තහනම් උත්තේජන චෝදනා එල්ල වූ රගර් ක්‍රීඩකයන් තිදෙනාගේ පරීක්ෂණය අද

තහනම් උත්තේජන චෝදනා එල්ල වූ රගර් ක්‍රීඩකයන් තිදෙනාගේ පරීක්ෂණය අද

ශ්‍රී ලංකාවේදී නිමාවූ ආසියානු රටවල් පහේ රගර් තරගාවලියේදී තහනම් උත්තේජන භාවිතා කළ බවට චෝදනා එල්ල වූ රගර් ක්‍රීඩකයන් තිදෙනාට එරෙහි පරීක්ෂණය අද පෙරවරු 11.00 ට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේදී සිදු කෙරේ. ශ්‍රී ලංකා රගර් පිලේ එරංග ස්වර්ණතිලක, කීත් ගුªරුසිංහ හා සාලිය කුමාර තහනම් උත්තේජන චෝදනාවට ලක්වූ ක්‍රීඩකයෝ තිදෙනා වෙති. ආසියානු රටවල් පහේ රගර් තරගාවලියේ තරග 3 ක් ශ්‍රී ලංකාවේදී පැවැති අතර එම තරගවලින් අනතුරුව ක්‍රීඩකයන්ගෙන් ලබාගත් මුත්‍රා සාම්පලවල ‘මීතයිල් හෙක්සානේමයින්’ (Methyl Hexanemine)  තහනම් ඖෂධ සංඝටකය අඩංගු බවට වෛද්‍ය වාර්තාවකින් තහවුරු වී ඇත. මේ අනුව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී හා ජාතික තහනම් උත්තේජන කමිටු සභාපති විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා විසින් ත්‍රි පුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කළේය.

එම කමිටුවට ශල්‍යවෛද්‍ය විශේෂඥ මයියා ගුණසේකර, කායික වෛද්‍ය විශේෂඥ අර්ජුන ද සිල්වා යන මහත්වරු හා ඖෂධ පිළිබඳ මහාචාරිනී රෝහිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නම් කර ඇත.

අද පැවැත්වෙන පරීක්ෂණයේදී රගර් ක්‍රීඩකයන් තිදෙනාගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කෙරේ.

ඔවුන්ගේ ‘ඒ’ මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජන අඩංගු බවට නගා ඇති චෝදනාව ප්‍රතික්ෂේප කළහොත් ‘බී’ මුත්‍රා සාම්පල පරීක්ෂණය සඳහා යොමු කෙරේ. කෙසේ වුවද මේ ක්‍රීඩකයන් තිදෙනා චෝදනාවට අදාළ ‘බී’ මුත්‍රා සාම්පල පරීක්ෂාව ඉල්ලා නොසිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආසියානු රටවල් පහේ රගර් සූරතාවලියේදී තහනම් උත්තේජන පරීක්ෂාව ක්‍රීඩා වෛද්‍ය ඒකකය මගින් සිදු කළ අතර මලයාසියාවේ පිහිටි රසායනාගාරයකදී පරීක්ෂණ වාර්තාව නිකුත් කර ඇත.

මෙම පරීක්ෂණ ජාත්‍යන්තර රගර් සම්මේලනයේ ඉල්ලීමක් අනුව සිදු කර තිබේ.

ක්‍රීඩකයන් තිදෙනාට එරෙහිව වෙනම පරීක්ෂණයක් ජාත්‍යන්තර රගර් සම්මේලනය මගින් ද සිදු කිරීමට නියමිතය.

මේ අතර බර ඉසිලීමේ සූර චින්තන ගීතාල් විදානගේට එරෙහිව නැගුණු තහනම් උත්තේජන චෝදනාවට එරෙහි ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කටයුතු නිමා වී ඇත.

එම පරීක්ෂණ වාර්තා ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයට යවා ඇති අතර එම සම්මේලනය ක්‍රීඩකයාට එරෙහිව විනය පියවරක් ගැනීම ඉදිරියේදී තීරණය කරනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා