විහාරස්ථාන දස දහසක ඉඩම් වගා කිරීමේ ජාතික වැඩසටහනක්

විහාරස්ථාන දස දහසක ඉඩම් වගා කිරීමේ ජාතික වැඩසටහනක්

රට පුරා පිහිටි විහාරස්ථාන දස දහසක හිස් ඉඩම් වගා කිරීමේ ජාතික වැඩසටහන අගමැති දි. මු. ජයරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් ලබන සෙනසුරාදා (23) ආරම්භ කැරෙන බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත් මහතා සඳහන් කරයි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක කැරෙන ‘දිවිනැගුම’ වැඩසටහනට සමගාමීව මේ වැඩසටහන පැවැත්වෙයි.

මීට අමතරව එම විහාරස්ථානවල දායක සභා සහ දහම් පාසල් සම්බන්ධ කරගෙන වගා වැඩසටහන් තරගයක් පැවැත්වීමටත්, තෝරා ගන්නා විහාරස්ථානවලට තිළිණ ප්‍රදානය කිරීමටත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මේ සඳහා පූර්ණ දායකත්වය දක්වයි. හොඳම වගා භූමිය තෝරා ගනු ලබන්නේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල මට්ටමෙන් වන අතර පවත්වනු ලබන විශේෂ උත්සව සභාවකදී ජයගත් විහාරස්ථානවලට තිළිණ පිරිනැමේ.

ප්‍රධාන උත්සවය ලබන සෙනසුරාදා (23) පෙරවරු 10.00 වාද්දුව පොතුපිටිය පූජාරාම විහාරස්ථානයෙන් ආරම්භ කිරීමට නියමිතය. මෙම අවස්ථාවට ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවණීය මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති දි. මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා