විශ්‍රාම ගියදාට මා තෝරාගන්නේ මැදමුලනයි

විශ්‍රාම ගියදාට මා තෝරාගන්නේ මැදමුලනයි

1970 මැයි මාසයේ 31 වැනිදා බෙලිඅත්තේ මන්ත්‍රී වශයෙන් පරණ පාර්ලිමේන්තු සභා ගැබේ දී කතානායක ස්ටැන්ලි තිලකරත්න මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ ය. 2005 නොවැම්බර් 19 වැනිදා එම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පියගැටපෙළ මුදුනේ විධායක ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ භාර ගනිද්දී තරුණ මන්ත්‍රීවරයකු වශයෙන් රාජාසන කතාවට ස්තූති යෝජනාව ගෙනා හැටි සිහිපත්වන්නට ඇත.

එදා මන්ත්‍රීවරයකු වශයෙන් මහා බ්‍රිතාන්‍ය රැජිනගේ නාමයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ඍජුව හෝ වක්‍රව ඊලමකට සහාය නොදෙන බවට සහ ආධාර අනුබල නොදෙන බවටය. 2010 අද වැනි දිනෙක දෙවන ධූර කාලය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු දිවුරුම දුන්නේ රට දෙකඩ වීමෙන් බේරාගෙන ඊලාම් රාජ්‍යය සිහිනයක් බවට පත්කිරීමෙන් පසුවය.

එදා ඊලමට එරෙහිව දිවුරුම් දුන් සමහර රාජ්‍ය නායකයන්/කොටි සංවිධානයට ඍජුවම හා වක්‍රව ආධාර අනුබලදීම ගැන ලැජ්ජා වනු ඇත. එක් රාජ්‍ය නායකයෙක් ඊලාම් රාජ්‍ය ගොඩනඟන්නට ගිනි අවි ලොරි පිටින් දුන්නේ ය. සිමෙන්ති ද එසේම ය. තවත් රාජ්‍ය නායකයෙක් ප්‍රභාකරන්ට ඊලම ගොඩනගන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නට ලියවිල්ලකින් සියලු බලතල ලබා දුන්නේ ය.

ප්‍රථම වතාවට විධායක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා සාකච්ඡා බිඳ වැටුණු මොහොතේ සිට සේනාධිනායකයා වශයෙන් ඊලාම් රාජ්‍යය නන්දිකඩාල් කලපුවේ යටකර දැම්මේ ය. ඔහු දෙවන වතාවට දිවුරුම් දුන්නේ සමස්ත ජාතියම නියෝජනය කරන ජනතාවගේ මුහුණුවල සුන්දර සිනහවක් මවා පාමිනි. එම කාර්තව්‍යයේ දී එයට එරෙහි වූ දෘෂ්ඨ බලවේගවල මුහුණු ඇඹරී යන්නට ඉඩ සලස්වමිනි.

මෙවන් මහා කාර්තව්‍යයකට කැප වුණු රාජ්‍ය නායකයා ජාතිය අමතමින් කළ අතිශයින් සංවේදී කතාවට ගාලුමුවදොරට රැස් වී සිටි ජනතාවත් ජාතිය අමතන කතාවට සවන් දුන් සියලු දෙනාමත් විශ්මිතව සවන්දී සිටියහ. මේ තනතුරෙන් තවත් ඉහළට ඔසවා තබන්නට තැනක් නැති බව කී ජනාධිපතිතුමා විශ්‍රාම ගිය දවසට තමාට ඇති එකම තැන රුහුණේ හද්දා පිටිසර මැදමුලන බව ගමට ගරුත්වයක් වශයෙන් සිහිපත් කළේ ය. එදාට කවුරුන් හෝ පැමිණ ඔබ ඔබේ යුතුකම ඉටු කළා යැයි කිවහොත් මහින්ද රාජපක්ෂ නම් වූ චරිතයට ලැබෙන සැනසිල්ල හා සතුට එය බව ද එතුමා නිහතමානීව කියා සිටියේ ය. අපි එතුමාට චිරං ජයතු යැයි කියමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා