සර්; අපට සමාවෙන්න !

සර්; අපට සමාවෙන්න !

ටියුෂන් හෙවත් අමතර පන්ති යනු එක්තරා රෝගයෙකි. එසේ කීම ගැන ටියුෂන් ගුරුවරු උදහස් නො වෙත්වා! රෝගයක් යැයි කියුව ද මෙය නිට්ටාවට සුව කිරීම අපහසුය. ඊට හේතුව දැන් එය අධ්‍යාපන ශරීරය පුරා ඔඩුදුවා ඇති බැවිනි. පාසල් නොගොස් ටියුෂන් නොවරදවා ම යන සිසුන් අප දැක තිබේ. විභාගය නමැති මාරක තරගයට ඉදිරිපත් වන සිසුන්ට එසේ කරන්නට සිදුව තිබේ. කෙසේ ද යත්; විභාග සමත්වීම සියයට අනූවක් ම පාහේ සිදුවන්නේ ටියුෂන් හෙවත් අමතර පන්ති නිසාවෙන් ය.

ටියුෂන් හෙවත් අමතර පන්ති ව්‍යාප්තවීමත් සමඟ අපගේ දරු පරපුර අතර විවිධ විකෘතිතා පැන නඟින්නට පටන් ගැනිණි. එක් විකෘතියක් වන්නේ දහම් පාසල් යෑමට හා ආගමට – දහමට යොමුවීම අඩුවීම ය. දරුවෝ දහම් පාසල අතහැර ටියුෂන් පන්තියට යති. පෝය දවසට පන්සලට, කෝවිලට, පල්ලියට නොයන දරුවෝ වහාම ඇඳ – පැළඳගෙන ටියුෂන් පන්තියට යති. පන්තිය නිදහස් ය. ඒ තුළ අනාගත බලාපොරොත්තුවක් ද රැඳී තිබේ. එය විශිෂ්ට සාමාර්ථයන් කිහිපයෙකි.

ඉරිදාටත් පොහොය දිනයටත් ටියුෂන් පන්ති තහනම් කළ යුතු යැයි බරපතළ යෝජනාවක් පළාත් සභා පැත්තෙන් යොමුව තිබේ. එය ක්‍රියාත්මක කළ යුතු තැනට කටයුතු සිදුවෙමින් පවතින බවද දැනගන්නට ලැබේ. මේ වනවිටත් ඇතැම් පළාතක ඉහත තහනම ක්‍රියාත්මක වන බව දැනගන්නට තිබේ. රටේ සියලුම පළාත් සඳහා එබඳු තහනමක් පැනැවිය හැකිනම්; ඒ මගින් අනාගත පරම්පරාවට යහපතක් සිදුවනු ඇත. තරුණ පරම්පරාවේ විනයගරුකභාවය පිළිබඳ අර්බුදයක් දැනට ම පවතින බැවින් ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් ය.

ඕනෑම ශිෂ්ට සමාජයක් ඉදිරියට ගමන් කරන්නේ ආගමික ශික්ෂණයක් පදනම් කරගෙන ය. ආගම යනු මිනිස් ශිෂ්ටාචාරයේ මුල්ගලක් බඳු ය. තරගකාරී සමාජය තුළ ආගම කොන්වන ස්වරූපයක් තිබුණ ද ඉන් ලැබෙන ශික්ෂණයෙන් තොරව විනයගරුක සමාජයක් බිහිකිරීම අපහසු ය. ඒ බව පළමුව තේරුම් ගත යුත්තේ දේශපාලකයා ය. ඔවුනට රටේ යහපත සඳහා තීන්දු ගැනීමේ හැකියාව තිබේ. ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ පනත් සම්පාදනය කිරීමේ හැකියාව තිබේ. එසේනම්; මේ ගැටලුවෙන් ගොඩයෑම සඳහා පියවර ගැනීම දේශපාලකයාට අයත් වගකීමක් සේ සැලකිය හැකි ය.

ටියුෂන් පන්තිවල ව්‍යාප්තියත් සමඟ පාසල්වල ඉගැන්වීම ද යම් මට්ටමකින් පහළ බැස තිබේ. එය අපගේ ප්‍රායෝගික අත්දැකීම ය. ඇතැම් ගුරුවරු පාසල් පන්ති කාමරයේදී නිසි ලෙස ඉගැන්වීම් කටයුතුවල නො යෙදී තමන්ගේම පුද්ගලික පන්තියට සිසුන් කැඳවති. එය දැන් එක්තරා විලාසිතාවක් බවට පත්ව තිබේ. පාසල්හි උගන්වන ගුරුවරුන්ගේ අමතර පන්තිවලට යෑමට ශිෂ්‍යයෝ බෙහෙවින් උනන්දු වෙති. මීට දසක තුනකට පමණ පෙර පාසල් ගුරුවරු නොමිලයේ අමතර පන්ති පැවැත්වූහ. එහෙත් අද එවැන්නකට පෙලැඹෙන ගුරුවරයකු සොයා ගැනීම අතිශය දුෂ්කර ය.

අමතර පන්තිවලට ශිෂ්‍යයන් යොමු වන ලද්දේ පාසල් අධ්‍යාපනයේ පවත්නා දුර්වලතා හේතුකරගෙන ය. මේ අධ්‍යාපන ක්‍රමය පරිපූර්ණ මිනිසුන් බිහිකරනු වෙනුවට විභාග සහතික සහිත මිනිසුන් බිහි කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී. වඩාත් වැදගත් වන්නේ සහතිකය සහිත මැට්ටන් ද නැතහොත් ප්‍රායෝගික අත්දැකීම් සහිත සැබෑ මිනිසුන්ද යනු අප – අපම තීන්දු කළ යුතුව තිබේ. මේ සඳහා ඉරිදා හා පොහොය දිනය පමණක්වත් යොදාගන්නේ නම්; එය අතිශය කාලෝචිත වනු ඇත.

ඉරිදා හා පොහොය දිනවල ටියුෂන් තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ පළාත් සභාවල මහ ඇමැතිවරුන්ගේ සමුළුවේ දී ය. ඒ සඳහා බල පවත්වන පොදු ප්‍රඥප්තියක් සකස් කිරීමට ද ඇමැතිවරුන් තීන්දු කර තිබේ. ඉරිදා දහම් පාසලට සහභාගී වීමේ අවශ්‍යතාව හා පොහොයදා ආගමික වතාවත්වලට සහභාගී වීමේ වැදගත්කම සලකා මේ තීරණයට එළැඹි බව ද මහ ඇමැතිවරු කියති. රටේ පවත්නා විනය පිරිහීම හා වෙනත් සමාජ අර්බුද ගැන සැලකිල්ල යොමු කරනවිට මහ ඇමැතිවරුන්ගේ හදිසි තීරණය ඉතා කාලෝචිත බව පෙනී යයි.

වත්මන් ශ්‍රී ලංකාව තුළ විනය පිරිහීමේ ප්‍රශ්නයක් පවතී. අපරාධ රැල්ල වැඩිවන බවක් ද පෙනෙන්නට තිබේ. විනය පිරිහීමටත් අපරාධ වැඩිවීමටත් බලපාන එක් හේතුවක් නම්; ආගමික ස්ථාන කෙරෙන් තරුණ පරපුර ඈත්වීම ය. ධනවාදී සමාජයක ජීවත්වන මිනිසා සාරධර්මවලට වඩා තමන් සතු ආර්ථික ශක්තිය ගැන කල්පනා කරයි. ආර්ථික ශක්තිය මෙන්ම විනයගරුක බව ද එකිනෙකට සමපාතීව ගමන් කළ යුතුය. එසේ නොවූ කල බිහිවන්නේ අඩක් සම්පූර්ණ හා අඩක් අසම්පූර්ණ මිනිසෙකි. එබඳු මිනිස්සු රටේ යහපතට වඩා රටේ අයහපතට හේතු වෙති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමට යයි. එතුමා එහිදී ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරයි. පළමුවැන්න සමාජයේ ආර්ථික ප්‍රබෝධයයි. දෙවැන්න සමාජයේ විනයගරුකභාවයයි. මේ කරුණු දෙකෙන් ම සමන්විත උසස් සමාජයක් බිහිකිරීම සඳහා දේශපාලකයෝ පියවර ගත යුතු වෙති. ඒ අනුව බලන විට මහ ඇමැතිවරුන්ගේ තීන්දුව ඉතා කාලෝචිත ය. ඉතා සාධාරණය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා