සිම්බාබ්වේ පිලට කඩුලු 8ක ජයක්

සිම්බාබ්වේ පිලට කඩුලු 8ක ජයක්

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සිම්බාබ්වේ ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 119 ක් රැස් කරමින් ඊයේ සිම්බාබ්වේ හරාරේ නුවර ශ්‍රී ලංකාව සමඟ පැවැති මයික්‍රෝමැක්ස් කුසලාන තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි වටයේ අවසන් තරගයේ දී කඩුලු 8ක පහසු ජයක් කරා තම පිල මෙහෙයවීමට සමත් විය.

සිය ශතකය සඳහා පන්දු 137කට මුහුණ දුන් ටේලර් හතරේ පහර 9ක් සහ හයේ පහරක් එල්ල කළ අතර චමූ චිබාබා සමඟ එක් වී දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 134ක අනගි සම්බන්ධතාවයක් ගොඩනැඟීමට ද සමත් විය.

චමූ චිිබාබා ලකුණු 58ක් රැස් කළ අතර ටටේන්ඩා තායිබු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42 කි. ටේලර් සහ තායිබු අතර 3 වැනි කඩුල්ල සඳහා නොබිඳුනු සම්බන්ධතාවය ලකුණු 92කි. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක එල්ටන් චිගුම්බුරා පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා පිලට පිරිනැමූ අතර ශ්‍රී ලංකාව ඕවර 47.5 කදී ලකුණු 236 කට දවාලීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත්වූහ. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි උපුල් තරංග සහ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට ලකුණු 122 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට සමත්වූහ.

මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන ඩිල්ෂාන් තරගාවලියේ තම තුන්වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ඊයේ සමත්විය.

පන්දු 66 කට මුහුණ දුන් ඩිල්ෂාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමඟ ලකුණු 78 ක් රැස්කළ අතර තරංග ලකුණු 69 ක් රැස්කරනු ලැබුවේ පන්දු 97 කට මුහුණ දෙමින්ය. ඊට හතරේ පහර 5 ක් ඇතුළත්ව තිබිණි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු ලකුණු 50 වාර්තා වූයේ 8 වැනි ඕවරයේදීය. ප්‍රහාරාත්මක පිති හරඹයක නිරත වූ ඩිල්ෂාන්ගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 39 කින්ය. ඒ වන විට ඔහු හතරේ පහර 8 ක් එල්ල කොට තිබිණි. තරංග සිය අර්ධ ශතකය වාර්තා කරනු ලැබුවේ පන්දු 71 ක දී වූ අතර ඊට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ඩිල්ෂාන් ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ඉන්දියාව සමඟ පැවැති තරගයේදී ශතකයක් රැස් කළ දිනේෂ් චන්දිමාල්ට වැඩි වේලා පිටියේ රැඳී සිටීම ඉඩ ලැබුණේ නැත. ඔහු ලකුණු 6 කට දැවී ගියේය.

පළමු කඩුල්ලෙන් අනතුරුව කඩුලු අතර සම්බන්ධතා ගොඩ නැංවීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා නොදුන් අතර ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 4 ලකුණු 19 ක් ඇතුළත බිඳ දැමීමට ඔවුහු සමත් වූහ.

ලහිරු තිරිමාන්න සහ දිල්හාර ප්‍රනාන්දු මේ තරගයට කැඳවා තිබූ අතර ඉන්දියාව සමඟ පැවැති තරගයට සහභාගි වූ නුවන් කුලසේකර සහ අජන්ත මෙන්ඩිස් ඊයේ තරගයෙන් විවේක ගන්වා තිබිණ. පන්දු යැවීමේදී ක්‍රිස් මෝෆු, ප්‍රොස්පර් උට්සෙයා සහ ග්‍රීම් ක්‍රීමර් කඩුලු 2 බැගින් දවාලූහ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර මයික්‍රෝමැක්ස් කුසලාන අවසන් මහා තරගය හෙට (9) හරාරේ නුවර දී පැවැත්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා