පක්ෂයට අලුතින් එක්වන පිරිස සුහදව පිළිගන්න

පක්ෂයට අලුතින් එක්වන පිරිස සුහදව පිළිගන්න

සමස්ත ලංකා කාරක සභාවෙන් ජනාධිපති ඉල්ලයි

පක්ෂයට අලුතෙන් එක්වන පිරිස දෑත් විහිදා සුහදව පිළිගෙන ජනතාවට ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමට සියලු දෙනා කැප වියයුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේ ය.

සියලු ජයග්‍රහණ ලැබීමට සංවිධායකවරුන් දුන් ශක්තිය පක්ෂයට කිසි විටෙක අමතක නැති බව පැවැසූ ජනාධිපතිවරයා ඒ ශක්තිය ඇගැයීමට පක්ෂය නිරතුරුව සූදානම් බවත් කීවේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (07) රැස්විය. එහිදී ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස සමඟ සුහද කතා බහක නියැලුණු අයුරු. ඡායාරූපය - රංජිත් ජයවීර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කෙළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට අරලියගහ මන්දිරයේ දී ඊයේ (07) එක් වෙමිනි.

රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් මවුබිම රැකගෙන ඒ ජයග්‍රහණය ඉදිරියට ගෙන ගොස් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේ ය.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කෙළේ ය.

ශ්‍රීලනිපය ගොඩනඟලා මේ කාලයේ දී පක්ෂය ඉතාම ශක්තිමත් කරන්නට අපට අවස්ථාවක් ලැබුණා. ඒ ශක්තිය අපට ලැබුණේ ඔබෙන්. පක්ෂය ගොඩනැඟීමේ වගකීමට නායකත්වය දුන්නත් පක්ෂය ගමේ ශක්තිමත් කිරීමේ වගකීම පැවැරි තිබෙන්නේ ඔබට යි. ඔබ අද තිළිණ ලැබුවේ පසුගිය යුගයේ දී කරපු ඒ මහත් කැපවීම අගය කරන්නට පක්ෂය ගත් තීන්දුවක් නිසා.

පක්ෂය පිහිටුවලා ඉවර වෙලා බණ්ඩාරනායක මැතිතුමා 1956 දී, එදා හිටපු දේශපාලන නායකයින් පිලිප් ගුණවර්ධන මැතිතුමන්ලා වැනි නායකයින් සමඟ අත්වැල් බැඳගෙන 56 ජයග්‍රහණය ලබලා, මහ පෙරළියක් කරලා ඊට පසුව බණ්ඩාරනායක මැතිනිය සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන මේ රට ඉතා ශක්තිමත් කරලා ඉදිරියට ගෙන ගිය බව ඉතිහාසයේ අපි සියලු දෙනා ම දන්නවා.

ඒ බණ්ඩාරනායක මැතිතුමා ඇතුළු එදා හිටපු නායකයින්, ඒ වගේම බණ්ඩාරනායක මැතිනිය ඇතුළු නායකයින් මේ සියලු දෙනාම මේ පක්ෂය ගොඩනැගුවා විතරක් නෙවෙයි වඩාත් ශක්තිමත් කළා. ඒ වගකීම අපට ලැබුණා. පක්ෂයක් වශයෙන් ඒ වගකීම දරා ගන්නට අපට පුළුවන් වෙන්න ඕන. මේ කාලය තුළ දී මේ මැතිවරණය ජයග්‍රහණය කළා. අපි සම්මාන දුන්නු සියලු දෙනා ඔවුන්ගේ ප්‍රදේශයේ ජනතාවට කරපු සේවයට මේ සම්මානයෙන් පුද ලබන්නේ ඒ සංවිධායකවරයා පමණක් නොවන ඒ කැපවුණු සියලු දෙනාම.

පසුගිය යුගයන් හි අපි දන්නවා 2005 දී අපට අමතක කරන්න බෑ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ගමේ මධ්‍යම කාරක සභාව, ඒ නිලධාරින් සංවිධායකටත් වඩා ඉදිරියෙන් ඉඳගෙන කරපු සේවය අපි කිසිවිටෙකත් අමතක කරන්නේ නෑ කියන එක මතක් කරන්න ඕන. ඒ සියලු දෙනාම අපි අගයන්න ඕන. ඒක තමයි අපි අද කළේ. ඒ වගේම සන්ධානය ඒ කරපු සේවය අනෙකුත් පක්ෂ අපිට කරපු සේවය අපි හැමවිටම අගය කරන්න ශ්‍රීලනිපය නිහතමානී වෙන්න ඕන.

අද මම හිතන්නේ ඉතිහාසයේ පළමු වැනි වතාවට මේ පක්ෂය තුළින්, ඒ වගේම පක්ෂයක් වශයෙන් ඇගැයීමට ලක් කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් ම සන්තෝෂ වෙනවා.

අපි 1994 දී බලයට ආවා. අපි දිගටම බලයේ ඉන්නවා. මෙතන ඉන්න සමහර මැති ඇමැතිවරු ජීවිතයට පරාජය කියන වචනය, මේ තියෙන කටුක අත්දැකීම් ලබලා නෑ. දැන් මගේ දේශපාලන ජිවිතයට අවුරුදු 40ක් වෙනවා. මාත් එක්ක එදා පාර්ලිමේන්තුවේ එදා දිව්රුම් දුන්නු දි. මු. ජයරත්න අගමැතිතුමායි. අතාවුද සෙනෙවිරත්න ඇමැතිතුමා විතරයි මම හිතන්නේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ එදා දිව්රුම් දුන්නු අයගෙන්.

එතුමන්ලගේ ජීවිතවල ඊට වඩා අත්දැකීම් තිබුණත් අවුරුදු 40ක් එතුමන්ලා පාර්ලිමේන්තුවේ ගත කරලා තියෙනවා. අවුරුදු 40කදී අපි අත්දැකීම් ලැබුවා. අපි පරාජය ලැබුවා. හිරගෙවල්වල ගියා. සමහරු කිව්වා වගේ ඉඩම් ගන්න ගිහිල්ලා නෙමේ අපහාස කරලා එහෙම නැත්නම් වැට මායිම් ලොකු කර ගන්න ගිහිල්ලා නෙමේ. දේශපාලන පක්ෂයක් වශයෙන් වැඩ කරලා පක්ෂය වෙනුවෙන් එදා ඇති වෙච්ච සිද්ධීන් එක්ක තමයි අපි එදා හිරගෙවල්වල හිටියේ.

අපි පරාජය පිළිබඳව කටුක අත්දැකීම් දැක්කා. ගෙවල් ගිනි තියනවා, වෙඩි තියලා මරනවා, විශාල වශයෙන් තුවාල කරලා ඝාතනය කරනවා, අපි දැක්කා. ඒ හැම දෙයක්ම විඳගෙන තමයි පක්ෂය ආපහු ගොඩ ආවේ. මේ නිසා අපේ මැති ඇමැතිවරුන්ට වගකීමක් තියෙනවා.

1994 ඉඳලා ආපු අය ඉන්නවා. ඊට පස්සේ ආපු අය ඉන්නවා. මේ සියල්ලම අවබෝධ කර ගන්න ඕන අපි මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ ශ්‍රීලනිපය නිසයි කියන එක අද මම රටේ ජනාධිපතිවරයා වුණේ, අවුරුදු 40ක අත්දැකීම් ලැබුවේ ශ්‍රීලනිප ය නිසයි කියන එක තමුන්නාන්සේලා අමතක කරන්න එපා, ඒක හින්දා තමන්ට ලැබෙන පක්ෂය අමතක කරලා දාලා. මැතිවරණයක දී විතරක් පක්ෂය පිළිබඳව හිතන්න යන්න එපා.

ඒ නිසා පක්ෂය සංවිධානය කිරීම, ශක්තිමත් කිරීම අපි අනිවාර්යෙන්ම කළ යුතුව තිබෙනවා. අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තිබෙනවා. මේ අවුරුදු 40 මොන කෙනෙහිළිකම් තිබුණත් අපි හීනෙකින්වත් ශ්‍රීලනිප ය පිළිබඳව කලකිරිලා අස්වෙන්නට හෝ මඟහරින්නට අපි සූදානම් වුණේ නෑ.

පක්ෂයක ඉන්න කොට ඒ පක්ෂය රැක ගෙන, ඒ පක්ෂයත් එක්ක ශක්තිමත් වෙනවා නම් ඔබේ අනාගතය පක්ෂය විසින් බලා ගනීවි. ඒකයි අපට කියන්න තියෙන්නේ. ඒක නිසා මා විශ්වාස කරනවා මේ අවුරුදු 40ක අත්දැකීම් අපිට මේ අලුත් තරුණ දේශපාලන නායකයින්ට, තරුණයින්ට අපිට මතක් කරලා දෙන්න තියෙන්නේ ඒ ඉතිහාසය. ඒවයින් අත්දැකීම් ලබාගෙන ඔබ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යා යුතුව තිබෙනවා.

අපි ආණ්ඩුවක් වශයෙන් පසුගිය කාලයේ මේ රට දෙකඩ කරන්න ගිය බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන්නට නායකත්වය දෙන්නට අපිට පුළුවන්කම ලැබුණා. අපි දැන් රට නිදහස් කරගෙන ඉන්න අවස්ථාව.

දැන් අපිට ඊට වඩා මේ රටේ නැඟෙනහිර හා දකුණේ බිඳුනු හදවත් නැවත එකතු කරන්න ඒ මහා කාර්යභාරය අපිට තියෙනවා. මේ රට සංවර්ධනය කරන්න මිනිසුන්ගේ ජීවිත වඩාත් සුඛිත මුදිත කරන්නට අපිට වගකීමක් භාර දීලා තියෙනවා. අපි මේ කාලය තුළ අපේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරක් හැම අංශයකින්ම. මේ රටේ ආර්ථික සංවර්ධනය, තමන්ගේ ගම්මාන සංවර්ධනය කරන්න, යටිතල පහසුකම් ලබා ගන්න මේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම අපේ වගකීම.

අපි යුද්ධය විතරක් නෙවෙයි පහුගිය කාලේ කළේ. මේ යුද්ධය යන ගමන් ම මේ රටේ ඊළඟ පියවරට අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩනගන්න අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙළට අපි ගියා. අපි ගමේ සෑම කෙනෙකුටම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ලංකාවේ විදුලිය ලබා දීමට අවශ්‍ය කරන විදුලි බලාගාර අපි රජයක් වශයෙන් ආරම්භ කළා.

එතැනින් නැවතුණේ නෑ, ආර්ථිකය ශක්තිමත් කරන්නට වරායන් එකම අවස්ථාවක දි හදපු යුගයක්, මේ යුගය කියන එක අමතක කරන්න එපා. මේ යුගයේ දී කොළඹ, ගාල්ල, හම්බන්තොට ඒ වගේම ඔලුවිල්, කන්කසන්තුරේ වැනි වරායන් අපි අලුතින් ගොඩනගන්න, ධීවර වරායන් ගොඩනගන්න, ඒ වගේම ධීවර තොටුපළවල් ආරම්භ කරන්න අපි පසුබට වුණේ නෑ. යුද්ධය කියලා අපි ඒවා මඟ ඇරියේ නෑ.

මේ රටේ මිනිසුන්ගේ වුවමනා, මහ පාරවල් ටික අපි දන්නවා ප්‍රධාන පාරවල්, අපි දන්නවා අපේ ප්‍රදේශවල පාරවල් තවත් විශාල සංඛ්‍යාවක් හදන්නට අපිට අභියෝගයක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය වැඩපිළිවෙළ අපි දැන් සකස්කරගෙන යනවා. අපිට විරුද්ධව මෙතෙක් කල් ගෙනිච්ච බලවේග අපිට ආධාර කරන්න එපා, අපි ජී. එස්. පී දෙන්න එපා කියලා කිව්වා. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කිව්වා. මේ ප්‍රගතියට අකුල් හෙළපු පිරිස් ඉන්නවා.

නමුත් ඒවා සියල්ලම මැඩ ගෙන අද අපිට ඒ යටිතල පහසුකම් ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව විතරක් නෙවෙයි, චීනය ඉන්දියාව වැනි රටවල් විතරක් නෙවෙයි. බටහිර ලෝකයත් අද අපිට සහයෝගය දෙන්නට සූදානම් වෙලා. මේ සියලු දෙනාම එකතු කරගෙන අපේ රට ගොඩනගන්න ඕන. මිනිසුන්ට හොඳ ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන.

ඒකයි අපි පක්ෂයක් වශයෙන් ලබන ජයග්‍රහණය කියලා මා විශ්වාස කරන්නේ. අපි පක්ෂයක් වශයෙන් ඇවිල්ලා. සන්ධානයක් වශයෙන් ජයග්‍රහණය කරලා පක්ෂයක් රැකගෙන අපේ පක්ෂයට එන අලුත් පිරිස් එකතු කරන්න අපි හදවත් විවෘත කරන්න ඕන කියලයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා මේ රටේ එක ප්‍රදේශයකට තිබිච්ච සංවර්ධනය මුළු රටට ම අරන් යන්න, ඈත ගම්වල ඉන්න අහිංසක මිනිසුන්ට මේ ප්‍රතිලාභ ලබා දෙන්න ඕන. ගමේ මිනිස්සුන්ගේ ජීවිතයට මන්ත්‍රීවරයෙක් හම්බු වෙන්න එන්නේ නැති, සමහර විට මන්ත්‍රීවරයා දැකලා නැති ඒත් පක්ෂය නිසා ඡන්දය දෙන විශාල පිරිසක් ඉන්නවා අමතක කරන්න එපා.

අද ඡන්ද ප්‍රතිශතය 85%ක් ගත්ත මන්ත්‍රීවරු ඉන්නවා වගේම ප්‍රතිශතය 7%ක් ගත්ත අය ඉන්නවා. ඒකෙන් පේනවා මේ ජනතාව පක්ෂයක් වටා ඒකරාශී වෙන කොට එහි ප්‍රතිලාභ හුඟක් අයට ලැබෙනවා.

ඒ නිසා පක්ෂය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිව අපි කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිව ඒ ජනතාව දුන්නු බලාපොරොත්තු ඉටු කිරීම අපි සියලු දෙනාගේම වගකීම. අපිට පුළුවන්කමක් නෑ ගමේ දිනලා ඇවිල්ලා කොලඹට වෙලා ඉන්න.

අපිට පුළුවන්කමක් නෑ ගමේ දිනලා ඇවිල්ලා පක්ෂය අමතක කරලා ශාඛා සමිති මුණගැහෙන්නේ නැතිව ඉන්න. අපිට පුළුවන්කමක් නෑ ඡන්ද දායකයා අපට කථා කළාම දුරකථනයේ නෑ කියලා කියන්න. අපිට එහෙම කරන්න බෑ. දැන් අපිට වගකීමක් තියෙනවා. තමන්ගේ මන්ත්‍රීවරයාට ඡන්ද දායකයා කෙරෙහි වගකීමක් තියෙනවා.

තමන්ට ඡන්දය දුන්නා හෝ නොදුන්නා ඒ නිසා ඔබ ජනතාව කෙරෙහි විශ්වාසය තියන්න. ජනතාව කෙරෙහි විශ්වාස තියලා කටයුතු කරන්න පක්ෂය කෙරෙහි විශ්වාසය තියලා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න කියන ඉල්ලීමයි මම කරන්නේ.

අපිට පක්ෂයක් වශයෙන් ආඩම්බර වෙන්න පුළුවන්. මෛත්‍රීපාල ඇමැතිතුමා කිව්වා වගේ අපිට වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ලැබුණේ මේ යුගයේ. ඒකෙන් අපි උදම් අනනවද ? ඒකෙන් අපි සෑහීමකට පත් වෙනවද ? නෑ. මේ ජනතාවගේ උවමනාවන් ඉටු කරලා ඊළඟ වතාවෙදී මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නගාගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. පක්ෂයක් වශයෙන් අපි සියලු දෙනාම එක මතයක ඉන්න ඕන.

කවුරු හෝ ඇමැතිවරයෙක් මම විශ්වාස කරන්නේ නෑ ජනතාවට එරෙහිව කිසි දෙයක් කරන්න සූදානම් වෙනවා කියලා. හැම අවස්ථාවකම රජයත්, පක්ෂයත් ඒ ක්‍රියා කලාපය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න, ආරක්ෂා කරගන්න අපි සූදානම් වෙන්න ඕන. තමුන්නාන්සේලා මේ ජයග්‍රහණය ලබන්න දුන්නු ශක්තිය මේ පක්ෂය කිසි විටෙක අමතක කරන්නේ නෑ.

පක්ෂයක් වශයෙන් අපි ඔබේ ඒ දායකත්වය ඉතාම අගය කරනවා ඒක පෙන්නන්න තමයි අපි අද ඔබව කැඳවලා මේ තිළිණ දෙන්නට කටයුතු කෙළේ. ඒ නිසා මේ පක්ෂය රැක ගන්න. මේක මගේවත්, ලේකම්තුමාගෙවත්, භාණ්ඩාගාරිකතුමාගෙවත්, නිලධාරීන්ගෙවත් නෙවෙයි. මේ පක්ෂය මේ රටේ ජනතාවගේ, ඔබේ. එහෙමනම් එය රැකගෙන ඉදිරියට යන්නට, ඒ වගේම එයට අලුතින් එන පිරිස් පුළුල් කරලා සුහදව තමා ළඟට අරගෙන මේ පක්ෂය තව තවත් ශක්තිමත් කරලා ජනතාවට යුතුකම් ඉටුකරන්න. රණවිරුවන් සිය ජීවිත කැප කරලා බේරාගත්ත මේ මවුබිම රැක ගෙන ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න ඔබ අපි සියලු දෙනාම අත්වැල් බැඳ ගනිමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද කැඳවීමට අරමුණු කීපයක් මුල් වෙනවා. පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව මේ කාරක සභාව වසරකට වරක් රැස්විය යුතුයි. ඒ රැස්වීමේදී තවත් ප්‍රධාන කරුණක් මුල්වුණා. ඒ අපේ ජනාධිපතිතුමා එදා 1970 පාර්ලිමේන්තුවේ දිවුරුම් දී තිබෙන්නේ අද වැනි දිනක. වසර හතළිහක් පිරෙන එතුමාගේ දේශපාලන ජීවිතය ඇගයීම අද වැදගත් අවස්ථාවේ ප්‍රධාන කාර්යයක්.

ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී යෝජනා කළා පසුගිය මැතිවරණයේ දී අපට ජයග්‍රහණය ලබා දුන් ජනතාව, සංවිධායකවරුන් ඇගයිය යුතු බව. ජනවාරි 26 දා පැවැති ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට කැප වූ ජනතාවට පක්ෂ සංවිධායකයන්ට ගරු කරන අතරම සියයට 60 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා දුන් ජනතාව ඇගැයීමට ලක්වෙනවා.

සියයට 60 කට වඩා ප්‍රතිශතය ගත් මැතිවරණ කොට්ඨාස 92 ක් තිබෙනවා. සියයට 63කට වඩා ගත් කොට්ඨාස 42ක් තිබෙනවා. ඒ කොට්ඨාසවල බල මණ්ඩලවලට සම්මාන ලබා දෙනවා. ඒ වගේම මහ මැතිවරණයේ දී ඉහළම මනාප ප්‍රතිශත හා මනාප සංඛ්‍යාව ලබා ගත් මැති ඇමැතිවරුන්ට සම්මාන පිරිනැමෙනවා. මීට පෙර කිසිදු දේශපාලන පක්ෂයක මේ වගේ සම්මාන පිරිනමා නෑ.

ඒ වගේම කිසියම් දේශපාලන පක්ෂයක් සිය සහෝදර දේශපාලන පක්ෂවලට මෙසේ සම්මාන දී නැහැ.

මේ සම්මාන පිරිනැමීමේ දී මගේ සහෝදර දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ටත් සම්මාන පිරිනමනවා. පසුගිය සියලු මැතිවරණවලදී ජයග්‍රහණයට කැප වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් පක්ෂවලට ගෞරවණීය ස්තුතිය පිරිනමනවා.

මම ඉල්ලා සිටිනවා මේ මැතිවරණවලදී ජයග්‍රහණය කරපු අය වගේම පරාජය වූ අයත් අමතක කරන්න එපා. ඒ අයගේ ශක්තියත් මතයි අපට මේ ජයග්‍රහණය ලැබුණේ.

මීට පෙර ජනාධිපතිවරණයක දී කිසිවකුට ලබා ගන්න හැකි වුණේ නැහැ මේ වගේ ප්‍රතිශතයක්. ජනාධිපතිතුමාගේ නායකත්වය හා මෙහෙයවීම මතයි මේ ජයග්‍රහණය ලැබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ මේ තරම් මන්ත්‍රීවරු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්ව නැහැ.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජකවරුනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අගමැති දි. මු. ජයරත්න, භාණ්ඩාගාරික තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහත්වරු ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා