සිංහල - දෙමළ මිත්‍රත්වය රැගෙන යාල්දේවී උතුරට

සිංහල - දෙමළ මිත්‍රත්වය රැගෙන යාල්දේවී උතුරට

මානව හිමිකම් ව්‍යවස්ථාවට අඩංගු කිරීමෙන් පමණක් ඒවා සුරැකෙන්නේ නැත. මිනිසුන්ට නිදහසේ හුස්ම ගෙන ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිතකොට දිය යුතුය. මානව හිමිකම් ගැන කතා කරන සමහර දේශපාලනඥයෝ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන පක්ෂය තමන් නියෝජනය කරන පක්ෂය බවට කයිවාරු ගැසූහ. ප්‍රභාකරන් කීවේ ද තමන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බවයි. එසේ එකම නියෝජිතයා වී කළ කී හරිය යළි යළිත් සිහිපත් කිරීමෙන් එය අසන අයගේ ලේ කෝප වීම නවතාලිය නොහැකිය. දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ අර්. සම්බන්ධන් ඇතුළු නඩය දෙමළ ජනතාව කෙසේ වූවත් ප්‍රභාකරන්ගේ දෙපා ඉදිරියේ වැඳ නොවැටුණා පමණි.

ප්‍රභාකරන් වෙනුවෙන් කළ හැකි හැම බාල වැඩක්ම කළේ ජීවත් වීම සඳහා මිස දෙමළ ජනතාව ජීවත් කරවීමට නොවේ. මානව හිමිකම් සහතික බෙල්ලේ එල්ලාගෙන නැතත් වත්මන් රාජ්‍ය නායකයා සහ ආණ්ඩුව දැන් දෙමළ ජනතාවගේ මානව අයිතීන් ආරක්ෂා කර දී තිබේ. ඒ ගැන දැක ගන්නට උතුරට හා නැඟෙනහිරට යා යුතුය. දමළ දරුවෝ යුද බියෙන් ඈත් වී සිටිති. ඔවුහු පාසල් යති. ගොවියෝ වගාවට පූර්ණ කාලය යොදවති. ධීවරයෝ සීමා මායිම් ඇතිව හෝ වේලා නියමයක් නොමැතිව මුහුදු යති. කාපට් හා කොන්ක්‍රීට් පාරවල බස් දුවන්නේ අතරමගදී පුපුරන්නට නොවේ. දෙමළ හා සිංහල ජනතාව තවත් අයිතියක් සති අන්තයේ ලබාගත්තේය. ඒ යාල් දේවි දුම්රිය ඕමන්තේ දක්වා ධාවනය කරවීමෙන් පසුවය.

ඊලාම් රාජ්‍යයට අවශ්‍ය මහා මන්දිර තනන්නට මිනී මරණ සිය සාමාජිකයන් වෙනුවෙන් ප්‍රභාකරන් යාල් දේවී දුම්රිය මාර්ගයේ රේල් පීලි ගැලෙව්වේ බංකර් හදන්නටය. කෝච්චි පෙට්ටි මගීන් සමග පුපුරුවා හැරියේ මානව අයිතීන් රකින්නටය. දැන් යාල් දේවී දුම්රිය ඕමන්තේට යන්නේය. යාල් දේවී මැදුරු තුළින් ඈතට ඇසෙන්නේ සිංහල හා දෙමළ කතා බහ මිශ්‍රවය. මානව අයිතීන් යනු නිදහසේ ගමන් බිමන් යාමට ඇති අයිතියයි. තව වසර දෙකකින් අනාගත පරම්පරාව උතුරට යන්නේ යාල්දේවී සමගය. ඒ ගමන කඩාකප්පල් කරන්නට උතුරේ ත්‍රස්තවාදීන් නොව දැන් කුමන්ත්‍රණය කරන්නේ එතෙර සිටින ත්‍රස්තවාදීන්ය. එයට ද එතෙර රටවල් කිසිසේත් ඉඩ නොදෙන බව උතුරේ ජනතාවට විශ්වාසය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා