ජනප්‍රියත්වය බැහැර කළා සංවර්ධනය මුලට ගත්තා

ජනප්‍රියත්වය බැහැර කළා සංවර්ධනය මුලට ගත්තා

ඩබ්ලිව්.බී.ඒකනායක වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය

* ජනාධිපතිතුමාගේ දෙවැනි ධූර කාලය සඳහා දිව්රුම් දීමත් සමඟ ඒ හරහා රටේ කුමන ආකාරයේ වෙනසක් සිදුවේවි ද ?

මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා 2005 දී ජනාධිපති පදවිය බාරගත්තේ වසර 30ක් තිස්සේ වර්ධනය වෙමින් තිබූ යුද්ධය නිමාකර සාමය ලබා දීමේ අභිලාශයෙන්.

යුද්ධය අවසන් කරනවා කියන විට කවුරුත් කිව්වේ ඒක කරන්න බැරි වැඩක් විදියට යි. මේ කතාකරන මම වුණත් හිතුවේ ඒක කරන්න බැරිවෙයි කියලා. මම ඒ කාලෙ හිටියේ විපක්ෂය සමඟ යි.

එතුමා ඒ තමන් ගේ වගකීම ඉටු කරලයි නැවත මැතිවරණ තිබ්බේ. එතුමාට පළවූ වතාවට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් දෙවැනි වතාවේ ලැබුණේ ජනතාව එතුමාව විශ්වාස කළ නිසායි. මේ යුද්ධය අවසන් කිරීම නිසා අද ජනතාව මොනතරම් සතුටකින් ජීවත් වෙනවා ද.

සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් හරිම සතුටින් ජීවත් වෙනවා. අපේ භාෂා තුනෙන් බෝඩ්එකක් දාගන්න බැරුව තිබුණ ප්‍රදේශවල ජාතික කොඩිය ඔසවන්න පවා අවස්ථාව ලැබිල තියනවා. මට විශාල විශ්වාසයක් තියනවා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට ජාත්‍යන්තරය ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන තමන්ගෙ රට ගැන ආඩම්බරයෙන් කතාකරන්න ඇභිමානයෙන් කතාකරන්න සුදුසු පරිසරය උදාකරන බව.

ලෝකයේ බොහෝ රටවල් අද අපි ගැන කතා කරනවා. ඒ අය අපි නිදහස් රටක් ලෙසත් නිදහසේ සුව විඳින රටක් ලෙසත් පිළිගන්නවා. හැබැයි විපක්ෂයට නම් පේන්නෙ මේ රට අපායක් විදියට යි. හැබැයි ඒක රනිල් වික්‍රමසිංහ මහතා අස්සන් කළ ලේඛන බල පැවැත්වුණා නම් රට අපායක් වෙන්න ඉඩ තිබුණා.

හැබැයි දැන් සමහරු අහනවා යුද්ධය අවසන් කරල මාස 17 ක් ගියා කෝ බඩුමිල අඩු වුණාද කියලා කොහොමද එහෙම කරන්නේ ? එළවළු වගා කරන ගොවියෙක් කැමතිද මහන්සියෙන් වගා කළ තමන්ගෙ අස්වැන්න අඩු මුදලකට විකුණාගන්න. අපට මතකයි ඔය කෑගහන අය බලයෙ ඉද්දි කරපු වැඩක්.

අනුර දිසාානයක මහත්තයා කෘෂිකර්ම ඇමැතිවෙලා ඉන් කාලයේ වැව් හදනවා කියල මොනවද කළේ. පොඩි පොඩි වැව් ටිකක් හදන්න කියල ගමන් ගියෙත් චොපර්වලින්. 88 – 89 කලෙ බස්රථ දෙදහසකට පමණ ගිනි තියල, රාජ්‍ය ආයතන විනාශ කරල තරුණයන් මරා දමල රට අගාධයට ඇදල දැම්මේ කවුද කියල මුළු රට ම දන්නවා. එහෙම අතීතයක් තියන රටකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පහළවීම විශාල භාග්‍යයක් ලෙසයි මම දකින්නේ.

ඒ නිසා මම කියන්නෙ දැන්වත් මොළේ පාවිච්චි කරල, ජනතාවට ආදරය කරනවා නම්, ඔය කියන විදියට රටට ආදරය කරනවා නම් රජය කරන මේ හැමදේටම විරුද්ධ නොවී විපක්ෂයේ අයත් ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙළ සමඟ එකතුවෙලා ලෝකයේ ආධාර උපකාරත් අරගෙන රට සංවර්ධනය කරන්න දායක වෙන්න කියල. අපි තරයේ විශ්වාස කරනවා 19 වැනිදා පදවි ප්‍රාප්තියෙන් පසු මේ රටේ සුවිශාල මෙහෙවරක් කිරීමට, විශාල සංවර්ධනයක් කිරීමට එතුමාට ශක්තිය ලැබෙන බව.

* මේ දිනවල පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඉදිරිපත් කර ඇති සූදු පනත පිළබඳත් දේශපාලන කරළියේ ආන්දෝලනයක් තිබෙනවා.

සමහරු මේක අර්ථ දක්වන්නේ රජය රට සූදුවට යොමු කරවනවා කියලා. මේ සූදු පනතින් සූදුවලට බලපත්‍ර දෙනව කියලයි. ඒ අය ප්‍රචාරය කරගෙන යන්නේ. මේවා විපක්ෂය ජනතාව නොමඟ යවන්න කරන ප්‍රචාර විතරයි. දැනට රටේ හැම තැන ම සිදු වන සූදු ව්‍යාපාර එක ප්‍රදේශයකට ගන්නයි මේ උත්සාහ කරන්නේ.

මේක හැම තැන ම හොරෙන් කෙරෙනවා. ඒවට කවුරුත් කතා කරන්නේ නැහැ. හොරෙන් සූදු ගහන්න හොඳයි. ඒක එක ප්‍රදේශයකට ගෙන ගිහින් සල්ලිවලට කරන්න ගියා ම තමයි මේ ප්‍රශ්නය. අපි දන්නවා පන්සල්, පාසල් ළඟත් බාර් තියනවා. සූදු පොලවල් තියෙනවා. මෙන්න මේවා එක තැනකටගන්න ඕනෑ. එහෙම නැත්නම් මේවා හැමෝම යන එන තැන්වල තිබුණා ම පාරේ යන එන අයටත් ඒක කරදරයක්. හැබැයි ඔය කතා කරන එක්සත් ජාතික පක්ෂය ඒ අයගේ පාලන කාලයේ කොච්චර තැබෑරුම්වලට බලපත්‍ර නිකුත් කළළා ද ?. අපි ඒ තත්ත්වය වෙනස් කරල තියෙනවා. අපි අවසර ලබා දීලා තියෙන්නෙ හෝටල්වලට පමණයි’ ඒ වගේ ප්‍රතිපත්ති තියන රජයක් සූදු ගහන්න පෙළඹෙන් නෑ.

* පසුගිය කාලයේ දී මෙරට ආපදා තත්ත්වයන් දිගින් දිගටම ඇති වුණා. මේ තත්ත්වයන්ට මුහුණ දීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය ලෙස ක්‍රියාත්මක සැලැසුම් මොනවා ද ?

ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් ඇති කෙළේ රටේ ඇතිවන ආපදා තත්ත්වයන් සමනය කර ගැනීමටයි. මෙහි දී අප ඉදිරි ආපදා තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කරනවා විතරක් නොවෙයි. එම තත්ත්වයන්ගෙන් ජනතාව ගලවා ගැනීමට අපේ අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

සුනාමි තත්ත්වයන්. ගංවතුර උවදුරු විතරක් නොවෙයි සෙසු ආපදා තත්ත්වයන් පිළිබඳ ද අප අවධානයෙන් සිට දැනුවත් කරනවා.

ගංවතුර තත්ත්වයන් වගේ දේවල් අපට සම්පූර්ණයෙන් වළක්වන්න බැහැ. ඒත්. ජල ගැලීම්වලට හේතුවන කාණු පද්ධති අවහිර වීම් වගේ දේවල් අවම කිරීමට කටයුතුª කරනවා. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වන්නේ ජල ගැලීම් තත්ත්වයන් පාලනය කර ගැනීමයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට යම් ආපදාවක් වෙනවා නම් එය වළක්වන්න බැහැ.

ඒත් ආපදා තත්ත්වය පාලනය කර ගැනීමටත් එම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමටත් පුළුවන් කම තිබෙනවා.

* කොළඹ නගරයේ අනවසර නිවාස ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ විවිධ ප්‍රතිචාරයන් මේ තීරණය පිළිබඳ ලැබෙමින් තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොනවගේ ද ?

මෙතැනදී සිදු වෙන්නේ ස්ථිර නිවාස නොමැති අඩු පහසුකම් ඇති අයට ස්ථිර හා පහසුකම් ඇති ගෙවල් ලබා දීමයි. එහෙම නැතිව මෙතැන කිසිදු දේශපාලන ආරවුලක් නැහැ.

ඒත් විපක්ෂය උත්සාහ කරන්නේ් මේ දේවල් අල්ලාගෙන ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමයි. ආණ්ඩුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ සද් අරමුණක් ඇති වයි. එහෙම නැතිව මෙතැන විපක්ෂය කියන විදිහේ දේශපාලන අරමුණ හෝ ඉලක්කයක් නැහැ.

* රජය 2011 අයවැය ඉදිරිපත් කර තිබෙනවා. මේ අය වැය මඟින් රටේ ආර්ථිකය නැංවීමට සහ ජනතාවට සහන ලබාදීමට ගෙන තිබෙන පියවර පිළිබඳ ඔබේ මතය මොකක් ද ?

මෙවර අය වැයේ මූලික ඉලක්කය හා පරමාර්ථය වී තිබෙන්නේ සංවර්ධනය, ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සහ ජනතාවට සහන ලබා දීම යන අරමුණියි. මෙතෙක් කල් බලයේ සිටි ආණ්ඩු සිදු කෙළේ ජනප්‍රියත්වය සඳහා තීරණ ගැනීමයි. ඒත් ජනප්‍රිය තීරණ වලින් රටක් ගොඩ නඟන්න බැහැ. සැලැසුම් සහගත ඉදිරි වැඩපිළිවෙළක් තමයි රටක් ගොඩනැඟීමට අවශ්‍ය කරන මහා මාවත ගොඩනඟා ගැනීමට පුළුවන් කම තිබෙන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන්නේ. රට ගොඩනැඟීමට ඒ නිසා තමයි මෙවර අය වැය මඟින් රටේ සංවර්ධනයට අවශ්‍ය මාවත විවෘත කර දී තිබෙන්නේ.

ඉදිරි දස අවුරුද්ද තමයි රටේ සංවර්ධනයට අවශ්‍ය අඩිතාලම වැටෙන කාලය. මේ සුබදායි යුගය එළඹෙන තුරු ජනතාව ඉතාමත් ආශාවෙන් බලා සිටිනවා. මෙවර අයවැයේ මූලික පරමාර්ථ තමයි ඒ සඳහන් කෙළේ. මට විශ්වාසයි ජනාධිපතිතුමාට මේ රට ගොඩනැඟීමට පුළුවන් කියලා.

ඒ වගේ ම ජනතාව තුළත් මේ විශ්වාසය ඉතාමත් ඉහළින් තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා