ආගමික උත්සවවලදී ඔළුබක්කො නැටුවා හොඳටම ඇති

ආගමික උත්සවවලදී ඔළුබක්කො නැටුවා හොඳටම ඇති

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති  මහාචාර්ය  බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

* 2600 සම්බුද්ධත්ව ජයන්තියත් සමඟ පොසොන් උත්සව සමය උදා වී තිබෙනවා. මෙම පොසොන් සමයේ වැදගත්කම සහ එහි අර්ථය පිළිබඳ ඔබ වහන්සේට වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුකළ හැකි ද?

පොසොන් සමය අපටත් රටටත් අතිශය වැදගත් ආගමික සහ ජාතික උත්සවයක් විදිහට හඳුන්වාදිය හැකියි. අපට බෞද්ධයන් විදිහට කෙතරම් දුරට වෙසක් උත්සවය වැදගත් වෙනවාද ඒ තරමට ම අපට පොසොන් උත්සවයත් ඒ තරමට ම වැදගත්. අප රටට බුදුදහම ලැබුණේ බුදු දහමේ අර්ථය ලැබුණේ එහි අධ්‍යාත්මිත සුවය ලැබුණේ මෙවැනි ම වූ පොසොන් පොහොය සමයකදීයි. මේ සමයේ දී බුදු දහමේ වැඩිවර්ධනය එහි අර්ථය ජනතාව අතරට රැගෙන යාහැකි ඒ සඳහා උනන්දු විය යුතු සමයක් විදිහටයි.

මෙහිදී අප වැඩි අවධානය යොමුකළ යුත්තේ අධ්‍යාත්මික සහ ප්‍රතිපත්ති පූජා පිළිබඳයි. ආමිස පූජාවන් පිළිබඳ අවධානය යොමුකළ යුත්තේ ඉන් අනතුරුවයි. බෞද්ධයන් විදිහට මේ පොසොන් සමයේ දී අප අවධානය යොමුකළ යුත්තේ මේ ආකාරයටයි.

* වෙසක් සමය මෙන්ම පොසොන් සමයත් අද ඇතැමුන්ට විනෝදය සම්පාදනය කරන උත්සවයක් බවට පත්ව තිබෙනවා. බොදු අනුනාහිමිවහන්සේ කෙනකු ලෙස ඔබ වහන්සේ මේ තත්ත්වය පිළිබඳ දක්වන අදහස කෙබඳු ද?

ඔබ කියූ කාරණයේ යම් ඇත්තක් තිබෙනවා. මෙවැනි වැදගත් ජාතික හා ආගමික උත්සවයන් විනෝද සමයක් හෝ විනෝද වීමට අවස්ථාවක් ලෙස හඳුන්වාදීමට කිසිවකු උත්සාහ කරනවානම් එය සුදුසු දෙයක් විදිහට හඳුන්වන්න බැහැ. මෙවැනි ජාතික උත්සවයකදී ආගමික වශයෙන් වඩාත් වැදගත්වන උත්සවයක දී අප යොමුවිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳවයි. ආමිස පූජා වුණත් යම් ප්‍රමිතියක් ඇතිව ආගමික අරමුණුවලින් බැහැර නොවී කළ යුතුයි.

මම උදාහරණයක් කියන්නම් අප පසු ගිය වෙසක් සමයේ ලක්ෂ ගණනින් තොරණ බලන්න පහන් කූඩු බලන්න ගියා. ඒත් අප මෙයින් වෙසක් අර්ථය, තොරණේ අර්ථය පිළිබඳ අවධානය යොමුකළේ කීයෙන් කී දෙනා ද? ඇත්තෙන් ම එය ඉතාමත් සීමිත ප්‍රමාණයක් වෙන්න පුළුවන්. පොසොන් උළෙලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අනුරාධපුරයේ වන්දනාවේ යනවා. මෙය ඉතාමත් හොඳ දෙයක්. යහපත් දෙයක්. මා මේ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් අප නිසි අරමුණු ඇති ව බෞද්ධ අරමුණු ප්‍රතිපත්ති සිතෙහි තබාගෙන මේ ගමන ගියොත් තමයි වඩාත් වැදගත් වන්නේ. පොසොන් උත්සවය කියන්නේ, වෙසක් උත්සවය කියන්නේ අපට ජාතික හා ආගමික වශයෙන් ඉතාමත් වැදගත් උත්සවයක්. ඒ නිසා මේ විදිහේ ජාතික ආගමික උත්සවයන් විනෝද උත්සව වශයෙන් යොදා ගැනීම වැළැක්වීමට අප කටයුතු කළ යුතුයි.

අප ඒ විදිහට කටයුතු කිරීමෙන් මේ ආගමික උත්සවවල ගෞරවය හා වැදගත්කම රැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ උත්සවයන් ඇසුරේ සිදු කරන ඔළුබක්කන් නැටවීම, විකාර රූපී නැටුම් සංදර්ශන දැන්වත් නවතා දැමිය යුතුයි. එමඟින් අපට බෞද්ධත්වයේ සුවිශේෂිත්වය හා අගය මුළු රටටම පෙන්වා දිය හැකියි. එදා අනුබුදු මිහිඳු හිමියන් මෙරටට හඳුන්වා දුන්නේත් මෙවන් වූ චාම් වූත් සරළ වූත් ප්‍රතිපත්ති පූජාවට බරවූත් බෞද්ධ සම්ප්‍රදායක් හා ශිෂ්ඨසම්පන්න වූ සම්ප්‍රදායකුයි.

* බුදු දහමේ චිර පැවැත්මට දායකත්වය ලබාදිය යුත්තේ පැවිදි සමාජය විතරද ගිහි සමාජයට මේ පිළිබඳ වගකීමක් නැති ද?

බොහෝ දෙනකු සිතන්නේ ගිහි සමාජයට බුදු දහම ගැන වගකීමක් නැහැ. එහි වගකීම සම්පූර්ණයෙන් ම ඇත්තේ පැවිදි පක්ෂයට පමණයි කියා. ඒත් එහි කිසිදු යථාර්ථයක් නැහැ. පැවිදි පක්ෂය විදිහට අපගේ හිමිවරුනට පුළුවන්කම තිබෙන්නේ බුදුදහම පිළිබඳ වූ මාර්ගයන් පෙන්වා දීම ආදි කරුණු සහ අවශ්‍ය උපදෙස් හා ආගමික පාර්ශවයෙන් සිදුවිය යුතු වගකීම් ඉටු කරනවා. එහෙත් ගිහි බෞද්ධයනට ඇති වගකීම් මෙතැනින් ඉවරයැයි සිතීම නුසුදුසුයි. ගිහියාටත් බුදු දහම විෂයෙහි විශාල වගකීමක් තිබෙනවා. හිමිවරුනට පමණක් වගකීම් පැවරීම කිසිසේත් සුදුසු දෙයක් යැයි සිතීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. ගිහියනුත් තම ආගමික විෂයෙහි ඇති වගකීම මනා ලෙස වටහාගත යුතුයි. ඒ අනුව කටයුතු කළ යුතුයි.

* පොසොන් උත්සවය ධර්ම දූත මෙහෙවර දහම් ප්‍රචාරය වැනි දේ මූලික කරගත් උත්සවයක්. මීට වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය අතීතයේ දී මිහිඳු මාහිමියෝ

මෙරටට වැඩියේ ධර්ම දූත මෙහෙවරකට එහෙම නැතිනම් දහම තුළ මෙරට ජනතාව පිහිට වීමට. මේ තත්ත්වය තුළ වත්මන් ජනමාධ්‍යටත් දහම් ප්‍රචාරය වැනි දේ පිළිබඳ විශාල වගකීමක් තිබෙනවා නේද. ඔවුන් කෙතරම්දුරට ඔවුන්ගේ වගකීම් ඉටු කරනවාද?

ඔබ කියූ විදිහට ම වර්තමානයේ දී ජනමාධ්‍ය විශාල වගකීමක් හා එම වගකීම ඉටු කිරීමට විශාල ශක්තියක් පැවරී තිබෙනවා. ඒත් මේ තත්ත්වය මෙරට මාධ්‍ය විසින් කෙතරම් දුරට තේරුම්ගෙන තිබෙනවාද යන්න විමසා බැලිය යුතුයි.

අද බොහෝ මාධ්‍ය වැඩි අවධානයක් යොමුකර ඇත්තේ විනෝදය සම්පාදනය කරන ජනතාවට විනෝදය සපයන ආයතන විදිහටයි. එහෙත් ජනමාධ්‍යයක් කියූ විට එම මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.

ආගමික සහජීවනය අවබෝධය යන දේවල් ඉස්මතුවන විදිහටත් කටයුතු කළ යුතුයි. මෙහි දී විද්්‍යුත් මාධ්‍යවලට විශාල වගකීමක් හා ශක්තියක් තිබෙනවා දහම් ප්‍රචාරණයට මාධ්‍ය භාවිතා කරන්නට. දැනුත් ජනමාධ්‍යවලින් මෙවැනි සද්කාර්යයන් වෙනවා මා එය එහෙම නොවෙයි කියලා කියන්නේ නැහැ. ඒත් ප්‍රමාණවත් භාවයේ මදකමක් තමයි තිබෙන්නේ. මෙතැනදි ජනමාධ්‍ය වෙත ලැබී ඇති ශක්තිය යොදා ගත යුතුයි. යහපත් දේ ධාර්මික දේ සමාජයට ලබාදීමට උත්සුක විය යුතුයි. එමඟින් තමයි ජනමාධ්‍ය වගකීම සමාජයට නිසි ලෙස ඉටු වුණා කියලා පිළිගැනීමට පුළුවන්කම ලැබෙනවා.

මම කියන්නේ නැහැ මාධ්‍යවල සම්පූර්ණ කාලය සම්පූර්ණ ඉඩ ප්‍රමාණය ධර්ම ප්‍රචාරයට පමණක් දහම් වැඩසටහන්වලට පමණක් අවධානය යොමුකළ යුතුයි කියා මා කියන්නේ නැහැ ඒත් තමන්ගේ වගකීම හා යුතුකම මාධ්‍ය තේරුම් ගත යුතුයි.

* යුද්ධයෙන් පසු රට තුළ සහජීවනය සමගිය පිළිබඳව කතිකාවතක් ඇති වී තිබෙනවා වියත් හිමිනමක් ලෙස ඔබවහන්සේ මේ තත්ත්වය පිළිබඳව දරන්නේ මොන විදිහේ මතයක් ද?

බුදු දහමේ මූලික හරය සහ අර්ථය ලෙස හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නෙත් මෛත්‍රීය, සහජීවනය වැනි කරුණුයි. ඒ නිසා අපට ජාතියක් විදිහට රටක් විදිහට මෛත්‍රීය සහජීවනය, ආගමික නැඹුරුව අමුතුවෙන් හඳුන්වා දිය යුතු දෙයක් නොවෙයි. අද සිදුකළ යුත්තේ එම පැරැණි සම්ප්‍රදායන් යළි මතු කිරීමත් වැඩි වර්ධනය කිරීමත් පමණයි.

යුද්ධයෙන් තොර සාමකාමී වටපිටාවක් තුළ රට දියුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය මංපෙත් විවෘත කිරීමටත් පුළුවන්කම ලැබී තිබෙනවා. එය මූලික සාධක විදිහට තමයි මෛත්‍රීය සහ සහජීවනය යන කරුණු සලකන්න පුළුවන්. මෛත්‍රීය හා සහජීවනය මූලික කර ගත් සමාජයක් තුළ දහම දැහැමි බව ඉතාමත් ඉහළින් ආරක්ෂා වෙනවා.

* සම්බුද්ධත්ව ජයන්තිය පසුගිය වෙසක් සමයේ දී මහා ඉහළින් සමරණු ලැබුවා. මේ සම්බුද්ධත්ව ජයන්තිය ආශ්‍රිතව දහම් ප්‍රබෝධයක් හා ආගමික උනන්දුවක් ඇති වූවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොන වගේද?

මෙවැනි උත්සව අවස්ථාවක් ආශ්‍රිතව ඔබ කියූ ආකාරයේ ආගමික උනන්දුවක් ඇති වෙනවා. එය ස්වභාවික තත්ත්වයක්. අප මේ විදියේ උනන්දුවීම් දීර්ඝ ලෙස ආරක්ෂාකර ගත යුතුයි. එමඟින් ජාතික ආගමික පුනරුදයක් ඇති කර ගත හැකියි.

* ආගමිකතත්වය සහ දේශපාලනය අතර සබඳතාවයක් ඇති බවට වර්තමානයේදී අපට දැක ගැනීමට පුළුවන්කම තිබෙනවා. මෙවැනි සබඳතාවයක් පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොන විදිහට ද ඉදිරිපත් කළ හැක්කේ?

දේශපාලනය සහ ආගමිකත්වය අතර සබඳතා තිබිය යුතු නැහැ. ඒත් ආගමික දියුණුවට දේශපාලනයේ සහයෝගය ලබා ගැනීම වරදක් නැහැ. ඒත් දේශපාලනය කරන අය ආගමික කරුණු හරහා ඉදිරියට යාමට කවුරුන් හෝ උත්සාහ කරනවානම් එය සුදුසු දෙයක් නොවෙයි. මේ පිළිබඳව මගේ මතය එයයි.

දේශපාලනය සහ ආගමිකත්වය අතර තිබිය යුත්තේ මේ විදියේ සබඳතාවයක්. ජාතික වශයෙන් සියල්ලටම උපදෙස් අනුශාසනා ලබාදිය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා