හිලරි මැතිනියට අපේ ස්තුතිය !

හිලරි මැතිනියට අපේ ස්තුතිය !

ඇමෙරිකාවට බැණ වැදීමත්; ඉන්දියාවට අභියෝග කිරීමත් දේශපාලනය යැයි සිතන මිනිස්සු ශ්‍රී ලංකාවේ වසති. එබඳු වැඩි දෙනෙක් දේශපාලනය ද කරති. එහෙත් ඉහත කරුණු දෙකෙන්ම රටට සිදුවන යහපතක් නම් නැත. කුමන විවේචන ඉදිරිපත් කළ ද ලෝක වෙළෙඳාමේ ආධිපත්‍යය තව ම ඇමෙරිකාව අත පවතී.

දේශපාලනයේ දී එම යථාර්ථය තේරුම් ගැනීම වඩාත් යහපත් ය. ලෝක බල ආධිපත්‍යයේ පළමුතැන ඇමෙරිකාවට ද දකුණු ආසියානු කලාපයේ එම තත්ත්වය ඉන්දියාවට ද පවතින බව තේරුම් ගත යුතුය. යථාව නොදැන දේශපාලනය කිරීමට යෑමෙන් දේශපාලකයා ද අනුගාමිකයා ද යන දෙදෙනා ම විනාශ මුඛයට යති.

ඇමෙරිකාවට ගැතිවීම එක් අවස්ථාවෙකි. නැතහොත් එක් ආස්ථානයෙකි. ඇමෙරිකාවට බලවත් සේ විරුද්ධවීම තවත් ආස්ථානයෙකි. ඇමෙරිකාව සමඟ ගනුදෙනු බේරා ගැනීම තවත් ආස්ථානයෙකි. ඉන්දියාව සම්බන්ධ කාරණයේ දී ද එම සූත්‍රය ඒ අයුරින් ම යොදා ගත හැකි ය. අපගේ අවබෝධයට අනුව මේ අදියර තුනෙන් වැදගත් ම අදියර වන්නේ තුන්වන ආස්ථානය යි.

හෙවත් ඇමරිකාව හා ඉන්දියාව කැටුව ගනුදෙනු සාර්ථක ව සිදුකර ගැනීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා ගමන් කරන්නේ තුන්වන අදියර දිගේ ය. එතුමා ඇමෙරිකාව, ඉන්දියාව සමඟ පමණක් නොව යුරෝපය සමඟ ද ගනුදෙණු බේරා ගනිමින් සිටී.

ඊයේ මේ තීරුව ඔස්සේ විග්‍රහවූයේ ඇමෙරිකාව හා යුරෝපය අලුත් ඇසකින් ශ්‍රී ලංකාව දෙස බලන්නට පටන්ගත් හැටි ය. අද එහි ම දිගුවක් පිළිබඳ විවරණයක යෙදීමට අපේක්ෂා කරමු. එය ආරම්භවන්නේ වොෂින්ටන යෙන් ය.

ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හා ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අතර සංවාදයක් පසුගිය 28දා වොෂින්ටනයේ දී පැවැත්විණි. ක්ලින්ටන් මහත්මිය මෙහිදී ශ්‍රී ලංකාව ගැන ඉතා වැදගත් ප්‍රකාශ කිහිපයක් කළා ය. එම ප්‍රකාශ පිළිබඳ නැවත - නැවත සමාලෝචනය කිරීම අතිශය වැදගත් ය.

යුද සමයේ ඇතිවූ සිදුවී නිරීක්‍ෂණයටත්; ගැටලු නිරාකරණයටත් එමෙන් ම ජාතීන් අතර සංහිඳියාව පහසු කිරීමටත් අදාළ විද්වත් කොමිසමක් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පත්කරන ලදී. මේ කොමිසම ලෝකයට ආදර්ශයක් බවත්; ගැටුම් පවතින රටවලට පාඩමක් බවත් හිලරි ක්ලින්ටන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බැහැරින් එන චෝදනා හා විවේචන තමන් නො පිළිගන්නා බව ද දෙරට අතර මිත්‍රශීලීභාවය වර්ධනය කිරීමට පියවර ගන්නා බව ද ක්ලින්ටන් මහත්මිය ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සරණාගතයන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර ගැන ද ඇයගේ ප්‍රසංශාව හිමි ව ඇත.

ඇමෙරිකාවේ ප්‍රතිපත්ති හා ක්‍රියාවන් අප නොපිළිගන්නවා වන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව හා යුරෝපය දක්වන මෑතකාලීන මතය අපට බැහැර කළ නො හැකි ය. මන්ද යත්? එය සාධාරණ හා යුක්ති සහගත එකක් බැවිනි. මීට වසර දෙක තුනකට පෙරත් ඇමෙරිකාව හා යුරෝපය සිටියේ අපට විරුද්ධ තැනක ය. අප විවේචනය කරමින් අපට අයුතු බලපෑම් කරන තැනක ය. මානව හිමිකම් උල්ලංඝනය ගැන අභූත චෝදනා එල්ලවූයේ ද ඇමෙරිකාවෙන් හා යුරෝපයෙන් ය. අද එම තත්ත්වය මුළුමනින් ම වෙනස් වී තිබේ.

මේ හදිසි වෙනස ඇතිවූයේ ස්වාභාවිකව නො වේ. දේශපාලන සංසිද්ධීන් ඉබේ මතුවන්නේ නැත. ආණ්ඩුව උක්ත පසුබිම ඇතිකිරීම සඳහා ඉතා අපහසු ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කර තිබේ. පළමුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පවතින බව මහින්ද රාජපක්‍ෂ මහතා විනිවිදභාවයෙන් යුතුව සනාථ කළේ ය. හදිසි නීතියට අදාළ ඇතැම් වගන්ති ඉවත් කිරීම, තිස්සනායගම් මහතාට සමාවදීම, සරණාගතයන්ට අදාළ නැවත පදිංචිකිරීම් කඩිනම් කිරිම, උතුර හා නැඟෙනහිර පළාත් වේගවත් සංවර්ධනයකට යොමු කිරිම ඊට අදාළ තීරණ අතර ප්‍රමුඛ වේ.

මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නො වන සංවිධානවල නියෝජිතයන් ඩොලර් අපේක්ෂාවෙන් කුමන විවේචන ඉදිරිපත් කළ ද, ප්‍රධාන විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ බලය අපේක්‍ෂාවෙන් කුමන කුමන්ත්‍රණවල යෙදුණ ද මහින්ද චින්තනය තුළ ජාතිවාදයට ඉඩක් නැත. යුද අපරාධවලට ඉඩක් නැත. මෙරට ආරක්ෂක හමුදාව ලොව ඇති විශිෂ්ට ම විනයගරුක හමුදාව ලෙස නම් කළහොත් එහි කිසිදු අසාධාරණයක් නැත. ප්‍රභාකරන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ලක්ෂ තුනකට අධික දෙමළ ජනයා ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් ආකාරය ඊට කදිම නිදසුනක් වේ.

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝක ජන මාධ්‍ය විසින් වසං කොට තිබේ. ඔවුන්ගේ අභිලාෂය වනුයේ මානව හිමිකම්වලින් අපට දමා ගැසීම ය. අපගේ රාජ්‍ය නායකත්වය හා ආරක්ෂක ප්‍රධානීන් දංගෙඩියට යැවිම පිළිබඳ දුෂ්ඨ අදහස මේ ආයතන විසින් තව ම අත් නොහරින ලද ව්‍යායාමයක් සේ පවතී. එන්. ජී. ඕ. මෙන් ම විපක්ෂය ද එම තත්ත්වය පෝෂණය කරමින් සිටිති. ඒ හැරෙන්නට රටේ දේශපාලන අවුල් නිර්මාණය කිරීමට වෑයම් කරති. මේ සියල්ල දේශපාලන බලය පිළිබඳ කාරණා ය.

ඇමෙරිකාව හා යුරෝපය අප කෙරෙහි දක්වන ආකල්පය ඉතා සුබවාදී ය. ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන ගෞරවය ද ඒ තරමටම සුබවාදී ය. මේ පසුබිම තුළ ඉතා සාර්ථක ගමනක් යෑම අපට අවස්ථාව උදා වී තිබේ. එය පරෙස්සමෙන් හා සාර්ථකව යොදාගැනීම නායකයන්ගේ වගකීම වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා