අධ්‍යාපනය කන විප්ලවවාදියෝ !

අධ්‍යාපනය කන විප්ලවවාදියෝ !

කා ල් මාක්ස් නම් දාර්ශනිකයා හදිසියේ මිනී වළෙන් නැඟී සිටියහොත්; පළමුව සිදු කරනුයේ ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ මිටියකින් තළා බිමට චප්ප කිරීම ය. රුසියාවේ ඇති ලෙනින් සහෝදරයාගේ පිළිමයකට හෙවත් ස්මාරකයකට ජීවය ලබාදුනහොත් වහාම ශ්‍රී ලංකාවට පැමිණ ජනතා විමුක්ති පෙරමුණෙහි නූතන නායකයන්ගේ පස්සා පැත්තට පා - පහර බැගින් දෙනු ඇත. සභාපති මාඕ මෙන් ම සභාපති හෝචිමිං ද ඒ සන්තෑසිය ම සිදු කරනු ඇත. ජවිපෙ හා මාක්ස් - ලෙනින් වාදය අතර ඒ තරමට ම පරතරයක් තිබේ.

ඉහතින් අප දක්වන ලද්දේ සිවිල් සමාජය ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි දක්වන කෝපයයි. එහෙත් ලොව පුරා විසිරී සිටින කෝටි සංඛ්‍යාත මාක්ස්වාදීන් ජනතා විමුක්ති පෙරමුණක් ගැන දන්නේ නැත. ඊට අදාළ ලෝක සමුළුවලට ජවිපෙට ආරාධනා කරන්නේ ද නැත. මෙහි යථාව තේරුම් ගතහොත්; ජවිපෙ යනු ලෝක සමාජවාදී ව්‍යාපාරයෙන් හුදෙකලා වූ මහජන ප්‍රසාදය අහිමි බංකොලොත් දේශපාලන පක්ෂයෙකි. අද එය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ පාතාලයේ කල්ලියක ස්වරූපයෙන් ය.

පාතාල කල්ලි මට්ටු කරනු විනා ඔවුන් ගැන කතුවැකි ලිවීම නො කළ යුතු යැයි කෙනකු කියන්නට පුළුවන. එය සත්‍යයෙකි. එහෙත් මේ පාතාල කල්ලිය රටේ උසස් අධ්‍යාපනයට කරන වින්නැහිය ගැන යමක් සටහන් කළ යුතුය. ඒ අනුසාරයෙන් බලන කල ජවිපෙ ගැන කතා කරන්නට අපට සිදුව තිබේ. ශශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන සියලු විනාශයන්ට ජනතා විමුක්ති පෙරමුණ වගකිවයුතුය. ඒ බව ඉතා පැහැදිලිව හා සෘජුව පෙන්වා දෙන්නට අපි කැමැත්තෙමු. 1970 ගණන්වල සිට මේ දක්වා මෙරට විශ්වවිද්‍යාලයයන්හි වූ සිද්ධීන් නිරීක්ෂණය කරන්නැ’යි අපි දෙගුරුන්ගෙන් ඉල්ලා සිටිමු.

මේ රටේ උසස් අධ්‍යාපනයට යොමු වූ සිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා සිටී. ඔවුන්ගෙන් අති බහුතරය ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය හෝ වැඩ පිළිවෙළ හෝ අනුමත කරන්නේ නැත. එහෙත් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන කලාපීඨවල සිසුන්ගෙන් සු‍්‍රළු පිරිසක් ජවිපෙට එක්වී කාලකන්නි ජීවිත ගත කරති. ඔවුන් නිසි අධ්‍යාපනය ලබන්නේ නැත. උපාධිය ලබා ගන්නේ ද නැත. රටට වැඩදායක යමක් කරන්නේ ද නැත. ඒ පමණකින් නොනැවතී නිසි අධ්‍යාපනය ලබන සිසුන්ගේ ජීවිතවලට තර්ජනයක් ලෙස හැසිරෙනු ද දක්නට ලැබේ.

සරසවිවල කලා පීඨයන්හි සුළු පිරිසක් ජවිපෙ බළල් අත් බවට පත්වන්නේ මන්ද? මෙය නිරීක්ෂණය කළ යුතු වැදගත් ගැටලුවෙකි. අපගේ වැටහීමට අනුව ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න කලා සිසුන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඇති අපැහැදිලි චිත්‍රය යි. හෙවත් ඔවුනට ඇති ආර්ථික වටිනාකම පිළිබඳ ප්‍රශ්නය යි. දෙවැන්න ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරනු ලබන අවාසනාවන්ත බලපෑම යි. මේ හේතු දෙකට ම විසැඳුම් සපයා ගත යුතුය. රටට අවශ්‍ය වටිනාකම් සහිත පාඨමාලා හඳුන්වාදීමට ආණ්ඩුව පියවර ගත යුතුය. ජවිපෙ දේශපාලනය විශ්වවිද්‍යාල වෙතින් පිටමං කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගත යුතුය.

1970 ගණන්වලට පෙර විශ්වවිද්‍යාල තුළ වමේ දේශපාලනය ක්‍රියාත්මක වූයේ ශික්ෂණයකින් යුතුවය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එහිලා කැපී පෙනෙන සේවයක් ඉටු කළේය. එදා වමේ සිසුනට පක්ෂය ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් කාන්දුවිය. දක්ෂ ම සිසුනට වාමාංශික රටවල (සමාජවාදී) නොමිලේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද උදාවී තිබිණි. තවත් පිරිසකට සමාජවාදී රටවල පර්යේෂණ අවස්ථා උදාවී තිබිණි. එදා දේශපාලනය නිසා අධ්‍යාපනය කඩාකප්පල් වූයේ නැත. අනවශ්‍ය ගැටුම් ඇතිවූයේ ද නැත. සිසුන් එකිනෙකාට වෛර කරන හා මරාගන්නා තැනට දේශපාලනය රැගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ ය. අද සිසුහු ඒ ගැන ජවිපෙට ශාප කරති.

මෙහිදී තවත් එක් කාරණයක් තේරුම් ගත යුතුව තිබේ. එනම්; ලෝකයේ විශිෂ්ට අධ්‍යාපන සම්ප්‍රදායයන් සහිත රාජ්‍යයන් සමඟ සසඳන කල අපගේ උසස් අධ්‍යාපනය ලෝකයට ගැළපෙන තැනෙක නැති බව ය. උසස් අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහා සිදු කළ යුතු ය. ඊට එරෙහිව සිසුන් පොළඹවන එක් සාධකයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. මේ ව්‍යාපාරයේ නූතන නායකයන්ට අධ්‍යාපනය ගැන වැටහීමක් නැත. මේ පිරිසගෙන් නූතන ශිෂ්‍යයා බේරාගත යුතුව තිබේ.

ලෝකයේ ප්‍රගතිශීලී කඳවුරු අධ්‍යාපනය සම්බන්ධයෙන් බෙහෙවින් උනන්දුවෙති. අධ්‍යාපනය යනු රටක අනාගතය බවත් හොඳම ආයෝජනය බවත් ඔව්හු පිළිගනිති. දකුණු අපි‍්‍රකාවේ සමාජවාදී පක්ෂයේ හිටපු ලේකම්වරයකු වූ ජෝ ස්ලෝවෝ වරක් කියා සිටියේ ධනපති පන්තියේ දේශපාලන ආධිපත්‍යයෙන් අපට ලබාගත හැකි කදිම සම්පත් දෙක විද්‍යාව හා දර්ශනය බවය. ඔවුන් කිසිවිටෙක අධ්‍යාපනයට බාධා කළේ නැත. ජවිපෙ නිර්මාතෘ ;රීහණ විජේවීර මහතා ද එම අදහස පිළිගෙන තිබිණි. එහෙත් ජවිපෙ නූතන නායකයන් අධ්‍යාපනය දන්නේ නැත. දේශපාලනය දන්නේ ද නැත. මොවුන් රටට හා ජාතියට කරන හානිය වහා නැවැත්විය යුතුය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා