක්‍රීඩා සමාජ සූරතාව පිරිනැමීමට කටයුතු යොදා ඇත. තරගාවලිය සංවිධානය කිරීමේ මූලික සාකච්ඡාවක් අද මාතලේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා හොකී පිලට මේ වසරේ අන්තර් ජාතික තරගාවලි නොමැති අතර ජාතික හොකී තරගාවලි කිහිපයක්ම මෙරට සංවිධානය වේ. ජූලි මාසයේ බදුල්ලේ දී කනිෂ්ඨ ජාතික හොකී සූරතාවලියද අගෝස්තු මාසයේ දී මහනුවර කාන්තා ජාතික තරගාවලිය හා සැප්තැම්බර් මාසයේ දී පිරිමි ජාතික තරගාවලියද පැවැත්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා