තුර්කි ජාතිකයන් 9ක් මියයාම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ඊශ්‍රාලයෙන් ඉඩක් නෑ

ගාසාතීරයට සහනාධාර ගෙනා යාත්‍රාවට ප්‍රහාර එල්ල කිරීමෙන්

තුර්කි ජාතිකයන් 9ක් මියයාම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ඊශ්‍රාලයෙන් ඉඩක් නෑ

ගාසාතීරය බලා සහනාධාර රැගෙනයමින් සිටි විදේශ යාත්‍රා සමූහයකට ඊශ්‍රායල් හමුදා ප්‍රහාර එල්ල කිරීම හා එහිදී තුර්කි ජාතිකයන් 9 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ශනයක් පැවැත්විය යුතු බවට කෙරෙන ජාත්‍යන්තර බලපෑම් ප්‍රතික්‍ෂේප කරන ඊශ්‍රායලය, ගාසාතීරය කරා පෙරේදා පැමිණි තවත් ක්‍රියාකාරීන් කණ්ඩායමක් ද පලවා හැර තිබේ.

ගාසාතීරයට සහනාධාර රැගෙන ගිය නිදහස් යාත්‍රා පෙළට එක් වූ තුර්කි මාවි මර්මරා යාත්‍රාවයි මේ.

ඉකුත් මැයි 31 දා ඇතිවූ මුල් සිද්ධිය සම්බන්ධයෙන් නැඟෙන ජාත්‍යන්තර විරෝධය සමනය කිරීමේ මංපෙත් සොයනු පිණිස ඊශ්‍රායල් ප්‍රබල සත් අමාත්‍ය කණ්ඩායම රහස් සාකච්ඡාවක්ද පවත්වා තිබිණ.

ඒ සමඟම ඊශ්‍රායල් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට නැඟෙන ගෝලීය හඬ ප්‍රතික්‍ෂේප කරන ඊශ්‍රායලය, එවන් අන්තර්ජාතික කොමිසමක විමර්ශනයට ඉඩ නොදෙන බව අවධාරණය කැර ඇත.

“ඊශ්‍රායලය ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඊශ්‍රායලයට තමන්ටම පරීක්‍ෂණ සිදුකිරීමේ හැකියාව හා අයිතිය පවතිනවා. ඒ නිසා අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නැහැ” යි ඔවුන් කියා තිබේ.

මේ අතර ඉකුත් සෙනසුරාදා අයර්ලන්ත ‘රැෂල් කොරී’ යාත්‍රාව ගාසා තීර සහනාධාර සමඟ එහි ඇතුළුවීමට දරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ කළ ඊශ්‍රායලය ඔවුන් ජෝර්දානයට හරවා යවා තිබේ. මෙහිදී ඊශ්‍රායල් හමුදා ගැටුමක් ඇති කර නොගැන්මට වගබලාගෙන ඇත.

තුර්කිය කලෙකදී ඊශ්‍රායලය සමඟ දැඩි මිත්‍ර සන්ධවයක් පැවැත්වුවද ස්වකීයන් 9 දෙනකු ඝාතනය වීමේ සිද්ධියෙන් පසු දැන් දැඩි විරසකයකට පත්ව ඇත.

සිද්ධියට අදාළ “රාජ්‍ය භීෂණයේ” වගකීම ඊශ්‍රායලය බාරගත යුතු බව ප්‍රකාශ කරන තුර්කි අගමැති රිසෙෂ් ටේයිප් එර්දෝගන්, ගාසා තීරයේ ජනතාවට එළිමහන් සිරකඳවුරක ජීවත්වීමට බල කරන ඕනෑම අයකුට විරෝධය පළ කරන බවත්, ගාසා තීරයේ ඊශ්‍රායල් තහංචි ඉවත් කරනතුරු දැඩි ස්ථාවරයක සිටින බවත් කියා තිබේ.

මේ අතර ඊශ්‍රායලය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සාකච්ඡා කිරීමට එක්සත් ජනපද උප ජනාධිපති ජෝ බිඩන් ඊයේ ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් හමුවී තිබේ.

ඉකුත් මැයි 31 දා ගාසාතීරයට සහනාධාර රැගෙන යන යාත්‍රාවන්ට ඊශ්‍රායලය පහරදීමේ සිද්ධිය ගැන ලෝකයේම විරෝධතාව පළව ඇතත්, මෙහිදී ඊශ්‍රායල පිට පමණක් වගකීම පැවරීමට එක්සත් ජනපදය මැලිවී තිබේ.

කෙසේ වෙතත් ඊශ්‍රායල් ප්‍රහාරය හමුවේ ඊජිප්තු ජනාධිපති මුබාරක් මෙතෙක් වසා තැබුණු ගාසා ඊජිප්තු දේශසීමා දොරටුව රෆාන් දේශසීමාව විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ ඊශ්‍රායල මගහැර ඊජිප්තුවට පිවිසීමට ඉන් පලස්තීනුවන්ට ඉඩ ලැබෙන බැවිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා