බොට්ස්වානා බොක්සිං ක්‍රීඩකයා බිම හෙළා මංජු වන්නිආරච්චි රන් පදක්කම් සටනට එයි

බොට්ස්වානා බොක්සිං ක්‍රීඩකයා බිම හෙළා මංජු වන්නිආරච්චි රන් පදක්කම් සටනට එයි

බිම වැටෙන්නම ගහනවා කියා හිතලයි තරගයට ආවේ: අවසන් තරගයේ දීත් ඒ දේම කරනවා - මංජු කියයි

සටන්කාමී මෙන්ම ජයග්‍රාහී මානසිකත්වයකින් බොක්සිං වළල්ලට පිවිසි මංජු වන්නිආරච්චි බොට්ස්වානා හී ටිරෆාලා සියොකෝට ඇද වැටෙන තුරු පහර පිට පහර එල්ල කරමින් හෙට (13දා) පැවැත්වෙන කිලෝ ග්‍රෑම් 56 බැන්ටම් වේට් බොක්සිං රන් පදක්කම දිනා ගැනීමේ සටනට සුදුසුකම් ලබා ගත්තේ ය.

මංජු වන්නිආරච්චිගේ ප්‍රබල මෙන්ම ආක්‍රමණශීලී පහරේ වේගයට අන්දමන්ද වූ බොට්ස්වානා ක්‍රීඩකයාගේ මුහුණෙන් ලේ ගලද්දී තරගය නිමා කිරීමට විනිසුරු තීරණය කෙළේ ය. වට තුනකින් සමන්විත තරගයේ ප්‍රථම වටයේ විනාඩි 3 ගත වෙද්දී ලකුණු 3 : 0ක් ලෙස මංජු වන්නිආරච්චි ඉදිරියෙන් සිටි අතර ඊළඟ වටයේ තත්පර 48ක් ගත වෙද්දී තරගය නිමා විය. එවිට ලකුණු තත්ත්වය 5 : 0ක් විය.

නවදිල්ලි නුවර දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වැඩිම ආකර්ශනයක් ඇත්තේ බොක්සිං තරගවලට ය. ඒ හේතුවෙන් ඊයේ අවසන් පූර්ව තරගයේ දී මංජු වන්නආරච්චිට පන්දහසකට අධික ඉන්දීය පේ‍්‍රක්ෂකයන්ගේ නොමද ප්‍රීති ඝෝෂා නැගුණි.

බොට්ස්වානා ක්‍රීඩකයා බිම හෙළීමට සමත් වූ වන්නිආරච්චිගේ පහර ඡායාරූප - ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක බොක්සිං රන් පදක්කමක් දිනා ඇත්තේ 1938 දී ය. විලියම් හෙන්රිකස් එම දක්ෂතාව දැක් වූවේ ය. මංජු වන්නිආරච්චි හෙට තරගයේ දී රන් පදක්කම දිනාගතහොත් එය වසර 72කට පසු දක්වන පෙරළිකාර ජයග්‍රහණයකි.

30 හැවිරිදි මංජු වන්නිආරච්චිට බැන්ටමි වේට් අවසන් සටනේ දී මුණ ගැසෙන්නේ 19 හැවිරිදි වේල්සයේ ෂෝන් මැක්ගෝල්ඩ්ට්‍රික් ය. ඔහු කිලෝ ග්‍රෑම් 56 බැන්ටම් වේට් බර පන්තියේ සිටින ලාබාලම ක්‍රීඩකයා ය. 2006 සිට 2009 දක්වා ලෝක බොක්සිං යොවුන් සූරතාව ෂෝන් දිනාගෙන ඇත.

කෙසේ වුවද මංජු වන්නිආරච්චි දැනට සිටින ඉහළ මානසිකත්වය හා පරිණත ක්‍රීඩා විලාශය හේතුවෙන් වේල්ස් ක්‍රීඩකයාට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇතැයි විශ්වාස කෙරේ. එය ලෝක යොවුන් සූර වේල්සයේ ෂෝන්ට කිසිදු අමතක නොවන තරම් ප්‍රබල සටනක් වනු නොඅනුමානය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මංජු වන්නිආරච්චි පැවැසුවේ “රන් පදක්කම ලංකාවට ගෙන යෑමේ එකම පැතුම ඇතිව නවදිල්ලියට පැමිණි බවය.”

“බොට්ස්වානා ක්‍රීඩකයාට බිම වැටෙන්නම ගහනවා කියලයි මම බොක්සිං වළල්ලට ගොඩ වුණේ. ඒක එහෙම ම කළා අවසන් තරගයේ දී වේල්ස් ක්‍රීඩකයාට මා අත්කරන ඉරණමත් ඒකමයි. ඒකෙ වෙනසක් නෑ. මම ඉන්නේ ඒ අධිෂ්ඨානයෙන්මයි” වන්නිආරච්චි පැවැසීය.

ජයග්‍රහණය සටහන් වූ මොහොත

“මගේ පුහුණුකරු හර්ෂ කුමාර මහතාට මා කෙළින්ම කිව්වා මේ පාර ආවේ පරදින්න නොවෙයි දිනන්න බලාගෙනමයි කියලා. මා පසුගිය මාස කිහිපයේ ගොඩක් මහන්සි වී පුහුණු වීම් කළා. ඒකෙ ප්‍රතිඵල හෙට ගත යුතුයි”

අවසන් තරගයේ දී හමුවන ක්‍රීඩකයාට පහර එල්ල කිරීම සඳහා විශේෂ උපක්‍රම ඇත්දැයි නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මංජු පැවැසුවේ ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට ක්‍රමවේද වෙනස් කරන බවය.

“අවසන් තරගයට ඇවිත් ඉන්න ක්‍රීඩකයා දක්ෂ කෙනෙක් බව දන්නවා. ඒ වුණාට ගහන එක ගහනවා” මංජු වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රි ලංකා බොක්සිං කළමනාකරු ඩයන් ගෝමස් මහතා පැවැසුවේ මංජු බොක්සිං වළල්ලට එන්නට පෙර “ජය පිරිත” සජ්ඣායනා කරන බවය.

“මංජුගේ හෙට තරගය ජයගන්න මුළු රටේම ආශීර්වාදය අවශ්‍යයි” ගෝමස් මහතා පැවැසීය.

මංජු වන්නිආරච්චි පසුගියදා ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං සූරතාවලියේ දී රිදී පදක්කමක් දිනා දක්ෂතා දැක්වීය.

ශ්‍රී ලංකා රගර් පිල තරග තුනම පරදී

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තරගයෙන් 59 - 7ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජය විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුරාධ සූරිය බණ්ඩාර ට්‍රයි දිනුමක් වාර්තා කළ අතර රසික හෙට්ටිආරච්චි ගෝලයක් බවට පත් කෙළේ ය.

ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගයේ දී ඔස්ට්‍රේලියාවෙන් ලකුණු 42 - 5ක පරාජයක් ලැබීය. එම තරගයේ දී ද ට්‍රයි දිනුම වාර්තා කෙළේ අනුරාධ සූරියබණ්ඩාර විසිනි. උගන්ඩාව සමඟ පැවැති තුන්වැනි තරගයෙන්ද ලකුණු 35-5ක පරාජයක් ශ්‍රී ලංකා පිලට අත්විය.

චමින්ද විජේකොන් ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

මිටර් 1500 තරගයට ඊයේ රාත්‍රියේ සහභාගි වූ චමින්ද විජේකෝන් විනාඩි 3 . 40 .78 කින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් එම ඉසව්වේ මූලික වටයේ දෙවැනියා විය. මෙයට පෙර ඔහුගේ හොඳම කාලය වී තිබුනේ විනාඩි 3 : 41 : 97 කි. ඔහු බිද හෙලුවේ ඔහු විසින්ම තබා තිබූ වාර්තාවය. ඔහුගේ අවසන් තරගය අද ප. ව 6:20ට පැවැත්වේ. ඔහු සමඟ තරග වැදුණු කෙන්යාවේ ජේම්ස් කිප්ලැන්ඩ් විනාඩි 4 : 40 : 47 කින් ප්‍රථම තැනට පත් විය.

ටේබල් ටෙනිස්

පිරිමි යුගල ටේබල් ටෙනිස් තරගයට එක් වූ රොහාන් සිරිසේන හා නිර්මල බණ්ඩාර 3 - 0 කින් ඔස්ට්‍රේලියාවේ හෑන් හා ගෙරාඩා හමුවේ පරායට පත්වූහ. කාන්තා යුගල තගරයේ දී ඉෂාරා මධුරංගි හා නුවනි නවෝද්‍යා මැලේසියාවේ ෆැන් හා චියු යන දෙදෙනාට 3 - 0 කින් පරාජය විය.

බැඩ්මින්ටන්

ඊයේ නිමා වූ බැඩ්මින්ටන් තරග 4ම ශ්‍රී ලංකාව පරාජය විය. ලසිත කරුණාතිලක මැලේසියාවේ මොහොමඩ් හෆීස්ට 2 - 0 කින්, දිනුක කරුණාරත්න සිංගප්පූරුවේ යාන්ග් ෂාහෝට 2 - 0කින් හා නිලූක කරුණාරත්න එංගලන්තයේ රජිව් ඕසේවිට 2 - 1 කින් ඒකළ තරගවැදී පරාජය වූහ. තිළිණි ජයසිංහ හා සුබෝධා කුමාරි කාන්තා යුගල තරගයේ දී එංගලන්තයේ මැරිනා හා හෙන්හර් හමුවේ 2 - 0 කින් පරාජය වූහ.

සහය දිවීමේ පිලට 5 වැනි ස්ථානය

මීටර් 400 ඔ 4 සහාය දිවීමේ මූලික වටයේ තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනාඩි 3 : 8 : 77 කින් 5 වැනි තැනට පත් වූහ. එහි ප්‍රථම ස්ථානය දිනු බහමාස් ක්‍රීඩකයෝ විනාඩි 3 : 05 : 44ක කාලයක් ගත්හ. ශ්‍රී ලංකා පිලට ප්‍රසන්න සම්පත්, ධනුෂ්ක කරුණාරත්න, උදිත ගයාන් වික්‍රමසිංහ හා කසුන් කල්හාර ඇතුළත් වූහ. ශ්‍රී ලංකා පිලේ යෂ්ඨි හුවමාරුව දුර්වල මට්ටම තිබීම කැපී පෙනුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා