ලබුගම විජිත මහ විදුහල වැසෙන්නට නොදී රැකගන්න

ලබුගම විජිත මහ විදුහල වැසෙන්නට නොදී රැකගන්න

පාළුවට ගිය පාසල් ගොඩනැගිල්ලක්.

බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයට අයත් හල්තොට ලබුගම ගම්මානයේ විජිත මහ විදුහල එක් දහස් නවසිය හතළිස් හතේ අගෝස්තු 03 දින විවෘත කර ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ දිවංගත අධ්‍යාපන ඇමැති සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසිනි.

සිසු දරුවන් තිස් දෙදෙනකු ප්‍රථම වරට ඇතුළත් කර ගැනීමෙන්, විදුහල විවෘත කර ඇති කන්නන්ගර මහතා විද්‍යාලීය ප්‍රථම සටහන් පොතෙහි පහත සඳහන් සටහනද ලියා අස්සන් කර ඇත.

මේ පාසල විශාල පිරිසක් මධ්‍යයේ මම අද විවෘත කළෙමි. පාසලට විජිත විදුහල කියා නම තබමි. මෙය දිනෙන් දින දියුණු වේවායි පතමි.

හැත්තෑවේ දශකය වන විට මෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහසකට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලැබූහ. ක්‍රීඩා අංශය ඇතුළු හැම අංශයකින්ම දස්කම් පෙන්වා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ විදුහලක් බවට පත්ව තිබූ විජිත විදුහල දැන් පරිහානියට පත්ව සිසු දරුවන් එකසිය හැත්තෑ දෙදෙනකුට පමණක් සීමා වී තිබේ.

එදා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අති විශාල පිරිසකට සෙවණ දුන් විදුහල් භූමියේ ඇති ඊරියගොල්ල ශාලාව, ජයතිලක ශාලාව, කන්නන්ගර ශාලාව හා මලලසේකර ශාලාව ඇතුළු පන්ති පැවැත්වූ ගොඩනැඟිලි සමූහය පාළුවට ගොස් ඇත. සමහර ශාලාවන්හි සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් ඉගෙනුම ලබති.

මෙවර පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වූ තරංග දිල්ෂාන් සේනාරත්න, දුමිඳු රුද්‍රිගු, මහීෂා කල්පනී
සිසුදරුවන් විදුහල්පතිනි නිමාලිකා කහවල හා පන්තිය භාර ආචාරිනී චන්ද්‍රා ලංකාප්‍රේමී මහත්මිය සමඟ.

වසර හැටතුනක ඉතිහාසයක් ඇති විජිත විදුහල මෙවැනි පරිහානි තත්ත්වයකට ඇදවැටී ඇත්තේ කුමක් නිසා දැයි විදුහල්පතිනි නිමාලිකා කහවල මහත්මිය මෙසේ විස්තර කළාය.

මේ වන විට විදුහල ආරම්භ කර වසර හැටතුනක් වනවා. අසූවේ දශකය දක්වා ජනප්‍රිය විදුහලක් ලෙස විජිත විද්‍යාලය ප්‍රචලිතව තිබුණා.

දැන් මෙහි පන්ති පැවැත්වෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණයි. විදුහල මෙවැනි තත්ත්වයකට පත්වන්නට එක් ප්‍රධාන හේතුවක් වුණේ මවුපියෝ.

උපාධිධාරී ගුරුවරු හය දෙනකු ඇතුළු දහසය දෙනකුගෙන් යුත් දක්ෂ ආචාර්ය මණ්ඩලයක් සිටියදී ගමේ විදුහල අමතක කර මවුපියන් වැඩි දෙනෙක් තම දරුවන් ඇතුළත් කරන්නේ නගරබද පාසල්වලට.

විදුහලේ පළමුවැනි ශ්‍රේණියේ සිටින්නේ දරුවන් නව දෙනකු පමණයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දෙනෙකු සිටිනවා. විද්‍යාලය මෙවැනි තත්ත්වයට පත්ව තිබියදීත් පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු දරුවන් හය දෙනෙක්ද, පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුදරුවන් තිදෙනක්ද සමත් වුණා. විජිත විදුහල වසා දමන තත්ත්වයට පත්කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.

විදුහල්පතිනිය හා නියෝජ්‍ය විදුහල්පතිනි දයානි පෙරේරා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කැපවීම නිසා විදුහල යළි දියුණු මට්ටමකට ළඟාවෙමින් පවතී. 2004 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයෙන් දෙවන ස්ථානය හා බස්නාහිර පළාත් පාසල් නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගන්නටද මේ විදුහල සමත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා