ශබ්ද පූජා නැති ප්‍රගති සමාලෝචනය

ශබ්ද පූජා නැති ප්‍රගති සමාලෝචනය

රණසිංහ පේ‍්‍රමදාස මහතා අගමැති ලෙස කටයුතු කළ කාලයේ උදාගම් ව්‍යාපාරය මහත් හරසරින් සිදු කැරිණි. සෑම සති අන්තයක ම උදා ගමක් විවෘත කිරීම නියමය විය. හෙට ජනතා අයිතියට පත් කරන ගමට අද කඩා වැදීම පේ‍්‍රමදාස මහතාගේ සිරිත වී තිබිණි. අගමැතිවරයා කුරුණෑගල පළාතේ ගමකට ගියේ ය. එහි නිවසක ප්‍රධාන උළුවස්ස ගැල වී තිබිණි. අදාළ නිලධාරියා වහා ම කැඳවාගත් පේ‍්‍රමදාස මහතා මං තමුසෙගෙ කළිසම ඔළුවෙන් ගලවනවා යැයි තර්ජනය කෙළේ ය. නිවස හා උළුවස්ස ඒ මොහොතේ ම අලුත්වැඩියා කැරිණි.

පේ‍්‍රමදාස මහතාගේ ක්‍රමය නිවැරැදි යැයි අප කියනුයේ නැත. එහෙත් ඔහු කළ නිරීක්ෂණයන් නිසා රාජ්‍ය නිලධාරීහු හොර - බොරු නැති ව අවංකව රාජකාරි කරන්නට පටන් ගත්හ. රාජ්‍ය අංශය අකාර්යක්ෂම ය. නිලධාරීන් කම්මැළි ය. යනු ශ්‍රී ලංකාවේ මුල් බැසගත් අදහසෙකි. මේ අදහස හේතු - සාධක සහිත ව ගොඩනැඟී තිබේ. ඇතැම් රාජ්‍ය නිලධාරීහු දේශපාලකයන්ගේ කනින් රිංගීමට දක්ෂයෝ වෙති. දේශපාලකයා රාජ්‍ය නිලධාරියාට මුළා වුවහොත් බොහොමයක් සංවර්ධන වැඩ ලත් තැන ම ලොප් වේ.

අපගේ නූතන රාජ්‍ය නායකයා හෙවත් මහින්ද රාජපක්ෂ මහතා බොහෝ අත්දැකීම් සහිත තෙම්පරාදු වූ දේශපාලකයෙකි. රාජ්‍ය නිලධාරීන්ට එතුමාගේ කනෙන් රිංගීම අපහසු ය. එතුමා මහජනයා සමඟ පා - ගමන් යන කාලයේ සාරවිට කාරයකුගෙන් ද තම ගමනට උදවු ලබාගෙන තිබේ. මහින්ද රාජපක්ෂ යනු සියලු දේට ඔරොත්තු දෙන අපූරු චරිතයෙකි. එතුමා වැඩියෙන් ම විශ්වාසය තබනුයේ අහිංසක – දුප්පත් ජනතාව කෙරෙහි ය. ඇත්ත – යුක්ත - සාධාරණය මහින්ද රාජපක්ෂ මහතා හොඳින් තේරුම් ගනී. එතුමා බොහෝ ජයග්‍රහණ ලබා ඇත්තේ ද ඉහත කී ගුණය නිසා ය.

ජනාධිපතිවරයාගේ මෙහෙයැවීම මත ප්‍රගති සමාලෝචන රැස්වීම් නම් අලුත් වැඩක් පටන්ගෙන තිබේ. මෙය ආරම්භ වූයේ කිළිනොච්චියේ දී ය. පළාතෙන් – පළාතට, දිස්ත්‍රික්කයෙන් – දිස්ත්‍රික්කයට යන මැති – ඇමැතිවරු හා වගකිව යුතු නිලධාරීහු අදාළ ප්‍රදේශයේ ගැටලු විසඳති. සංවර්ධනය සමාලෝචනය කරති. මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා ද එම රැස්වීම්වලට සහභාගි වී කරුණු විභාග කිරීම ය. ප්‍රමාදයකින් තොරව ගැටලු නිරාකරණය කිරීමේ හොඳ ම ක්‍රමය මේ යැයි අපට සිතේ.

ප්‍රගති සමාලෝචන රැස්වීම්වල විශේෂතා කිහිපයක් තිබේ. පළමු වැන්න කිසියම් පළාතක ඒකාබද්ධ සංවර්ධනට ඒ මඟින් අවස්ථාව උදාවීම ය. දෙවන්න ප්‍රමාදයකින් තොරව ගැටලු නිරාකරණය කොට කඩිනම් සංවර්ධනයකට මඟ හෙළිවීම ය. තෙවැන්න මහජන අදහස් විමසා බැලීමටත්, විවේචනාත්මක ව කරුණු විග්‍රහ කිරීමටත් ඉඩකඩ පැවැතීම ය. හතර වැන්න ජනාධිපතිවරයාගේ පැමිණීම නිසා අදාළ ප්‍රදේශය කෙරෙහි නිලධාරීන්ගේ විශේෂ සැලකිල්ල යොමු වීම ය. මේ සෑම කරුණක් ම සංවර්ධනයට අදාළ ය. ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසු අදාළ ප්‍රදේශවල සංවර්ධනයට අලුත් ගැම්මක් ලැබී ඇති ආකාරය අපි දැක ඇත්තෙමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රගති සමාලෝචන රැස්වීම්වල දී අවධාරණය කරන කරුණු කිහිපයක් තිබේ. එක් කාරණයක් වන්නේ කළ නො හැකි වැඩ හා සැලැසුමක් නැති වැඩ ආරම්භ නො කර සිටීම ය. දේශපාලකයන්ගේ නම් සහිත ඵලක හා මුල්ගල් බොහෝ ප්‍රදේශවල ඇති බවත් ඒවා කැළෑවෙන් වැසී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. අනෙක් කාරණය සංවර්ධනයේ මුවාවෙන් අන්‍යවශ්‍ය වියදම් දැරීම ය. දේශපාලකයන් පිළිගැනීම සඳහා විශාල තොරණ ඉදිකිරීම, වියදම් අධික උත්සව සංවිධාන කිරීම ප්‍රතිඵල රහිත නාස්තිකාර වැඩ ලෙස ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් වේ.

රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ක්‍රමයත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රමයත් අතර වෙනසක් පවතී. පේ‍්‍රමදාස මහතාට වැඩවලට වඩා උත්සවශ්‍රීය අවශ්‍ය විය. මහින්ද මහතාට උත්සවශ්‍රීයට වඩා වැඩවල ප්‍රගතිය අවශ්‍ය වේ. පේ‍්‍රමදාස මහතා උදාගම් ව්‍යාපාරය ඔස්සේ විශාල මහජන මුදලක් නාස්ති කළ බවට චෝදනා තිබේ. එලෙස ම තම දේශපාලන ප්‍රතිරූපය ගොඩනැඟීම සඳහා උපායමාර්ග යෙදූ බවට ද චෝදනා තිබේ. රාජපක්ෂ මහතා ඒ ක්‍රමය මුළුමනින් ම බැහැර කොට සංවර්ධනයේ ප්‍රතිලාභ මහජනයා වෙත ගලා යෑම පමණක් අපේක්ෂා කරයි. ප්‍රගති සමාලෝචන රැස්වීම් අලුත් ආකාරයක මහජන වැඩසටහනක් ලෙස ද හැඳින්විය හැකි ය.

දේශපාලකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව රාජ්‍ය නායකයා ඈත – පිටිසරබදට යන්නේ කලාතුරකින් ය. එය ද අවශ්‍ය ම තැනෙක දී පමණක් සිදු විය. රජ රට කෘෂිකාර්මික නවෝදය දැක බලා ගැනීම සඳහා කුඩා අහස් යානාවලින් ගමන් ගත් මෙරට රාජ්‍ය නායකයන් ගැන අප අසා තිබේ. එබඳු රාජ්‍ය නායකයන් නිලධාරීන් අතින් මුළාවේ වැටිණි. ඝන සැරේට වැඩුණු ඉළුක් ගාල් වී – කුඹුරු ලෙස හඳුන්වාදීමට අවස්ථාව උදාවන්නේ අහසින් යන රාජ්‍ය නායකයන් සිටින විට ය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය තැන දි පයින් යෑමටත් දක්ෂයෙකි. එබැවින් ඔහුට බොරු කිරීම අපහසු බව නැවතත් ඛ්ව යුතු ව තිබේ.

දුප්පත් රටවල සංවර්ධනය පිළිබඳ ගැටලුවෙහි එක් පැතිකඩක් වනුයේ සියලු වැඩසටහන් හා ප්‍රතිලාභ ප්‍රදේශ කිහිපයකට සීමාවීම ය. අප්‍රිකාවේ හා ආසියාවේ මේ තත්ත්වය තදින් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත ඊට කදිම නිදසුනෙකි. කොළඹ කේන්ද්‍ර කොටගත් සංවර්ධනයකට මෙතෙක් දක්වා ඇති උනන්දුව හා කැපවීම අතිිශය බරපතළ වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඈත – පිටිසර – දුෂ්කර ගම්මානවලට කිසිවක් ම නො ලැබිණි. “කොළඹට කිරි අපට කැකිරි” යන සටන් පාඨය නිර්මාණය වූයේ ද ඒ අනුව ය. රටක ඉදිරිගමන සඳහා කේන්ද්‍රීය සංවර්ධනය අත්හළ යුතු ය. සංවර්ධන ක්‍රියාදාමයන් එහි ප්‍රතිඵලයක් පරිධිය දක්වා ගමන් කළ යුතු ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවට යෝග්‍ය හා ඔරොත්තු දෙන ආර්ථික සැලැසුමක් හඳුන්වා දුන් දේශපාලකයෙකි. එම වැඩසටහනෙහි තවත් සාර්ථක පියවරක් ලෙස ප්‍රගති සමාලෝචන රැස්වීම් හැඳින්විය හැකි ය. ප්‍රගති සමාලෝචනයට බෙර හඬ නැත. තොරණ නැත. වැඩ පමණක් ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා