රටට හානියක් වන කිසිදු ගිවිසුමක් අස්සන් කරන්නේ නෑ

රටට හානියක් වන කිසිදු ගිවිසුමක් අස්සන් කරන්නේ නෑ

නිමල් සිරිපාල ද සිල්වා වාරිමාර්ග හා ජල කළමණාකරන ඇමැති, පාර්ලිමේන්තු සභානායක

* වාරිමාර්ග හා ජනකළමණාකරන අමාත්‍යාංශය වගකීම් සමුදායක් සහිත අමාත්‍යංශයක්. මේ අමාත්‍යංශයේ වගකීම් ඉෂ්ඨ කිරීමට ඔබට තිබෙන්නේ කුමන ආකාරයට ද?

ජනාධිපතිතුමා මට භාර දී තිබෙන්නේ ජාතික වශයෙන් ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක්. ඒ අමාත්‍යංශය තමයි රටක ජීවනාලිය විදිහට සලකන්න පුළුවන්.

කෘෂිකාර්මික රටකට වාරි පද්ධතිය ඒ තරමට ම වැදගත් අමාත්‍යංශයක් ඒ වගේ අමාත්‍යංශයක් මා වෙත ලබාදීමට ජනාධිපතිතුමා මගේ සේවය අගය කිරීමක් විදිහටයි සලකන්න පුළුවන්.

මහවැලි ව්‍යාපාරය කියන්නේ රටේ ඉතාමත් වැදගත් ව්‍යාපාරයක්. මෙහි වගකීම පවා පැවැරී තිබෙන්නේ මගේ අමාත්‍යංශයට. ගංගා, මහා පරිමාණ වාරි ව්‍යාපෘති ඇතුළු වාරිමාර්ගවල වගකීම මා වෙතයි පැවරී තිබෙන්නේ.

මෙහි දී සුළු වාරිමාර්ගවල වගකීම තිබෙන්නේ පළාත් සභාවලට. එවැනි තත්ත්වයක දී පවා වාරිමාර්ග හා ජලකළමණාකරන අමාත්‍යංශය මැදිහත්වීමටත් අවශ්‍ය සහයෝගය ලබාදීමටත් කටයුතු කරනවා.

* පසුගිය කාලයේ දී ආරම්භ කළ මහා පරිමාණ වාරී ව්‍යාපෘති ඉදිරියට රැගෙන යාමට අමාත්‍යංශයට තිබෙන්නේ කුමන සැලැසුමක් ද?

පසුගිය කාලයේ දී රජය ආරම්භ කළ වාරිව්‍යාපෘති වගේ ම දැනට ක්‍රියාත්මක මට්ටමේ තිබෙන ජල ව්‍යාපෘතිවලට අවශ්‍ය කරන නඩත්තු කටයුතු සිදු කිරීමට කටයුතු කරනවා. මා හැම වෙලාවේදිම සිතන්නේ වාරිමාර්ග ඇල මාර්ග ගංගා රටේ ජීවනාලි විදිහට යි. ඒ නිසා ඇළ දොළ වාරිමාර්ග නඩත්තු කිරීමටත් අවශ්‍ය සංරක්ෂණ කටයුතු සිදු කිරීමටත් කටයුතු කරනවා.

* ඔබ අවුරුදු ගණනාවක් ම දැරුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයයි. එහෙත් මෙවර ඔබට හිමි වී තිබෙන්නේ වාරිමාර්ග හා ජල කලමණාකරන විෂය. මේ ආගන්තුක විෂය ඔබට අභියෝගයක් ද?

නැහැ කිසිසේත් ම අභියෝගයක් නෙමෙයි. මා මුලින් ම වෘත්තිය නීතිඥයකු විදිහටයි කටයුතු කළේ. ඒ අතර තමයි මට නිවාස ඇමැති ධූරය මුලින් ම ලැබුණේ. එහි දී මට අභියෝගයක් වුණේ නැහැ ඒ විෂය. පිළිබඳ මනා අධ්‍යනයකින් පසු මා සාර්ථක ලෙස ජය ගත්තා.

ඊට පසු සෞඛ්‍ය ඇමැතිධූරයේ වගකීමත් මා උපරිමයෙන් ඉටු කළා. යම් යම් අය මොන චෝදනා එල්ල කළත් බහුතර ජනතාවක් මේ චෝදනා එල්ල කිරීම් පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි මට බදුල්ලේ ජනතාව අති විශාල මනාප ප්‍රමාණයක් ලබාදුන්නේ.

ජනාධිපතිතුමා මා පිළිබඳ විශ්වාසය තබා තමයි මේ වෙද්දී වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යවරයා ලෙස මා පත් කිරීම තුළ ඉදිරියේ දී මේ විෂය පිළිබඳ වගකීමත් ඉතාමත් ඉහළින් ඉෂ්ඨ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන් ම මෙය මට අභියෝගයක් නෙමෙයි.

* මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආශ්‍රිත ප්‍රදේශවල අනවසර පදිංචිකරුවන් පිළිබඳ ඔබේ අමාත්‍යංශය මඟින් පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ කෙසේද? සමහරු කියන්නේ මේ අනවසර පදිංචිකරුවන් ආණ්ඩුවේ හිතවතුන් බවයි?

මහවැලි ව්‍යාපාරය තුළ ඉන්න ඕනෑ නීත්‍යානුකූල හිමිකරුවන් පමණයි. පිටින් ඇවිත් බලහත්කාරයෙන් අනවසරයෙන් පදිංචි වෙන්න බැහැ දේශපාලනය හේතුවක් කරගෙන අනවසරව පදිංචි වෙලා ඉන්න කාටවත් බැහැ. ඒ නිසා කවුරුන් හෝ මෙතෙක් අනවසරයෙන් පදිංචි වී ඉන්නවානම් ඒ අයට නීතියට අනුව ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. මෙතනදි අපිට දේශපාලනය මොකක් ද කියලා සොයා බැලීමට අවශ්‍ය නැහැ. මොන පක්ෂයේ වුණත් වැරැදි කරනවා නම් ඒ අයට දඬුවම් දීමටත් අනවසර පුද්ගලයන් ඉවත් කිරිමටත් අපි පසුබට වෙන්නේ නැහැ.

* රථවාහනවලට පනවා තිබූ බදු ප්‍රමාණය පහළ හෙළීමට හේතු වූ කරුණු මොනවාද?

රටේ ආර්ථිකය අර්බුදයකට ලක්ව තිබූ අවස්ථාවක තමයි රථවාහනවලට ඉහළ බදු ප්‍රමාණ රජය මඟින් පැණවූයේ. දැන් ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා විදිහට මේ තීරණය අරගත්තේ.

මේ බදු ප්‍රතිපත්ති ලිහිල් කිරීම මඟින් රටේ ආර්ථිකයත් යළි ක්‍රියාකාරී තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ. මෙය ඉතාමත් හොඳ දෙයක් විදිහටයි මා දකින්නේ.

* ඒත් විපක්ෂය චෝදනා කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා තිබෙන භාණ්ඩවල බදු අය කිරිම් ඉවත් නොකර රථවාහන වැනි සමාජයට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල බදු මිල ඉවත් කිරීම නුසුදුසු දෙයක් විදිහටයි?

මේ කාරණයේදිත් විෂය යළි පටළවාගෙන තිබෙන්තේ. සටන් පාඨ හිඟයකට පත්වෙලා ඉන්න එජාපයත් ජවිපෙත් ඒ නිසා තමයි මේ බදු සහනය පිළිබඳත් එක එක කතා කියන්නේ. එහෙම නැතිව මෙතන වෙන කාරණයක් නැහැ.

වාහන බදු පහළ හෙළීම මේ රටේ ආර්ථික ස්ථාවරය පිළිබඳ කාරණයක්. යුද්ධය නිසා ගල් ගැසුණ ආර්ථිකය යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වීමට මේ බදු සහනය ඉතාමත් ප්‍රබල විදිහට බලපානවා.

* අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම යළිත් ආරම්භ වී තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති බවටයි විපක්ෂය දිගින් දිගට ම කියන්නේ?

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාම මේ වෙද්දි බොහෝදුරට පාලනය වෙලා තිබෙනවා. බලන්න පසුගිය මාස කිහිපය තුළ මහ බැංකු වාර්තා; එයින් තහවුරු වෙනවා උද්ධමනය පාලනය වෙලා තිබෙනවා කියලා. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ආණ්ඩුවට පාලනය කරන්න බැහැ කියලා විපක්ෂය කියන කතාවල පදනමක් නැහැ.

අද වෙද්දි සහල් මිල රුපියල් 70ටත් පහළ ගිහින් තිබෙනවා. පසුගිය කාලයේ දී තිබූ සහල් ඒකාධිකාරිය සම්පූර්ණයෙන් ම බිඳවැටිලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පාලනය කිරීමට පුළුවන් වුණා. ඒ නිසා ආණ්ඩුවට සැලැසුමක් නැහැ කියලා කවුරු හරි කියනවානම් ඒක පිළිගන්න බැහැ.

මෙතැනදි මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. ගෑස්, කිරිපිටි වගේ දේවල්වල මිල රජයට දේශීය වශයෙන් පාලනය කරන්න බැහැ. ඒ දේවල් ජාත්‍යන්තර වශයෙන් සිදුවන වෙනස්කම්. ඒ නිසා ගෑස්, කිරිපිටි වගේ දේවල්වල මිල ගණන් රජයට දේශීයව පාලනය කිරීමට කිසිදු හැකියාවක් නැහැ. විපක්ෂය මේ දේවල්වල යථාර්තය හොඳට ම දන්නවා ඒත් ජනතාව ගොනාට ඇන්දවීමට තමයි මේ වගේ දේවල් ප්‍රචාරය කරන්නේ.

1948 දී රටට නිදහස ලැබුණු දා තිබුණු බඩු මිල නෙමෙයි 1988 වෙද්දි තිබුණේ. එදා මිල නෙමෙයි 2008 දී තිබුණේ. ඒ මිල නෙමෙයි අද තිබෙන්නේ. ඒක තමයි රටේ ස්වභාවය. ලෝකයේ ස්වභාවය. මම විපක්ෂයට අභියෝග කරනවා පුළුවන්නම් ලෝකයේ බඩු මිල අඩු වූ රටක් පෙන්වන්න කියලා.

* ඉන්දියාව සමඟ ඇති කර ගැනීමට නියමිත සීපා ගිවිසුම නිසා දේශීය ව්‍යාපාරික ප්‍රජාවට අභියෝගයක් බවට ව්‍යාපාරික ප්‍රජාව මත පළකරනවා. මේ පිළිබඳ වගකිව යුතු ඇමැතිවරයකු ලෙස ඔබේ අදහස කුමක් ද?

මේ ප්‍රචාරය පිටුපස ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන එක ප්‍රසිද්ධ රහසක්. ඒ අය කවදත් තේ කෝප්පයේ කුණාටු ඇතැයි සිතූ; වතුර බේසම්වල කිඹුලන් ඇති බව සිතූ පිරිසක්. ඒ අයගේ දේශපාලන ඉතිහාසය අවුරුදු හතලිස් පහක් ඉක්මවා ගියාට තාම දේශපාලන වශයෙන් මුහුකුරා ගිහින් නැහැ.

ඔවුන්ගේ කියුම් කෙරුම් බලපුවහම මේ දේ හොඳින් තේරෙනවා. ඒ නිසා සීපා ගිවිසුම පිළිබඳවත් ජවිපෙ මුල් වෙමින් ගෙනයන මේ ප්‍රචාරයටත් කිසිදු පදනමක් නැහැ.

රටේ ජනතාව දන්නවා දේශීයත්වයට රටට ජනතාවට හානියක් වන කිසිදු ගිවිසුමක් ජනාධිපතිතුමා අස්සන් කරන්නේ නැහැ කියලා.

රජය හැම මොහොතකදීම රට ගැන ජනතාව ගැන කල්පනා කරලා තමයි කටයුතු කළේ. අනෙක ‘සීපා’ කියලා ගිවිසුමක් ජනාධිපතිතුමා අස්සන් කරලා නැහැ. ඒ නිසා අස්සන් නොකළ ගිවිසුමක් ගැන ලොකුවට කතා කරලා ප්‍රතිඵලයක් නැහැ.

* ඔබත් තවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුත් අතර සීතල ගැටුමක් ඇතිවී ඇතැයි මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනවා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක් ද?

ඔය කතාව කියන්නේ් ප්‍රචාරය කරන්නේ දේශපාලන වශයෙන් බංකොලොත් වූ විපක්ෂයට හිතවත් මාධ්‍ය මඟින්.

ඒත් ඔය කතාවල කිසිදු පදනමක් නැහැ. අපි ඉතාමත් මිත්‍රශීලිව කටයුතු කරනවා. අපි අතර ගැටුමක් අරගලයක් නැහැ. එහෙම දෙයක් ඇතිකර ගැනීමටත් හේතුවක් නැහැ.

මේ මොහොතේ දී කළ යුතු ප්‍රමුඛ කාර්ය විය යුත්තේ රට සංවර්ධනය කිරීමේ මෙහෙයුමට උරදීමයි. ඒ සඳහා අප සියලු දෙනා සුදානමින් ඉන්නේ.

* අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විධායක ජනාධිපති ධූරයේ වාර දෙකක ඉවත් කිරිම ඇතුලු යෝජනා ඇතුළත් වන බවට අදහස් පළවෙනවා. මේ ගැන ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික කොටස් අතරත් විවිධ ප්‍රතිමත තිබෙන බවක් තිබෙනවා. මේ ගැන ඔබේ මතය මොකක් ද?

අලුත් ව්‍යවස්ථාව මේකයි කියලා තාම නිශ්චිතව ඉදිරිපත් වෙලා නැහැ. මේ අලුත් ව්‍යවස්ථාව මෙහෙම වෙන්න ඕනෑ කියලා තාම කිසිවකු තීරණය කරලා නැහැ.

ඒ නිසා තාම මේ අලුත් ව්‍යවස්ථාව ගැන දළ අදහසක්වත් දක්වන්න බැහැ. ඒත් පසුගිය මැතිවරණවල දී ආණ්ඩු පක්ෂය වගේ ම විපක්ෂයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳ කතා කළා ඒ නිසා ඉදිරියේ දී මේ සියලු දෙනාටම එකතු වෙලා අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට පුළුවන්කම තිබෙනවා.

* එජාපය තුළ උද්ගත වී තිබෙන තත්ත්වය නිසා යළිත් එජාප මන්ත්‍රීවරු ආණ්ඩුවට එක්විමට උත්සාහ කරමින් සිටින බවට දේශපාලන කරළියේ ආරංචි පැතිරෙනවා. මේ කතාවේ ඇත්තක් තිබෙනවාද?

එජාපය තුළ තිබෙන අර්බුද කළමණාකරණය කර ගැනීමට නොහැකි අය තමයි අද ආණ්ඩුවේ අඩුපාඩුකම් දුර්වලකම් පිළිබඳ කතා කරන්නේ.

එජාපයට අද ආණ්ඩු බලයක් ගැන කතා කිරීම තබා විපක්ෂයේ කාර්යභාරය පවා නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා සිටින්නේ මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ නායකයාව විවේචනය කරනවා විතරක් නෙමෙයි අනාගත නායකත්වයට දිගින් දිගටම පොර කනවා.

මේ තත්ත්වය නිසා තමයි එජාපයට තමන්ගේ මන්ත්‍රීවරු ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ. අද වෙද්දි එජාපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ම ආණ්ඩුවට ඕනෑම වෙලාවක සම්බන්ධ කරගැනීමට පුළුවන් තත්ත්වයක් තිබෙන්නේ. ඒත් ආණ්ඩුවට ඔවුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා.

එජාපය මේ තරම් කණගාටුදායක ඉරණමකට මුහුණ දී තිබෙන්නේ ඒ අය පසුගිය කාලයේ දී අනුගමනය කළ වැරැදි ප්‍රතිපත්ති හා නායකත්වයේ වැරැදි නිසයි.

ඔවුන් මේ තරම් බිඳවැටීමකට ලක් වී සිටියත් තාම ඒ අය ඔවුන්ගේ වැරැදි ප්‍රතිපත්ති අත හැරලා නැහැ. මේ කාරණා සියල්ල සලකා බලද්දි එජාපයේ ඉදිරි ඉරණමත් එතරම් සුබදායි වන ආකාරයක් දක්නට නැහැ. එහි මන්ත්‍රීවරු පක්ෂය අතහැර ආණ්ඩුව දෙසට නැඹුරුවීමට මේ සියලු කාරණාත් බොහෝ සෙයින් බලපානු ලබනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා