පෙම් බස්

පෙම් බස්

වත් අලුත් අවුරුද්දක් සාමකාමීව නිමාවට පත්විය. අලුත් අවුරුද්දේ ජනතාව හැසුරුණු විදියටම අවුරුදුද අවසානය වන තෙක් හැසිරිය යුතු බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය. අවුරුද්දක් නිමාවට පත් වූ විට මාධ්‍යවේදීන් හැම විටම සොයන්නේ අලුත් අවුරුදු අනතුරු සංඛ්‍යාව පිළිබඳවයි. මෙදා අවුරුද්දේදී ද ඒ ගැන සොයා බැලූ මාධ්‍යවේදීන් අපට වාර්තාකර සිටියේ අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අනතුරු ඉතා අඩු බවය. මේ රටේ ජනතාව නිකරුණේ මුදල් පුච්චා නොගැනීමටත් / මුදල් පුච්චා ගන්නා අතරතුර අතපය තුවාල කර නොගැනීමටත් තීන්දු කර සිටින නිසා රතිඤ්ඤා උවදුරු අඩුවී තිබේ. එහෙත් පොලිස් වාර්තා සඳහන් කරන පරිදි වාහන අනතුරුවල කිසියම් වැඩිවීමක් පෙන්නුම් කරයි. එසේ වාහන අනතුරු වැඩිවීමට හේතුවී ඇත්තේ එක්කෝ නොසැලකිල්ලය. නැතිනම් බීමත් කමය. සමහරු වාහන එලවන්නේ ජංගම දුරකතන කනේ තියාගෙනය.

කවුරු මොනවා කීවත් ජංගම දුරකතනයෙන් කතා කරමින් කිසිවිටකත් අවධානයෙන් වාහන පැදවිය නොහැක. ඒ පිළිබඳව කරන ලද අධ්‍යයනය ප්‍රකාශ කරන්නේ කවුරු මොනවා කීවත් ජංගම දුරකතනය නිසා / වාහන පදවන අයගේ අවධානය වෙනස් වන බවය. සමහරු වාහන පදවන ගමන් තම පෙම්වතිය සමග ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩති. පෙම්බස් දොඩන මොහොතේ ඔහුගේ අවධානය සහ ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නේ ඉදිරියෙන් එන වාහනය නොව පෙම්වතියයි. ඒ නිසා වාහන පදවන අතරතුර මොනම හේතුවක් නිසාවත් ජංගම දුරකතන පාවිච්චි නොකළ යුතු බවට පොලීසිය දෙන අවවාද අකුරටම පිළිපැදිය යුතුය. බීමත්ව රිය පැදවීම දැන් බොහෝ දුරට අඩුවී තිබේ. එහෙත් දැනුදු හිතුවක්කාර ලෙස චණ්ඩීන් ලෙස බීමත්ව රිය පදවන අය නැත්තේ ද නොවේ.

තාවකාලික ආස්වාදය නිසා අන්තිමට සිදුවන්නේ වාහනය කුඩු පට්ටම් වීමය. තවත් කාගේ හෝ ජීවිතයක් නැතිවීමය. මේ සියලු දේ අමතක කරන විට මෙදා අවුරුද්දේ අපට ඉස්මතු වන්නේ රාජ්‍ය නායකයා රටටම දුන් ආදර්ශයයි. එතුමා අලුත් අවුරුදු කන්නට පෙර සාප්පු සවාරියක යෙදී බඩු ගන්නා අයගේ දුක සැප සොයා බැලීය. ඊට පසු තංගල්ලේ කාල්ටන් නිවෙසට ගොස් අවුරුදු චාරිත්‍ර අකුරට ඉටුකොට තමන්ගේ ඡන්ද දායකයන් කැඳවා ඔවුන්ට සංග්‍රහකොට අලුත් අවුරුදු තෑගි දෙන අන්දම අපි දුටුවෙමු. මුළු රටම ඒ අනුව ක්‍රියා කර තිබේ. අලුත් අවුරුද්දක් ගත කළ යුත්තේ ඒ ආකාරයෙන් බව මුළු රටම අවබෝධකරගෙන තිබේ. දේශපාලඥයන් අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ගේ ඡන්ද දායකයන් සමග සිටිය යුතු බව ජනාධිපතිතුමා ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. එය කරන්නට නොහැකිවූයේ විපක්ෂ නායකතුමාට පමණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා