ඉන්දීය පිල අසරණ කරමින් තරංග-සංගක්කාර ශතක ලබති

ඉන්දීය පිල අසරණ කරමින් තරංග-සංගක්කාර ශතක ලබති

ශ්‍රී ලංකාව කඩුලු 2 කට ලකුණු 312 යි

සංචාරක ඉන්දීය පිල හා ශ්‍රී ලංකාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේ ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී‍්‍ර ලංකා පිල කඩුලු 2 කට ලකුණු 312 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

දිනය නිමාවෙද්දී නායක කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 130 ක් හා උපනායක මහේල ජයවර්ධන නොදැවී ලකුණු 13 ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවන් වූ තරංග පරණවිතාන හා සංගක්කාර ශතක වාර්තා කරමින් ශශ්‍රී‍්‍ර ලංකා පිල ස්ථාවර මට්ටමකට ගෙන ඇත.

ඉන්දීය පිලේ දුර්වල පන්දු යැවීම හමුවේ තම දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ තරංග පරණවිතාන පන්දු 221 කදී හතරේ පහර 10 ක් හා හයේ පහරක් සමග ලකුණු 100 ක් ලබා සිටියදී දැවී ගියේය. ඉෂාන් ෂර්මා එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී පරණවිතාන දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ 273 සටහන් වෙද්දීය. නායක සංගක්කාර සමග දෙවැනි කඩුල්ලට ලකුණු 174 ක සම්බන්ධතාවක් තරංග ගොඩනැංවිය.

සංගක්කාර 23 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර විරේන්ද්‍ර ෂෙවාග්ගේ පන්දුවකට “මිඩ් ඕන්” හරහා හතරේ පහරකින් ලකුණු 100 සම්පූර්ණ කළේය. එම ලකුණු 100 සම්පූර්ණ කිරීමට සංගක්කාර පන්දු 168 කට මුහුණදුන් අතර හතරේ පහර 11 ක් එල්ල කරමින් මිනිත්තු 183 ක් කඩුල්ලේ රැඳී සිටියේය.

සංගක්කාර ඊයේ දිනය නිමාවෙද්දී නොදැවී ලබාගත් ලකුණු 130 පන්දු 225 කදී හතරේ පහර 15 ක් එල්ල කළේය. මහේල නොදැවී ලබාගත් ලකුණු 13 සඳහා පන්දු 56 කට මුහුණ දුන්නේය. ඉන්දීය පිලේ ෂර්ම් හා ඕජා කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරුවන් ලෙස ටී. එම්. දිල්ශාන් හා තරංග පරණවිතාන පිටියට පිවිසියහ. මේ දෙදෙනා ඉන්දීය ආරම්භක පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කළහ. ශ්‍රී ලංකා ඉනිමේ මුල් ලකුණු 50 පන්දු 58 කදී වාර්තා කිරීමට තරම් ඩිල්ෂාන්ගේ හා තරංගගේ ප්‍රහාර වේගවත් විය.

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු යැවීමට හර්බජන් සිං 17 වැනි ඕවරයේ දී කැඳ වූ අතර ඔහුගේ ප්‍රථම පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් ඩිල්ෂාන් තම ටෙස්ට් දිවියෙහි 15 වැනි අර්ධ ශතකය වාර්තා කෙළේ ය. එය පන්දු 39 කදී වාර්තා වූ අතර හතරේ පහර 10ක් එල්ල කෙළේ ය. තරගයේ ඔවර් 18.1ක් ගත වෙද්දී ඩිල්ෂාන් ප්‍රග්යාන් ඕජාගේ පන්දුවකට ‘ෂෝට් එක්ස්රා කවර්’ හි පන්දු රකිමින් සිටි වී. වී. එස්. ලක්ෂ්මන් වෙත උඩපන්දුවක් ලබා දී දැවී ගියේ ය. එවිට ඩිල්ෂාන් ලකුණු 54ක් ලබා සිටි අතර පන්දු 42 කට මුහුණ දී තිබුණි.

දිවා විවේකය වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 1කට ලකුණු 128ක් ලබා තිබුණි. ඩිල්ෂාන්ගේ දැවීයාමෙන් පිටියට පිවිසි සංගක්කාර නොදැවී ලකුණු 18ක් හා පරණවිතාන නොදැවී ලකුණු 45ක් දිවා විවේකයේ දී ලබා සිටියහ. අනතුරුව සංගක්කාර හා පරණවිතාන එස්. එස්. සී පිටියට නව ජීවයක් එක් කරමින් පන්දුවට පහර දුන්හ.

ටෙස්ට් වරම් 2 ක්

ශ්‍රී ලංකාවේ 113 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වෙමින් සුරාජ් රන්දිව් ටෙස්ට් වරම් දිනා ගත්තේ මේ තරගයේ දීය. එමෙන්ම ඉන්දියාවේ සුරේෂ් රෙයිනා ඉන්දියාවේ 265 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනා ගත්තේ ය. 2005 වසරේ දී ඉන්දියාව වෙනුවෙන් එක් දින අන්තර්ජාතික පිටියට පිවිසි රෙයිනා එක්දින තරග 98කට ක්‍රීඩා කිරීමෙන් පසුව ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයකි. වැඩිම එක්දින තරග ප්‍රමාණයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ටෙස්ට් වරම් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා රෙයිනා විය.

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තම 168 වැනි ටෙස්ට් තරගයට ඊයේ එක්වෙමින් ලොව වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට සහභාගි වූ ක්‍රීඩකයා ලෙස වාර්තාව සම කෙළේ ය. මෙයට පෙර ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ ටෙස්ට් තරග 168කට ක්‍රීඩා කරමින් ලෝක වාර්තාව පිහිටුවා තිබුණි.

අද තරගයේ දෙවැනි දිනයයි

ලකුණු 550 ඉක්මවා ලබා ගැනීමෙන් ඉන්දීය පිලට පීඩනයක් එල්ල කළ හැකියි

- ටී. එම්. ඩිල්ෂාන්

ශ්‍රී ලංකා පිල අද දිනයේ ලකුණු 550 ක් ඉක්මවා රැස්කොට සවස් කාලයේ දී පන්දුවට පහර දීමේ වාරය ඉන්දීය පිලට ලබා දීමට හැකිවුවහොත් ඔවුනට දැඩි පීඩනයක් එල්ල කළ හැකි යැයි ටී. එම් ඩිල්ෂාන් ප්‍රකාශ කළේය.

ඊයේ තරගය නිමාවීමෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඩිල්ෂාන් ප්‍රකාශ කෙළේ තමා ලකුණු 54 කට දැවී යාම පිළිබඳව කනගාටුවට පත්වන බවය.

“මට තව ටිකක් පරිස්සම් වෙන්න තිබුණා. ඇත්තටම මට කණගාටුයි” ඩිල්ෂාන් පැවැසීය.

ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ බලඇණිය ඉතා ශක්තිමත් එකක් නිසා ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ හැකි වෙතැයි හෙතෙම විශ්වාසය පළ කෙළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා