මහල් නිවාස කලකින් අලුත්වැඩියා කර නෑ

අලුත්කඩේ සාංචිආරච්චිගේ වත්තේ

මහල් නිවාස කලකින් අලුත්වැඩියා කර නෑ

කොළඹ අලුත්කඩේ සාංචිආරච්චිගේ වත්තේ නිවාස 244කින් සමන්විත මහල් නිවාස වසර ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවක් කැරදීමට අදාළ බලධාරීන් කටයුතු කර නැතැයි එම නිවැසියෝ පවසති.

උඩුමහලේ සමහර නිවාසවල වැසිකිළි පද්ධතිවල අපවිත්‍ර දෑ ගලායන නළ මාර්ග පවා දෙකඩ වන අන්දමට කැඩී ගොස් තිබෙන අතර එම වැසිකිළි ප්‍රයෝජනයට ගන්නා හැම අවස්ථාවක් පාසාම පහළ නිවාසවල පදිංචිව සිටින තමන්ගේ නිවාස බිම්වලට එම අපද්‍රව්‍ය මෙන්ම ඉන් ගලා එන ජලයෙන්ද හානි පැමිණෙන බවද එම නිවැසියෝ පවසති.

මේ නිවාසවල කැළිකසළ බහාලන ස්ථාන 21ක් ඇති අතර සිව්මහල් ගොඩනැගිල්ලක් වන එහි එම කසළ ඉවත් කිරීම සඳහා යොදවා සිටින්නේ එකම සේවකයකු බවද නිවැසියෝ කියති.

මේ පිළිබඳ එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු වන (හිටපු) නාගරික මන්ත්‍රී අජන්ත ලියනගේ මහතා මෙසේ පැවැසීය.

මේ නිවාසවල පවතින අඩුපාඩුකම් සම්බන්ධව නිවාස සංවර්ධන අධිකාරියට දන්වා තිබෙනවා. ඒගොල්ලන් කියන්නේ මේ නඩත්තු සඳහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ වියදමක් දරන්න වෙනවා. එම ප්‍රතිපාදන තමන්ට නොමැති නිසා ඉල්ලීම් ඉටුකර දිය නොහැකි බවයි.

ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපියකටත් ප්‍රතිචාර වශයෙන් නිවාස අධිකාරිය අපට ලබාදී තිබෙන පිළිතුරද එයමයි. සමහර අවස්ථාවලදී මම මේ කසළ ගොඩවල් ඉවත් කරන්නේ මගේ අතින් මුදල් දීලයි.

ඒ. ඩී. මොහොමඩ් මහබුබ් (හාජියාර්) මහතා - මම මේ නිවාසවල පදිංචි වෙලා දැන් අවුරුදු 27ක් වෙනවා. මුල් කාලයේදී නම් මේ ගෙවල් හොඳින් නඩත්තු කළා. දැන් කැළිකසළ පිරිලා. මැසි මදුරුවන් බෝවෙලා, අපේ ගේ ළඟ ගෙදරක ළමයින් තුන් දෙනෙකුට ඩෙංගු උණත් හැදිලා මම ඉන්නේ ඊ. බ්ලොක් එකේ පහත මාලයේ නිවසකයි.

උඩුමහලේ නිවාසවල කැඩුණු මළ නාළිකා බටයකින් වැක්කෙරෙන විෂබීජ සහිත සියලුම අපද්‍රව්‍ය මගේ නිවෙසට වැටෙනවා, ඒ ගෙවල්වල අය වැසිකිළි යන මොහොතක් පාසා අපට අපේ ගෙයි පිටුපස කොටස සෝදන්න වෙනවා. වගකිවයුතු අය මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න ක්‍රියා කරනවා නම් හොඳයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා