හංගේරියාවේ විස රසායන ගැල්ම තවත් දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීම්

හංගේරියාවේ විස රසායන ගැල්ම තවත් දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීම්

හංගේරියාවේ විස රසායන ගැල්මට ගොදුරු වූ ගම්මාන තවදුරටත් තර්ජනයට ලක්වෙමින් සිදු විය හැකි අලුත් වටයක රසායන ගැල්ම වෙනතකට යොමු කිරීම සඳහා දෙදරාගොස් ඇති ජලාශයක් වටා බැම්මක් ඉදිකිරීමට ඉන්ජිනේරුවෝ යුහුසුළුව සිටිති.

මීටර් 600 ක මෙම වේල්ල ඉදි කිරීමට ඉන්ජිනේරුවන් සමග ස්වේච්ඡා සේවකයන් සිය ගණනක් නිරතව සිටින්නේ විස රසායන ශේෂයන් තැන්පත් ජලාශය දින ගණනකදී දෙදරායාමට මත්තෙන් බාධක පවුර ඉදි කළ යුතු බැවිණි.

තව දින දෙක තුනකදී වර්ෂාව ඇති විය හැකි බවත් ඊට කළින් වේල්ල ඉදි කිරීම කළ යුතුව ඇති බවත් පරිසර ආරක්ෂණ අංශ වලින් පැවසී තිබේ.

වැස්සත් සමග දැනට ඉතිරිව ඇති රසායන අපද්‍රව්‍ය ගසා ගෙන යාමෙන් ජලාශයේ උතුරු බැම්ම බිඳ වැටිය හැකි බවට අනතුරු ඇඟවී ඇත. එය බිඳ වැටුණොත් අලුත් වටයක විස රසායන ගැල්මක් සිදු වනු ඇත. ජලාශයේ පවත්නා වේල්ල ඉරි තැලී ඇති තැන්ද පිළිසකර කෙරේ. කෙසේ වෙතත් හංගේරියාවේ දරුණුම පාරිසරික ආපදාව ලෙස සැලකෙන මෙම විස රසායන ගැල්ම තවදුරටත් දරුණු විය හැකි බවට බිය පළව තිබේ.

ඇලුමිනියම් කම්හලකින් නිකුත් මෙම විස රසායන ගලා යාමෙන් මේ වන විට පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඩැනියුබ් නදියේ අතු ඉති වලටද ඒවා පැතිර ඇති බව කියැවේ.

පොලිසියේ 900 කට පමණ ස්වේච්ඡා සේවකයන් 800 ක් සහාය ලබා දෙන සහන කටයුතු වලදී ඔවුනට ආරක්ෂක මුහුණු ආවරණ හා කණ්ණාඩි පැළඳීමට උපදෙස් දී ඇත්තේ වියලෙන රසායන කොටස් දුවිලි සේ නැගෙන බැවිණි.

මේ රසායන ගැල්මෙන් සිදුව ඇති විනාශය තක්සේරු කිරීම සඳහා යුරෝපා සංගම් සිවිල් ආරක්ෂණ විශේෂඥයන් පස් දෙනකු හංගේරියාව බලා පිටත්ව ගොස් තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා