කාමාතුර මාරයා සමඟ පොරබැදූ තරුණිය අනූනවයෙන් බේරෙයි

කාමාතුර මාරයා සමඟ පොරබැදූ තරුණිය අනූනවයෙන් බේරෙයි

පාලම කැඩී යෑම නිසා බස් රථ ධාවනය නොවන බැවින්, දෙවලපොළ සිට වටිනාපහට පයින් ගිය යෞවන වියේ සිටි ඇඟලුම් සේවිකාවක කාමාතුරයකුගේ ග්‍රහණයට පත්ව දිවි ගලවා ගැනීමේ සිද්ධියක් මිනුවන්ගොඩින් වාර්තා වෙයි.

මේ ඇඟලුම් සේවිකාව දෙවලපොළ සිට තම පියාගේ ආරක්‍ෂාව මැද දිනපතාම නිවෙසට එනවිට රාත්‍රී 9.00 පමණ වෙයි.

සිද්ධිය වූ දිනයේද දෙවලපොළ සිට යෙහෙළියන් කිහිප දෙනෙකු සමඟ පයින්ම පැමිණියද පාලම ආසන්නයේ ඔවුන් මඟ නතරවීම නිසා ඇයට තනිවම ගමන් කිරීමට සිදුවූයේ පියාගේ ප්‍රමාදය නිසාය.

මේ අතරවාරයේ තමා විනාශ කිරීමට යක්ෂයකු තමා පිටුපස ඒවියැයි ඇය කිසිවිටෙක සිතන්නට නැත. කාමාතුරයා කැඩුණු පාලම අසල සිට ඇය ග්‍රහණයට ගෙන අසල ඇති කමතට ඇදගෙන ගොස් තිබේ.

සිහින් වැසි පොද මැද ඇය කාමාතුරයාගෙන් බේරීමට අත ඇති කුඩයෙන් පහරදී කෑ ගසන්නට විය. නමුත් අසල්වැසියනට එය නෑසිනි.

නමුත් ඇගේ කෑගැසීම නොනැවතිණි. මෙසේ කෑගැසුවත් පාරේ යන යතුරුපැදිවල ශබ්දය ඊට හරස් විය. කාමාතුරයාට සිය අදිටන ඉටුකරලීමට ඇය ඉඩ නොදිනි. කාමාතුරයා ඇයට පහරදිනි. යටි බඩට දුන් පහර ඇයට වේදනාකාරී විය. තම ඇස අසලට දුන් පහර ඊටත් වේදනා කාරී විය. කමතෙන් ඇය වෙලට වැටිණි. කාමාතුරයාට තම සිතැඟි ඉටු කැර ගැනීමට නොහැකි තැන ඇය මරා දැමීමට මඩේ ඔබා තිබේ.

නමුත් ඇගේ වාසනාවට අසල් වැසි තරුණ කතකට මේ කෑගැසීම ඇසී තම සැමියා සමඟ යතුරුපැදියෙන් පැමිණ විපරම් කිරීමේදී කාමාතුරයා පැනගොස් තිබේ.

මඩේ සිට කෙදිරි ගාන මේ යෞවනිය දුටු මේ යුවළ ඇය රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ මොහොතේම අසලවූ අපනයන බුලත් සැකසුම් මධ්‍යස්ථානයක සිටි තරුණයකු ගැන සැක සිතූ එහි අයිතිකරු ප්‍රශ්න කිරීමේදී සියලු තතු අනාවරණය විය. බලබෝවේ පදිංචි ඒ කාමාතුරයා වහා පොලිසියට භාර දෙන ලදී.

තරුණිය ඉතා අසාධ්‍යව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චින්තක පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්‍ෂක දමින්ද සෝමජිත් මහතා ප්‍රධාන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා