‘න්‍යෂ්ටික බලවතුන් අවිහරණයට සූදානමක් නෑ’

‘න්‍යෂ්ටික බලවතුන් අවිහරණයට සූදානමක් නෑ’

ලොවපුරා න්‍යෂ්ටික අවි 5000 ක ට වඩා පිහිටුවා ඇති බවත් න්‍යෂ්ටික බලවතුන් නව අවි පද්ධති සඳහා තව තවත් ආයෝජනය කෙරෙමින් පවත්නා බවත් අනාවරණය කරන වාර්තාවක් පිට වීමත් සමඟ නුදුරේදී අර්ථවත් අවිහරණයක් සිදුවිය නොහැකි බව පෙන්වා දී තිබේ.

ස්ටොක්හෝම් අන්තර්ජාතික සාම පර්යේෂණ ආයතනය පළකළ මෙම වාර්තාවට අනුව ලොවපුරා පවත්නා 5000 කට අධික න්‍යෂ්ටික අවි භාවිතයට ගැනීමට සූදානම් කර ඇති අතර ඉන් 2000 ක් පමණ දැඩි සීරුවකින් තබා ඇත.

බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඊශ්‍රායලය, පකිස්තානය, රුසියාව හා එක්සත්ජනපදය යන ලෝක න්‍යෂ්ටික බලවතුන් අට දෙනා සතුව පුපුරන ද්‍රව්‍ය අඩංගු යුදහිස් 20500 කට වඩා පවතින බව ද එහි සඳහන්ය.

තවද 2011 වන විට රුසියාව සතුව න්‍යෂ්ටික යුදහිස් 11000 ක් ද එක්සත් ජනපදය සතුව 8500 ක්ද පවතින බවත් ඉන් පිළිවෙළින් 2427 ක් හා 2150 ක් භාවිතයට සූදානම් කර තිබෙන බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.

මේ දෙරටම ක්‍රමෝපායික යුද අවි අඩුකිරීම සඳහා වන ගිවිසුමකට අස්සන් කර තිබේ. මේ අනුව එක් රටකට තබාගත හැක්කේ යුදහිස් 1500 ක් පමණි. න්‍යෂ්ටික අවි බලවතුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ වැඩිදියුණු කිරීම හෝ දිගින් දිගටම නඩත්තු කිරීම කරන බැවින් සාර්ථක අවිහරණයක් නුදුරේදී සිදුවිය නොහැකි බව එම වාර්තාවේ සඳහන්ය.

තවද 1968 න්‍යෂ්ටික අවි හරණ ගිවිසුමෙන් න්‍යෂ්ටික රාජ්‍යයන් ලෙස නීත්‍යානුකූලව පිළිගෙන ඇති බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, රුසියාව හා එක්සත්ජනපදය නව න්‍යෂ්ටික අවි පද්ධති නිපදවීමේ උත්සුකව සිටීම හෝ එම අභිලාෂයෙන් පසුවන බව හෝ ප්‍රකාශ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා