කෝටි 7500ක රත්රන් සංචිතයක් අපට දැන් තියෙනවා

කෝටි 7500ක රත්රන් සංචිතයක් අපට දැන් තියෙනවා

ධර්මා ධීරසිංහ - ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති

* ශ්‍රී ලංකාව ණය බරින් පීඩා විඳින රටක් ලෙස ඇතැම් දෙනා චෝදනා නඟනවා. රටේ යටිතල පහසුකම් දියුණු කරන්න විදේශාධාර යොදා ගන්නවා කියා තව පිරිසක් පවසනවා. ඇත්තටම විදේශාධාර ලබාගෙන අපේ රට ණය බරින් පීඩාවට පත් වෙලා ද ?

මම, නම් බය නැතිව කියන්නේ අපි රටක් ලෙස ණය බරින් පීඩාවට පත් වී නෑ. අපේ රට ලබාගත් සෑම ණයක් ම විදේශාධාර මුදලක් ම සතයකුදු ගෙවීම පැහැර හැර නැති ඉතාම හොඳ රටක්. සමහරු ජනප්‍රිය වෙන්නට රටේ ණය බර වැඩි වෙලා, වැඩි වෙලා ! යැයි කෑ ගහනවා.

නමුත් රටක ණය බර පිළිබඳ කථා කළ යුත්තේ, ණය ප්‍රමාණයේ ඉලක්කම් ගණන ගැනම පමණක් සිතා නොවෙයි. ඒ රටේ ආර්ථිකයේ ශක්තිමත්භාවය, ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය යන කරුණ ගැනත් අවධානය යොමු කරලා යි රටක ණය බර ගැන කථා කිරීම යෝග්‍ය වන්නේ. රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය ප්‍රමාණය කොපමණද ? කියා බැලීම තමයි වඩාත්ම යෝග්‍ය, අර්ථාන්විත.

බොහෝ විට අපේ රටේ ඇතැම් දෙනා මේ දේ තමයි නොකරන්නේ. මේ ණය පිළිබඳ කථා කරන විට මට තවත් පැහැදිලි කිරීමක් කරන්න තිබෙනවා.

* රටේ විදේශ ණය පිළිබඳ කථා බහ කරන විට ඔබට කරන්නට තිබෙන පැහැදිලි කිරීම කුමක් ද ?

මේ වන විට ලෝකයේ කිසිම රටක් නෑ ණය නොවුණු. ලෝකයේ වඩාත් ම ණය බරින් පීඩා විඳින්නේ කොයි රටද ? ඒ රටවල් ගැන කිවූ විට ඇතැම් දෙනා පුදුමවෙයි. ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකය හිමි රට තමයි අද දවසේ ණය බරින් වැඩියෙන්ම පීඩා විඳින්නේ. එක අමෙරිකාව, දෙක ජපානය. ඔවුන් ණය බරින් පීඬා විඳිනමුත්, ආර්ථිකය ශක්තිමත් නිසා කවුරුත් මේවා ගැන කථා කරන්නේ නෑ. අපි ණය, ආධාර මුදල් යොදාගෙන රටේ ආර්ථිකයේ තිරසාර දියුණුවට කරනුලබන වැඩසටහන්වල යහපත් ප්‍රතිඵල, රටට ලැබුණු ජනතාවට අත්වුණු ප්‍රතිලාභ ගැන කවුරුත් වැඩි වශයෙන් කථා කරන්නේ නෑ.

* කවුරුත් වැඩි වශයෙන් කථා නොකරන, නමුත් රටට, ජනතාවට අත් වූ ප්‍රතිලාභ පිළිබඳ ඔබට යම් කරුණු දැක්වීමක් කළ හැකියි ?

ඔබ අප කවුරුත් දන්නවා, අපේ රටට නිදහස ලැබිලා දැන් අවුරුදු 60ක් ඉක්ම වුණා. මේ අවුරුදු 60ක ඉතිහාසය ගෙන බලන්න. එදා 1950 කාලේ ආසියාවේ රටවල් 35 ක් ම ඒක පුද්ගල ආදායම ඉතා ඉහළ මට්ටමක තිබූ රටක් තමයි ශ්‍රී ලංකාව. අපිට වඩා බොහෝම අඩු ඒක පුද්ගල ආදායමක් තිබූ රටවල් අද දවසේ පෙරට ඇවිත්. එදා පිලිපීනය, තායිලන්තය, මැලේසියාව, කොරියාව, වාගේ රටවල ඒක පුද්ගල ආදායම අපිට වඩා අඩුයි. අද ඒ රටවල් දියුණුව කරා අපි පසුකර ගිහින් ඉවරයි. ඒ අයට එසේ ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන් වුණේ වඩාත් සාර්ථක ප්‍රතිපත්ති මාලා ඔස්සේ රට මෙහෙය වීමෙනුයි.

* අපිට රට දියුණු කිරීම ඉලක්ක කළ සාර්ථක ආර්ථික, සාමාජයීය ප්‍රතිපත්ති මාලාවක් නොතිබීම පිළිබඳ ප්‍රශ්න මතු කළ නමුත් වර්තමානයේ ඒ තත්ත්වයෙන් රට මිදී තිබෙනවා ද ?

අපි මේ වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 2000 සීමාව ඉක්ම වූ රටක් බවට පත් වී තිබෙනවා. අපිට ඒ තත්ත්වයට එන්න පුළුවන් වුණේ මීට අවුරුදු හතරකට උඩදියි. එතෙක් අපේ ආදායම ඩොලර් 1000 ට අඩුවෙන් තිබුණේ. අපි මීට දශක හයකට පෙර තිබූ තත්ත්වය රැකගෙන ඉදිරියට ගියා නම්, අපි තමයි ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය තිබෙන රට වෙන්නේ. නමුත් අපි දැන් තමයි නැවැත නැඟී සිටීමට පටන් ගෙන තිබෙන්නේ.

* රට නැවැත නඟා සිටුවීම ආරම්භ වී තිබෙන බව ඔබ කියනවා. ඒ කුමන කරුණු සැලැකිල්ලට ගෙන ද ඔබ ප්‍රකාශ කරන්නේ ?

අපේ රටේ ඒක පුද්ගල ආදායම ගිය අවුරුද්දේ ඩොලර් 2060යි. මේ අවුරුද්දේ මේ වන විට එය තවත් වැඩි වෙලා තිබෙනවා. එය තව අවුරුදු පහකින් ඩොලර් 4000ක් වේවි.

ඒවාගේ ම අපි සාර්ව ආර්ථික කරුණු රැසක් ජයගෙන තිබෙනවා. රටේ මීට අවුරුදු ගණනාවකට ඉස්සර උද්ධමනය සියයට 25, 30 මට්ටමේ තිබ්බේ. පොලී අනුපාත තිබ්බේ සියයට 28, 35 මට්ටමේ. අය වැය පරතරය විශාලයි. ආර්ථික වර්ධන වේගය පහළ මට්ටමකයි පැවතුණේ.

අද වන විට උද්ධමනය සියයට 5ට අඩුවෙලා. පොළී අනුපාත අඩුවෙලා ආර්ථික වර්ධන වේගය සියයට 7 මට්ටමට ඇවිත්. මේ සමඟ අපේ ඉතිහාසයේ පළමු වතාවට විදේශ විනිමය සංචිතය විශාල ලෙස වැඩි වෙලා.

අපි මහ බැංකුව ජාත්‍යන්තරව සංචිත ආයෝජනය කිරීමෙන් මේ අවුරුද්දේ මුල් මාස හයට ඩොලර් මිලියන 103 කට වඩා ආදායමක් ලබාගෙන තිබෙනවා.

ගිය අවුරුද්දටම ලැබුවේ ඩොලර් මිලියන සියයයි. දැන් ඒ ප්‍රමාණය මුල් මාස හයේ දී ලැබිලා. මේ අවුරුද්දේ දී ඩොලර් මිලියන 200කට වඩා ආදායමක් අපි බලාපොරොත්තු වෙනවා.

මහ බැංකුව විවිධ ආයෝජනවලින් ලබන ආදායම් නැවැත මහා භාණ්ඩාගාරයට ලබා දෙනවා. අපි ගිය අවුරුද්දේ බිලියන 25ක් (කෝටි 2500ක්) ලබා දුන්නා. ආයේම බිලියන 5ක් දුන්නා.

මේ සෑම එකකින්ම කියැවෙන්නේ අපේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි වෙලා. ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවයි.

අපි මහ බැංකුව ඉකුත් මාස 10 ඇතුළත රත්‍රං ටොන් 21ක් මිලදී ගත්තා. දැන් අපේ රත්‍රං සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 700කි. මේ රත්‍රං අපි විකුණන්නේ මිල වැඩි වුණහමයි. රටට, අවාසිදායක පාඩුවක් සිදුවන ලෙස අපි මේ රත්‍රං තොග විකුණන්නේ නෑ.

* ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළින් අරමුදල් වැඩිකර ගැනීමට ක්‍රියා කොට තිබෙනවා. ඒ අවස්ථාවලදී අපිට ගැටලු මතු වුණේ නැද්ද ?

ඒ අවස්ථාවල ප්‍රශ්න මතු නොවුණාමත් නොවෙයි. අපි ඒවා ජය ගත්තා. අපි මුලින්ම 2007 ඩොලර් මිලියන 500ක් ලබා ගත්තා. 2009 දී ඩොලර් මිලියන 500ක් ගත්තා. අපි නැවැත මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ඩොලර් බිලියනයක ණය ලබා ගන්නවා. මේවා අපි ඉතාම ඵලදායි, රටට වාසිදායක ලෙස රටේ යටිතල පහසුකම් ජාලය වැඩිදියුණු කිරීමට යොදා ගන්නවා.

ගත වූ අවුරුදු පහේ පටන් අද වන විට රටේ අධිවේගී මාර්ග, ජාත්‍යන්තර වරායන්, විදුලිබලාගාර, විශාල වාරි යෝජනා ක්‍රම ක්‍රියාත්මකයි. ඉන් ඉතා වේගවත් ආර්ථික දියුණුවක් රටේ ඇති වෙමින් තිබෙන බව පැහැදිලියි.

* විදේශාධාර ලබාගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලින් මුදල් ගසා කෑමක්, නාස්ති වීමක් පමණක් සිදුවෙන බවට විපක්ෂය චෝදනා කරනවා.

ඇත්තටම විපක්ෂය ඔවැනි චෝදනා සිදු කරනවා වෙන්න පුළුවන්. ඒවා කරුණු හරි හැටි නොදැන කරන දේ ලෙසයි අපට නම් පෙනෙන්නේ. බලන්න ඉකුත් පාර්ලිමේන්තු වාරයේ රටේ ඇමැති මණ්ඩලය විශාලයි. ඔවුන්ගේ නඩත්තු වියදම් සීමා කළොත් රටේ විශාල සංවර්ධනයක් සිදු කළ හැකියි. සමහරු කිව්වා අපි එදා ඒ ගැන විශ්ලේෂණයක් කළා.

එහි දී අපිට දැක ගත හැකි වුණේ, රුපියල් බිලියන 2.5ක් වැනි මුදලක් මේ සඳහා අමතරව වැය කරන්න සිදු වන බවයි. අපේ රටේ මුළු වැය රුපියල් බිලියන 1400ක් විතර. ඉතින් ඒවාගේ මුදලක් වැය වෙද්දී ධලියන 2.5 විශාල මුදලක් නොවෙයි. මේ වාගේ දේවල් ගැන කථා කරන්නේ ජනතාව බිය වැද්දවීමටයි. කේන්ති ගැස්සවීමටයි. විශාල ඝෝෂාවක් මැවීම විවේචකයින්ගේ අරමුණයි.

ඒවාගේමයි විදේශාධාර ගසා කනවා කියන චෝදනාවත්. ශ්‍රී ලංකා මහ බැංකුව දැන් අවුරුදු 60 සිට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය භාරව ක්‍රියා කරනවා. අපේ කටයුතු ගැන තවම එකම එක විගණන පරීක්ෂණයක්වත් සිදු වී නෑ. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කටයුතු වඩාත් යහපත් ලෙස සිදුවනවා කියන එකමයි නේද ?

* ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපළින් අරමුදල් රැස් කර ගැනීමට යෑමේ දී රට පිළිබඳ වඩාත් පිළිගැනෙන ස්වෛරීත්ව ණය ඇගැයීම් සහතිකයක් ලබා ගැනීම වැදගත් නේ ද ?

අනිවාර්යෙන්ම ඔව්. අපි ඒ සඳහා දැන් ක්‍රියා කරමින් ඉන්නේ. අපි ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්නවා. එය රටට ඉතාම ඉහළ පිළිගැනීමක් ලැබෙන එකක් ලෙස හිමිකර ගැනීමයි අපේ අරමුණ.

* වඩාත් ඉහළ පිළිගැනීමක් තිබෙන ශ්‍රේණිගත කිරීමක් ලබාගත හැක්කේ රටේ ආර්ථිකයේ ශක්තිමත් භාවය මතයි. අපිට ඒ තත්ත්වය තිබෙනවා ද ?

ඔව්, අපි දැනට ඉතාම හොඳ තත්ත්වයකයි සිටින්නේ. මීට අවුරුදු පහකට පෙර රටේ මුළු ණය බර, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 105ක් වුණා. එය මේ වන විට සියයට 84ට අඩුකර ගැනීමට අපි සමත් වී තිබෙනවා. අපේ ආර්ථිකය පුරා වසර 4ක් එක දිගට සියයට 6ක වේගයකින් වර්ධනය වුණා. උද්ධමනය, පොළී අනුපාතය, අයවැය පරතරය අඩුවුණා. මේ ජයග්‍රහණ හේතු කොට අපිට හොඳ ශ්‍රේණීගත කිරීමක් ලබාගත හැකියි.

අපි, වඩාත් අඩු පොළී අනුපාත යටතේ සරල කොන්දේසි යටතේ විදේශ අරමුදල් ලබා ගන්නවා. ඊට බලපාන හොඳ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමටත් ක්‍රියා කරනවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා