රටේ නීතිය කාටත් පොදුයි: ඇයි සමාව ගන්න ලැජ්ජා වෙන්නෙ

රටේ නීතිය කාටත් පොදුයි: ඇයි සමාව ගන්න ලැජ්ජා වෙන්නෙ

ඩබ්ලිව්.බී.ඒකනායක ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය

*මේ දිනවල දේශපාලන කරළියේ සාකච්ඡා කෙරෙන ප්‍රධාන මාතෘකාව වන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමයි. මේ සම්බන්ධයෙන් රජය නීතිමය පැත්තත් විපක්ෂ මන්ත්‍රීවරු මානුෂීය පැත්තත් විවරණය කරන අතර ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස ඔබ මෙය දකින්නේ කෙසේ ද?

රටේ නීතිය කාටත් පොදුයි. දුප්පත් පොහොසත් කම් හෝ ලොකු පොඩිකම් ගැන සලකා නීතිය උල්ලංඝනය කරනවා නම් එයයි වැරදි. ෆොන්සේකා මහතා හමුදා සේවයේ සිටිය දී කළ වැරදි ක්‍රියාවලට යුද අධිකරණයේ නඩු අහලා දඬුවම් දීල තිබෙනවා. ඒවාට එළියෙ නඩු අහල නෙවෙයි දඬුවම් දීල තියෙන්නෙ.

මට මතකයි ඒ දවස්වල හමුදාවෙන් පැන ගිය සොල්දාදුවන් දස දහසක් පමණ අත්අඩංගුවට අරන් ඒ අයට යුද නීතියට අනුව දඬුවම් දුන්නා. ඉතිං ඒ පවුල්වල අම්මල, තාත්තල, බිරින්දෑවරු, දූ දරුවො මම ළඟටත් ඇවිත් ඒ සොල්දාදුවන් බේරාදෙන්න කියල ඉල්ලීම් කළා.

අපි කොහොමද ඒවාට මැදිහත් වෙන්නේ. ? ඒ අයට හමුදාවයි දඬුවම් දීල තිබුණේ. ඒවාට අස්සන් කළේ හිටපු හමුදාපතිවරයාමයි. හැබැයි එක් පොහෝ දිනයක් නිමිති කරගෙන ජනාධිපති තුමා තමන් ගේ බලය පාවිච්චි කරලා ඒ හමුදා සෙබළුන් අට දහසක් පමණ නිදහස් කළා. මෙතැන දී අපි කියන්නෙත් නෑ හිටපු හමුදාපතිවරයා සිරගත කිරීම හොඳයි කියලා. හැබැයි ඒක හමුදා නීතිය. ජනාධිපතිවරයා කළ දෙයක් නෙවෙයි.

දැන් බලන්න, එල්ලුම් ගහට නියම වූ කී දෙනෙක් අද රටේ ඉන්නව ද ? ඒත් ජනාධිපතිතුමා ඒකට අස්සන් කරනවද ? නැහැ හැබැයි මෙතනදී හමුදා අධිකරණයන් ගෙන ආ විනිශ්චයකට ජනාධිපතිවරයා අස්සන් කරනවා. එහෙම නො කළොත් මේ රටේ තව තව ප්‍රධානීන් ඕනතරම් වැරදි කරයි. ඒවටත් ජනාධිපතිවරයාට අස්සන් නො කර ඉන්න වෙනවා. මේක රටේ ප්‍රධානීන්ට හොඳ පාඩමක්. මේ දඬුවම දුන්නේ රටේ හිටපු තවත් එක් ප්‍රබල ප්‍රධානියෙකුට යි. විපක්ෂය මේක දන්නවා වුණත් ඒ අය උගුරට හොරා බේත් බොනවා. ඒ අය මේ සිද්ධිය හරහා ජනාධිපතිවරයාටත් එතුමා ගේ පවුලේ අයටත් පහර ගසනවා.

අපි දැක්කා පාර්ලිමේන්තුවේ දී ෆොන්සේකා මහතා වුණත් මේ විදියට ජනාධිපතිතුමාටත් ඒ පවුලේ අයටත් කතා කළ ආකාරය. පාර්ලිමේන්තුවේ අපි කෑගහන්න යන්නේ නැති නිසා ඒවා උපේක්ෂාවෙන් බලා සිටියා.

* මෙසේ ජයගත් යුද්ධයට නායකත්වය දුන් හමුදාපතිවරයා සිරගත කිරීම හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් අපකීර්තියක් එල්ල වේ යයි ඔබ සිතන් නැද්ද ?

යුද්ධය ජයගත්තේ හමුදාපතිවරයාගෙන් පමණක් නෙවෙයිනෙ. යුද හමුදාව විතරක් නෙවෙයි. නාවික හමුදාව, ගුවන් හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය විශාල මෙහෙයක් කළා. අනික හමුදාපතිධූරය ලබන්න හිටියේ ජෙනරාල් මල්ලවාරච්චි යි. ජනාධිපතිතුමා ඒ තිබියදීත් ෆොන්සේකා මහතාට ඒ ධූරය පිරිනැමුවේ දැඩි විශ්වාසයකින්. ඒ විශ්වාසය බිඳින එක වැරදියි. ඒවටයි මේ දඬුවම් දීල තියෙන්නේ.

අපි දන්නවා එස්.බී. දිසානායක මහතාට සිවිල් නඩුවක් තිබුණා. එතුමාට වැරදුණේ වචනයයි. ඒත් ඔහු සිරගත කළා. එතකොට ඒවා වැරදි නෙවෙයි ද ? එතුමා සිරගත කරල ඉද්දි මුලින් ම බලන්න ගියෙත් මමයි.

දැන් තියන ප්‍රශ්නයේ දී දඬුවම් දීම නෙවෙයි ප්‍රධාන වෙන්නෙ. ඒක නීතියට අනුවයි සිද්ධ වුණේ. ඒත් එතුමාට නිදහස් වෙන්න අවස්ථාව තිබෙනවා. ඒකට විපක්ෂය ඉඩ දෙන්නෙ නෑ. මේක ම උරච්චි කර කර ඉන්නයි විපක්ෂයට ඕනෑ.

ඔබ අහපු ප්‍රශ්නයට අනුව කියනව නම් ජාත්‍යන්තරයෙන් අපට වැඩක් නෑ. ඒ අය යුද්ධ කළෙත් නෑ. උදව් කළෙත් නෑ. ඇවිස්සුව විතරයි. ඒ අය යුද්ධයෙන් වාසි අත්පත් කරගත්තා. ළඟදි දවසක ඉන්දියාවේ විපක්ෂය ප්‍රකාශයක් කළා, අපේ ප්‍රශ්න පිටරටවලට දෙන්න ඕනෙ නෑ අපි රට තුළ ම ප්‍රශ්න විසදාගන්නවා කියලා. හැබැයි අපේ රටේ ? මොකක් ද වෙන්නෙ, ඒක ගැන පිටරටට ලියුම් ගහනවා. ඊ මේල් අරිනවා.

ෆොන්සේකා මහත්තයට තවත් ජේ.වී.පී. යෙ. කොලේ බලන් කියව කියව ඉන්නැතුව නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. එස්.බී. මහත්තයා නිදහස් වුණා වගේ එතුමාට ජනාධිපති සමාවක් ඉල්ලන්න පුළුවන්. එතුමා ව. හමුදාපති තනතුරට පත් කළේ ජනාධිපති නම් එතුමා දිව්රුම් දුන්නේත් ජනාධිපති ඉදිරියේ නම්, සේනාධිනායකයාත් ජනාධිපති නම් ඇයි සමාව ගන්න ලැජ්ජ වෙන්නෙ.

* රටේ මහානායක හිමිවරුන් හා කතෝලික පූජකවරුන් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැයි කර තිබෙන ඉල්ලීම පිළිබඳ රජයේ ස්ථාවරය කුමක් ද?

මහානායක හිමිවරු හා පූජක උතුමන්ලාගේ ඉල්ලීම සාධාරණයි. ඒත් ඒ අය විතරක් ඉල්ලල හරියනව ද ? එහෙම හරියන් නෑ නෙ. එතුමත් ඉල්ලීමක් කරන්න ඕනෑනෙ. නැත්නම් එතැන කියයි හාමුදුරුවො යි ඉල්ලීමක් කරල නිදහස් කළේ මම ඉල්ලුවේ නෑනෙ කියල. එහෙම නොකියයි කියල හිතන්න බැහැ. මොකද එතුමා මේ වනතුරු කතාකරල තියන ආකාරයට එහෙම කියයි කියල පැහැදිලියි.

* ජනතා විමුක්ති පෙරමුණ ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට රටපුරා උද්ඝෝෂණ කරමින් හා අස්සන් එකතු කරමින් ජනතාව ඒකරාශී කරනවා

ජේ.වී.පියට එතුමා නිදහස් කරගන්න කලින් එදා හමුදා සෙබළුන් මරා දමපු හැටි මතක්කරගන්න කියන්න. මට මතකයි තිරප්පනේ එක පවුලක වයසක අම්මයි තාත්තවයි ගෙට දාල, ගෙදර බඩුමුට්ටුත් ඒ උඩටම දාල ගෙට ගිනි තිබ්බා. පුතා හමුදාවෙ නිසා ඒ අම්මයි තාත්තයි අමු අමුවෙ පිච්චිලා මැරුණා. ඒ විදියට ජේ.වී.පි ය කී දෙනෙක් හමුදා සාමාජිකයන් හා ඒ අයගෙ පවුල්වල අය මැරුවද? අද හිටපු හමුදාපති නිදහස් කරගන්න කතාකරන්නෙ ලැජ්ජ නැති නිසයි.

එයාලට රට වටේ අස්සන් එකතු කරන්න ඕනෙ නෑ. ඒ අයගෙ වැඩ අපි දැක්කනෙ පහුගිය කාලෙ. හිටපු ජනාධිපතිනිය එක්ක වැඩ කරන්න අරන් වැව් හදනව කියලා. චොපර්වලින් ගමන් ගිය හැටි අපට මතකයි. ඒත් මොනවද අවසානෙට කළේ.

මේ අස්සන් එකතු කරන්න කලින් එදා ඔවුන් මරපු හමුදා පවුල්වලට වන්දියක් ගෙවල හිටිනම් නරක ද ?

* විපක්ෂ නායකතුමා ඉල්ලීමක් කළා කේ. පී.ට දෙන පහසුකම්වත් ෆොන්සේකා මහතාට ලබාදෙන්න කියා. එහෙත් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කළොත් පමණක් විශේෂ පහසුකම් ලබා දෙන බවයි.

ඔය කතාව මමත් අහගෙන හිටියා. ඇත්තෙත් ම වෛද්‍යවරයා පරීක්ෂා කරලා එතුමාට විශේෂ පහසුකම් සැපයීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළොත් තමයි සිර කරුවකුව සිටින නිසා විශේෂ පහසුකම් ලබා දෙන්න හැකි වෙන්නෙ. මොකද නීතිය කාටත් පොදුයි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය කතාව රනිල් වික්‍රමසිංහ මහත්තයා කළ එකයි. එතුමා එස්.බී. මහත්තයා හිරේ ඉද්දී ඔය කතා කිව්වෙ නෑ නෙ. ඒකට කැමැත්තෙන් ද ඉඳල තියෙන්නෙ.

* ඒ අතර ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සමුළුවට සහභාගී වීමට යාම පිළිබඳ විවිධ වෙබ් අඩවි චෝදනා රැසක් එල්ල කර තිබුණා.

රටකට යද්දි අපේ හෝටල්වත් අපේ ගෙවල් දොරවල්වත් එහෙ නෑ. ජනාධිපතිතුමා යනවිට ඒ ගමනට සෑහෙන පිරිසකට සහභාගි වෙන්න වෙනවා. ජනාධිපතිවරයාට ආරක්ෂාවටත් පිරිසක් යා යුතු වෙනවා. මේ ගිය පිරිස පාරෙ තියන්න බෑ. හිතන්න, ඒ රටවල්වල වතුර ටික පවා මුදලට යි ගන්නෙ. අනික අපට ඒ රට ආරාධනා කරල තිබුණ නම් ඒ රට අපට ඒවා සපයනවා. ඒත් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් විදියට සහභාගි වෙද්දි අපි ඒ වියදම් දරා ගත යුතු යි. අපේ රටේ දැන් මොකක් කළත් නාස්තිය කියලා බනිනවා. මිනිහෙකුට පඩියක් දුන්නත් නාස්තිය ලු, හැබැයි මම දන්නවා ඔය කියන අය ඒ කාලෙ කරපු දේවල්. උඩ බලාගෙන කෙළ ගහන්න ඕන් නෑනෙ. අවසානයේ රෝයල් එකේ කාන්තාවන් නිර්වස්ත්‍රයෙන් නැටෙව්වා. ඒ අයට දැන් කියන්න තියන්නෙ බලේ තියෙද්දි මොළේ නෑ. මොළේ තියෙද්දි බලේ නෑ කියල යි.

* එම සමුළුවේ දී ඇමරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කළබවත් ඇතැම් මාධ්‍ය වාර්තා කළා.

ඇමරිකාවේ ජනාධිපති වුණත් ඔහු ලෝකයේ ම ජනාධිපති වුණත් ඔහුට පුළුවන් වුණා ද ත්‍රස්තවාදය පරදන්න ? දහස් ගණන් සමූල ඝාතනය කරද්දි ලෝක වෙඳ මධ්‍යස්ථානයට, පෙන්ටගනයට ගහද්දි බින්ලාඩන්ගේ කෙස් ගහක්වත් අල්ලගන්න ඔබාමාට හැකි වුණා ද ? ඒත් ලෝකයේ ම දරුණුත ම ත්‍රස්තවාදියා කියල පිළිගත් ප්‍රභාකරන් දණගස්සන්න අපේ ජනාධිපතිවරයාට හැකි වුණා. අපට නම් ශ්‍රී ලාංකිකයන් විදියට වටින්නේ ඔබාමා නෙවෙයි අපේ ජනාධිපතිවරයා යි.

ඔය මහ ඉහළින් කතා කරන ඔබාමා බලයට ඇවිත් මොනවද කළේ ? දැන් ඇමෙරිකාවට මොක ද වෙලා තියෙන්නෙ.? අපි නිදහස් රටක් විදියට ඉන්නවා. ඒ අය අපි දිහා බලන් අඬනවා. නිදහස් වෙන්න බැරුව. ඔබාමා අපට තියා ඒ රටටවත් කරපු දෙයක් නෑ. අපට මොකටද ඒ අයගෙ කතා. අපේ රටේ මේ තියන සම්පත් හරියට කළමණාකරණය කරගත්තම අපට ඔය එක රටකටවත් අතපාන්න ඕනෙ නෑ. අපේ නායකයා ඒ සුද්දන් ට අතපාන්න යන්නෙ මොකට ද ? මේ වගේ පුණ්‍ය භූ®මියක නායකයෙක් එවැනි රටකට අතපාන්න ඕනෑ ද? අපට පුළුවන් සුද්ද දිහා බලන් ඉන්නැතුව දියුණු වෙන්න.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා