රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න
රාජ්‍ය පරිපාලක හා ස්වදේශ කටයුතු අමාත්‍ය

යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකා රජය සාමය උදා කිරීමට ගත් උත්සාහයට දෙමළ ඩයස්පෝරාව බාධා කළ ආකාරය ගැන හා ඔවුන් ඡායා ඊලම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ උත්සාහය ගැන අදහස් දක්වන ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න ඇමැතිවරයා උතුරු නැඟෙනහිර ද ඇතුළුව දිවයිනේ ඇතිකර ඇති සංවර්ධන ක්‍රියාදාමයට සියලු දෙනාම සහය දැක්වීමේ අවශ්‍යතාවය මෙසේ ප්‍රකාශ කර සිටියේ ය.

* දරුස්මාන්ගේ වාර්තාව පදනම් කරගෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට රජය විරුද්ධ වූයේ ඇයි?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා දරුස්මාන් කමිටුව පත් කළේ ඔහුට ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ උපදෙස් ලබා ගැනීමටයි. ඒ කමිටු වාර්තාවේ උපදෙස්වලට වඩා ලංකාව පිළිබඳ සාවද්‍ය තොරතුරු ඇතුළත්ව තිබුණා. 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදී උවදුර නැති කරන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන අප කිසිසේත් බලාපොරොත්තු නොවූ ආකාරයේ කරුණු රාශියක් මේ වාර්තාවේ ඇතුළත්ව තිබෙනවා. මෙය ඒක පාක්ෂික වාර්තාවක්. යුද්ධයට වසර තිහක ඉතිහාසයක් තිබෙනවා. ඒ කාලය තුළදී එල්.ටී.ටී.ඊ. යේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා සෑම ජන වර්ගයකටම අයත් ජනතාව දස දහස් ගණනක් ඉතාමත් කුරිරු ආකාරයට මරණය වැළඳ ගත්තා. ත්‍රස්තවාදීන් රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, දේශපාලඥයන් , බුද්ධිමතුන් විශාල පිරිසක් ඝාතනය කළා. දේපළ, ගොඩනැගිලි විනාශ කළා. නමුත් මේ වාර්තාවෙන් ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකොට සකස් කර තිබෙන නිසා වාර්තාවේ ඒක පාක්ෂිකභාවය වඩාත් හොඳින් පැහැදිලි වෙනවා.

* මෙම වාර්තාව පිටුපස ජාත්‍යන්තරව විහිදී සිටින ද්‍රවිඩ ඩයස්පෝරාවේ සම්බන්ධයක් ඇතැයි ඔබ පවසන්නේ කුමන හේතුවක් මතද?

යුද්ධය නිමා කළ රජයටත්, ත්‍රිවිධ හමුදාවටත්, රටේ ජනාධිපතිතුමාටත් විරුද්ධ වන ආකාරයේ ප්‍රකාශ දරුස්මාන්ගේ වාර්තාවේ ඇතුළත්ව තිබෙන්නේ ද්‍රවිඩ ඩයස්පෝරාවේ බලපෑම නිසයි. ඔවුන් යුද්ධ අවසන් වීමෙන් පසු මේ රටේ ඇති වී ගෙන යන සාමයට විරුද්ධ වුණා. ද්‍රවිඩ ජනතාවත් , සිංහල ජනතාවත් රටේ එකට ජීවත් විය යුතුය යන මතයට එරෙහිව ඔවුන් පෙනී සිටියා. රටේ අභ්‍යන්තර සාමයට අහිතකර වන ආකාරයේ ප්‍රචාරයක් ඩයස්පෝරාව ලෝකය පුරාම ගෙන ගියා. ඊළඟට ඔවුන් උත්සාහ කළා විවිධ රාජ්‍යයන්ට බලපෑම් කිරීම මඟින් රජය ගෙනයන සංවර්ධන ගමන අඩාල කරන්න. ඒ වගේම ඔවුන්ගේ තවත් උත්සාහයක් වුණේ රට අස්ථාවරයි, සාමය උදාවෙලා නැහැ කියලා පෙන්වීමයි. ඒ සඳහා ඔවුන් විවිධ සිද්ධි නිර්මාණය කළා. නමුත් රජයට පුළුවන් කමක් ලැබුණා, ඒ සිද්ධිවල නිවැරැදි පදනම පෙන්වන්න. ඔවුන් මේ සෑම ආකාරයකින්ම උත්සාහ ගත්තේ සරණාගතයින් ලෙස බටහිර රටවල රැඳී සිටින්න, හේතුවක් නිර්මාණය කර ගැනීමටයි. මේ වාර්තාව සකස්ව ඇත්තේ ඔවුන්ගේ බලපෑම මතයි.

* යුද්ධය අවසන්වීමෙන් පසු විදේශගත දෙමළ ඩයස්පෝරාව ඡායා ඊළාම් රාජ්‍යයක් බිහිකිරීමට ගත් උත්සාහය හා වර්තමානයේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට දරණ උත්සාහය ඔබ පැහැදිලි කරන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකා රාජ්‍ය දෙකඩකොට වෙනම ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ උත්සාහය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමෙන් පසු විදේශගත දෙමළ ඩයස්පෝරාව දියිනෙන් බැහැරව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා. එයින් පෙනෙනවා ඔවුන් වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ උත්සාහය නවත්වා නැති බව. යුද්ධය අවසන් වීමෙන් පසු යටිතල පහසුකම් සම්පූර්ණ කර අධ්‍යාපනය, සංවර්ධනය යනාදී සමාජ සංවර්ධන වැඩ කටයුතු මඟින් උතුරු නැඟෙනහිර පළාත්වල ජීවත්වන ජනතාව නඟා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ඩයස්පෝරාව කිසිම ආකාරයක සහයක් දක්වා නැහැ.  ඔවුන් මේ රටේ ජීවත්වන දෙමළ ජනයා වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒ වැඩපිළිවෙළට සහය දිය යුතුයි. මේ සංවර්ධන වැඩපිළිවෙල නිසා ජනතාව එල්.ටී.ටී.ඊ.මතවාදයෙන් ඈත්වෙලා තිබෙනවා. ඔවුන්ට මේ රට අපේ රට කියන හැඟීමෙන් කටයුතු කරන්න පටන් ගෙන තිබෙනවා. රටේ සංවර්ධන ගමනට දෙමළ ජනතාව දායක කර ගැනීමට ඔවුන් විරුද්ධයි.

* ගතවූ දෙවසර තුළදී යුද්ධයෙන් අවතැන් වුවත් නැවත පදිංචි කිරීමේ කටයුතුවල හා ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වුවත් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙල ලබාගෙන ඇති ප්‍රගතිය කොහොමද?

යුද්ධය අවසන්වන විට සිටි තුන් ලක්ෂ අසූ දාහක් පමණ වන අවතැන්වූවන්ගෙන් මේ වනවිට ඉතිරිව සිටින්නේ එකොළොස්දාහක් පමණයි. අනිත් සියලු දෙනාම ගම්බිම් කරා ගොස් තිබෙනවා. ඒ අයට ක්‍රමානුකූලව හිස ඔසවන්න පුළුවන් තත්ත්වයක් රජයේ සහය ඇතිව අද ඇති කර තිබෙනවා. පුනරුත්ථාපන කඳවුරුවල සිටින තරුණ තරුණියන් එකොළොස් දාහක් අතරින් මේ වන විට හය දහසක් පුනරුත්ථාපනය කර තිබෙනවා. ඔවුන්ට යම් යම් වෘත්තීන් ගැන පුහුණුවක් ලබාදී තිබෙනවා.  වඩු වැඩ, මේසන් වැඩ සහ කාර්මික පුහුණුව ලබා දී තිබෙනවා. නැවත සමාජ ගත වූ අයට ව්‍යාපාර ඇරැඹීමට උදව්කර තිබෙනවා. ලෝකයේ වෙනත් කිසිම රටක් මේ තරම් කෙටි කාලයක් ඇතුළතදී පුනරුත්ථාපනය සඳහා යොමු කළ අය සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැහැ.

* යුද්ධය නිසා බිඳවැටී තිබුණු උතුරු නැඟෙනහිර පළාත්වල සිවිල් පරිපාලනය ගොඩනැඟීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර මොනවාද?

උතුරු නැඟෙනහිර ඇතුළුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ තුළත් පුරප්පාඩු තිබුණු පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරු පත් කර තිබෙනවා. උතුරු නැඟෙනහිර පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තිබුණු ගොඩනැගිලි යනාදී භෞතික අවශ්‍යතාවයන් සහ මානව සම්පත් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර තිබෙනවා. මෙවර බඳවාගත් පරිපාලන සහකාර නිලධාරීන්ගෙන් සෑහෙන කොටසක් එම පළාත්වලට අනුයුක්ත කළා. ඒ කාර්යාලවල තිබුණු සේවක හිඟයට මේ නිසා විසඳුමක් ලැබී තිබෙනවා.

* ද්වී භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දායක වන්නේ කොහොමද?

ජාතික සමගිය ඇති කිරීම සඳහා 2007 ජූලි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බැඳුණු සියලුම දෙනාට ද්වි භාෂා දැනුම අනිවාර්යකොට තිබෙනවා. ඒ අනුව සිංහල නිලධාරීන් දෙමළ භාෂාවත් , දෙමළ නිලධාරීන් සිංහල භාෂාවත් ඉගෙන ගත යුතුයි. යුද්දෙට කළින් රජයේ නිලධාරියෙකුට රටේ ඕනෑම තැනක සේවය කරන්න පුළුවන්කම තිබුණා. දකුණෙන් යන නිලධාරීන් යාපනේ, කන්කසන්තුරේ, මුලතිව්වල වැඩ කළා. ද්‍රවිඩ නිලධාරීන් කොළඹ සේවය කළා. එය ජාතික සමඟිය ඇතිවීමට බලපෑවා. භාෂා දෙකම දන්නා නිලධාරීන් පිරිසක් ඇති කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ඕනෑම තැනක සේවය කළ හැකි පිරිසක් බිහි කිරීමටයි

* රාජ්‍ය පරිපාලනයට හා කළමණාකරණ ක්ෂේත්‍රයේ විභාග පැවැත්වීම පසුගිය වසර කිහිපය තුළ සිදු කෙරුණේ නැහැ. එම විභාග නැවැත පැවැත්වීමට අදහස් කරනවාද?

ඔබ සඳහන් කරන පරිදි වසර හතරක් පමණ කාලයක් යම් යම් විභාග පවත්වා නැහැ. ඒකට හේතුව කළින් තිබුණු විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීම පමා වීමයි. චන් ඒ තත්ත්වයට පිළියම් යොදා තිබෙනවා. කළින් තිබුණු විභාගයේ ප්‍රතිඵල මත මෑතකදී කළමණාකරණ සහකරුවන් පිරිසක් බඳවා ගත්තා. ඒ වගේම පරිපාලන නිලධාරීන්ගේ ලොකු හිඟයක් තිබුණා. ඒ සඳහාත් නිලධාරීන් පිරිසක් බඳවා ගත්තා. තවත් පිරිසක් විභාගයක් පවත්වල, බඳවා ගන්නවා.

* සමෘද්ධි නිලධාරීන් ග්‍රාම නිලධාරීන් හැටියට බඳවා ගැනීමට තීරණය කිරීමෙන් නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමය තුළ ඔබ ඇති කළ විධිමත්භාවයට බලපෑමක් වනවා නේද?

ග්‍රාම නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා. ඒ වගේම සමෘද්ධි නිලධාරීන්ගේ අතිරික්තයක් තිබෙනවා.  ඒ නිසා අපි කල්පනා කළා අලුතින් නිලධාරීන් බඳවා ගන්නවාට වැඩිය සමෘද්ධි නිලධාරීන්ගෙන් එම හිඟය පියවා ගැනීමට. මේක දේශපාලන පදනමකින් කරන දෙයක් නොවෙයි. ග්‍රාම නිලධාරී තනතුරුවලට සමෘද්ධි නිලධාරීන් තෝරා ගත්තේ විභාගයක් පවත්වලයි. රජයේ සේවකයින්ට දේශපාලනය කරන්න බැහැ. ඔවුන් සියලු දෙනාටම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සේවය කිරීමට බැඳී සිටිනවා. සමෘද්ධි නිලධාරීන්ටත් එය අදාළයි. ඒ නිසා රාජ්‍ය සේවයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා