නැවත කැරැල්ලක් නිර්මාණය කිරීමට ජවිපෙ උත්සාහ දරනවා

නැවත කැරැල්ලක් නිර්මාණය කිරීමට ජවිපෙ උත්සාහ දරනවා

- ඇමැති ගාමිණි ලොකුගේ

අද ජන බලයක් නොමැතිව සිටින ජවිපෙ නැවත කැරැල්ලක් නිර්මාණය කර මේ රටේ ආණ්ඩු විරෝධී කැරැල්ලක් තිබෙන බව ජාත්‍යන්තරයට පෙන්වීමට උත්සාහ කරන බව කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණි ලොකුගේ මහතා පැවැසීය. එනිසා එදා ජවිපෙ සිදුකළ විනාශය තවම මතක තිබෙන අප කල්පනාකාරීව ප්‍රවේශමෙන් ඉදිරි කටයුතු කළයුතු බවද ගාමිණි ලොකුගේ මහතා අවධාරණය කෙළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ඊයේ (31) පෙරවරුවේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී ඇමැති ගාමිණි ලොකුගේ මහතා මෙසේද කීය.

රජය පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා යෝජිත විශ්‍රාම වැටුප් පනත යෝජනා කළ විට මේ නිසා අර්ථ සාධක අරමුදල සේවක භාරකාර අරමුදල අහිමිවන බව ප්‍රකාශ කරමින් ජවිපෙ වැඩපිළිවෙළක් දියත් කළා. මෙහි ප්‍රචාරක කටයුතු වැඩියෙන් සිදුකළේ නිදහස් වෙළඳ කලාපය තුළයි. අපි පසුගියදා නිදහස් වෙළෙඳ කලාපයට ගොස් එහි සේවකයින්ට මේ විශ්‍රාම වැටුප් පනත පිළිබඳව කරුණ පැහැදිලි කළා. එවිට මේ පනත සංශෝධනය කර නැවත සාකච්ඡාවකට එකඟ වුණා.  නමුත් ඉන්පසුව ජවිපෙ නිදහස් වෙළෙඳ කලාපයේ ආයතන තුළට ගොස් එහි සේවකයින්ට තර්ජනය කර පහරදී ආයතන තුළින් ඔවුන්ව පිටතට ගත්තා. එවිට මේ සිද්ධිය එම ආයතන ප්‍රධානීන් විසින් පොලිසියට දැනුම් දුන්නා.

ඒ අනුව පොලිසිය එහි ගිය විට ඔවුන් පොලිසියට පහර දුන්නා. පසුව එය කැරැල්ලක් බවට පත්වූවා. අද ජවිපෙ උත්සාහ කරන්නේ ආණ්ඩු විරෝධි කැරැල්ලක් මේ රටේ තිබෙන බව ජාත්‍යන්තරයට පෙන්වන්නයි. එනිසා අද අප ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අද ජවිපෙ ට නෝර්වේ රට විශාල වශයෙන් මුදල් ආධාර ලබාදෙනවා. නමුත් අද ජවිපෙට මේ රටේ කිසිදු ජන බලයක් නැහැ. අද ජවිපෙ කැරැල්ලක් ඬර්මාණය කිරීමට උත්සාහ කරන්නේ එනිසයි. ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුනිල් ජයමිණි, කේ. ගාමිණි ද සිල්වා, බොරලැස්ගමුව නගරාධිපති දේශබන්දු අරුණ පි‍්‍රයශාන්ත කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. කලුකපුආරච්චි යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා