ඥාතියා හා මිත්‍රයා

ඥාතියා හා මිත්‍රයා

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් බලපාන ප්‍රධාන රාජ්‍යය ඉන්දියාව මිස ඇමෙරිකාව නොවේ. අපගේ අසල්වැසියා ද, හිතවතා ද, ඥාතියා ද ඉන්දියාව ම වේ. අප ඉන්දියාවට අභියෝගයක් නොවිය යුතු අතර ; ඉන්දියාව අපට අභියෝගයක් නොවිය යුතුය. දෙරට අතර පැවැතිය යුත්තේ අවබෝධාත්මක - රාජ්‍යතාන්ත්‍රික හා මිත්‍රශීලී සම්බන්ධතාවකි. මීට පැහැදිලි නිදසුන් තුනක් තිබේ. එක කච්චතිව් දූපත පිළිබඳ ගැටලුව අපට වාසිදායක ලෙස විසඳාගැනීම ය. දෙක ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අපට වාසිදායක ලෙස විසඳාගැනීම ය. තුන කොටි ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කිරීමට ලැබීම ය.

ඉන්දියාව සමඟ පැවැති හොඳ හිත හා අවබෝධය පලුදු වූයේ නම් ; ඉහත සඳහන් එක ජයග්‍රහණයක් හෝ ලද නො හැකි බව ; දේශපාලනය පිළිබඳ යම් වැටහීමක් ඇති අය තේරුම් ගනිති. දෙරට අතර සම්බන්ධයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත එන්නේ සියවස් ගණනාවකට පෙර සිට ය. ඉන්දියාවේ බින්දුසාර රජුගේ පුත්‍රයා වූ අශෝක රජු හා ශ්‍රී ලංකාවේ පණ්ඩුකාභය රජුගේ මුනුපුරු වූ දේවානම් පියතිස්ස රජුගේ මිත්‍ර සන්ථවය ඊට නිදසුන් ලෙස ගත හැකි හොඳ ම සාක්ෂ්‍යය වේ. ඉංගී‍්‍රසි ආධිපත්‍යයෙන් පසු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධාත්මක මිත්‍ර සම්බන්ධතාවකට පාර කැපූ අපේ නායකයෝ තිදෙනෙක් සිටිති. එනම්; එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ යන තිදෙනා ය.

උඩරට තේ හා කෝපි වැවීම සඳහා ඉංගී‍්‍රසි ආණ්ඩුව ලාභ ශ්‍රමය සොයා ගත්තේ ඉන්දියාවෙන් ය. පසුකලෙක එය දේශපාලන ගැටලුවක් බවට පරිවර්තනය විය. ඩොනමෝර් හා සොල්බරි කොමිසම්වල ද මේ ප්‍රශ්නය සාකච්ඡා වී ඇත. නිදහසට පෙර මෙන් ම නිදහසින් පසුව ද ඉන්දීය කම්කරුවන්ගේ පුරවැසිභාවය ප්‍රශ්න කැරිණි. ශ්‍රීමත් බාරොන් ජයතිලක , ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල යන නායකයන් වරින් වර ඉන්දියාව සමඟ සාකච්ඡා කර තිබේ. එහෙත් සියල්ල අසාර්ථක විය. මේ ගැටලුවට සාර්ථක විසැඳුමක් ලබා දුන් නායිකාව වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යි.

1964 දී අස්සන් තබන ලද සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම ඉහත ගැටලුවට සාර්ථක විසැඳුමක් ලබා දුන්නේ ය. එය මෙරට දේශපාලනයේ ඓතිහාසික අවස්ථාවකි. එවකට ඉන්දියාවේ අගමැති ව සිටියේ ලාල් බහදූර් ශාස්ත්‍රී මහතා ය. නේරු පවුල සමඟ වූ බණ්ඩාරනායක මිත්‍ර සබඳතා මත ලාල් බහදූර් මහතා හා මැතිනිය අතර අවබෝධාත්මක සම්බන්ධතාව ද පුළුල් වී තිබිණි. වතු කම්කරුවන්ගෙන් ලක්ෂ තුනකට පුරවැසිභාවය ලබාදුන් අතර පන්ලක්ෂ විසිපන් දහසකට ඉන්දීය පුරවැසිභාවය ලබා දුනි. මේ ගිවිසුම කඩදාසිවලට හා අස්සන්වලට සීමා නොවූ අතර ක්‍රියාත්මක හෙවත් සක්‍රිය ගිවිසුමක් බවට පත්විය.

මැතිනියගේ පාලන සමයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව ක්‍රියා කළෝ ඉතා සමීප මිතුරෝ ලෙස ය. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස ය. එදා ඉන්දියාවේ දෙමළ මන්ත්‍රීවරුන් මීට විශාල විරෝධයක් දක්වා තිබේ. එහෙත් ඉන්දීය මහා ආණ්ඩුව එය සැලැකිල්ලට ගත්තේ නැත. කොටි සංවිධානය පරාජය කිරීමේ දී ද තමිල්නාඩුවෙන් ප්‍රබල විරෝධයක් මතු විණි. එහෙත් මන්මෝහන් සිං ආණ්ඩුව හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර පැවැති අවබෝධාත්මක සම්බන්ධය නිසා තමිල්නාඩුවේ විරෝධතා යට ගියේ ය. දැන් නැවත තමිල්නාඩු විරෝධයක් නැඟෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ ජයලලිතා මහත්මියගේ සම්ප්‍රාප්තියත් සමඟ ය. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලවේග ඉතා පරෙස්සමෙන් කටයුතු කළ යුතු ය.

ඉන්දියාව අමතක කොට ඇමෙරිකාවට පක්ෂපාති වීමේ අහිතකර අත්දැකීම් මෙරට ජනයාගේ හදවතින් ගිලිහී ගොස් නැත. 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා ඉන්දියාව ශත පහකට ගණන් ගත්තේ නැත. ඔහු ක්‍රියා කළේ මේ කලාපය හා ඉන්දියාව අමතක කරමින් ය. ඇමෙරිකාවේ රේඩියෝ විකාශනයකට (ඇමෙරිකන් හඬ) ශ්‍රී ලංකාවේ දොර හැරිණි. සිංගප්පූරු සමාගමක් මගින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඇමෙරිකාවට පවරා දීමේ උත්සාහයක් ද පැවැතිණි. රුසියාව සමඟ දිගුකාලීන සබඳතා ඇති ඉන්දියාවට මේ සියල්ල ප්‍රශ්නයක් විය. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට ඉන්දියාව උපකාර කරන්නේ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පාලන සමයේ සිට ය.

1975 ජූලි 26 වන දා ටී.එන්.ටී. සාමාජිකයන් විසින් යාපනයේ පුරපති දොරේ අප්පා මහතා ඝාතනය කරන ලදි. ඉනික්බිති සැකකරුවෝ ඉන්දියාවට පලා ගියහ. එදා දෙරට අතර පැවැති සම්බන්ධතාව කෙතරම් යහපත් ද යත්; දොරේ අප්පා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දෙන්නට ඉන්දීය ආණ්ඩුව ක්‍රියා කළේ ය. කුට්ටමනී ශ්‍රී ලංකාවේදී සිරගත වන්නේ ඒ අයුරින් ය. එහෙත් 1977 න් පසු දෙරටේ සබඳතා මුළුමනින් ම බිඳ වැටිණි. ත්‍රස්තවාදයේ වර්ධනයත්, ඉන්දියන් සාම සාධක හමුදාවේ කඩා වැදීමත්, 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් එහි අතුරුඵල ලෙස පෙන්වා දිය හැකි ය.

ඉන්දියාවට අභියෝග කරමින් ශ්‍රී ලංකාවට යා හැකි ගමනක් නැත. එහි අර්ථය වනුයේ ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වීම හෝ ඉන්දියාවට භය පක්ෂපාත වීම හෝ නොවේ. එහි නියම අර්ථය වනුයේ සහයෝගයෙන් කලාපීය ගැටලු නිරාකරණය කර ගැනීම ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙරටේ මිත්‍රත්වයට හා දේශපාලන සහයෝගයට අවශ්‍ය පදනම ඇති කර තිබේ. ඒ පදනම මත ක්‍රියා කිරීමෙන් ගැටලු නිරාකරණය කරගත හැකි ය. ඒ අතර දෙරටේ සහයෝගය හා මිත්‍රත්වය බිඳ දමන කුමන්ත්‍රණ කෙරෙහි අවධානයෙන් සිටින්නට ද අපට සිදු වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා