ප්‍රේමයේ වේදනාව සොල්හයිම්ටත් දැනේවා!

ප්‍රේමයේ වේදනාව සොල්හයිම්ටත් දැනේවා!

අන්තිමේ බලන විට පැණි වරකා ගසටත් හෙණ ගසා ඇත. ලෝකයේ සාම නියෝජිතයා වූ ද; මැදිහත්කරුවා වූ ද; ඒ මුවාවෙන් ත්‍රස්තවාදීනට උපකාර කළේ යැයි ගැරහුම් ලැබුවා වූ ද නෝර්වේ  රාජ්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. අපගේ මතකය නිවැරැදි නම්; දෙවන ලෝක යුද්ධයෙන් පසු කිසිදු බෝම්බ හඬක් නො වූ අසිරිමත් රාජ්‍යය අද බලගතු ප්‍රහාර දෙකකින් කම්පනයට පත් ව සිටී. නෝර්වේ  රාජ්‍යයට එල්ල වූ මේ ප්‍රහාරය ගැන ශ්‍රී ලංකාව අතිශයින් ම ශෝකයට පත් වේ. එම ශෝකය නිල වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත. ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වය හා එහි රුදුරු බව හොඳින් හඳුනන ශ්‍රී ලංකාව මේ මොහොතේ නෝර්වේ රාජ්‍යය දෙසට ඉතා කාරුණිකව අත දිගු කරයි.

බෝම්බ ප්‍රහාරයට ලක් වූ ඔස්ලෝ නුවර නෝර්වේ රාජ්‍යයේ හදවත බඳු ස්ථානයෙකි. එහි අගමැති කාර්යාලය ද, ඉන්ධන අමාත්‍යාංශය ද, මුදල් අමාත්‍යාංශය ද එම ප්‍රහාරයෙන් බරපතළ විනාශයකට ලක් ව තිබේ. ප්‍රහාරකයන්ගේ ඉලක්කය වන්නට ඇත්තේ අසිරිමත් රාජ්‍යයේ ශක්තිමත් ආර්ථික ක්‍රියාවලිය හා සාමය බිඳ දැමීම විය හැකි ය. ශ්‍රී ලංකාවේ අපි මෙබඳු ප්‍රහාර මාලාවකට මුහුණ දී ඇත්තෙමු. මහ බැංකු ප්‍රහාරය, තෙල් ටැංකි ප්‍රහාරය, ගලදාරි ප්‍රහාරය ඊට නිදසුන් කිහිපයක් පමණි. මහ බැංකු ප්‍රහාරය හා තෙල් ටැංකි ප්‍රහාරය කෙළින් ම ආර්ථිකයට සම්බන්ධ ය. ගලදාරි ප්‍රහාරය සංචාරක කර්මාන්තයට සම්බන්ධ ය.

පසුගිය සිකුරා දා සන්ධ්‍යාව වන විට නොර්වේ රාජ්‍යයට ප්‍රහාර දෙකක් එල්ල විය. එකක් ඔස්ලෝ නුවර මධ්‍යයේ බලගතු බෝම්බයක් පුපුරුවා හැරීම ය. අනෙක ‘උටෝයා’ දූපතේ පැවැති තරුණ සමුළුවට වෙඩි තැබීම ය. ප්‍රහාර දෙකෙන් සියයකට ආසන්න ප්‍රමාණයක් මිය ගියහ. තවත් පිරිසක් අතුරුදන් ව සිටිති. බරපතළ තුවාල ලැබූ පිරිස ද විශාල ය. මේ ප්‍රහාරය පිළිබඳ අදහස් පළ කරන අමෙරිකන් ජනාධිපතිවරයා කියා සිටින්නේ සමස්ත යුරෝපය ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹිය යුතු බව ය. එය නෝර්වේ රාජ්‍යයට අලුත් අත්දැකීමක් වනු ඇත. මෙතෙක් එම රාජ්‍යය සිදු කළේ ත්‍රස්තවාදී ව්‍යාපාර හා අදාළ රාජ්‍යයන් අතර සාමය ඇති කිරීම සඳහා ගිවිසුම් සකස් කිරීම ය.

2002 පෙබරවාරි 22 දා ශ්‍රී ලංකා ආණ්ඩුවත් කොටි සංවිධානයත් අතර ඊනියා සාම ගිවිසුමක් අස්සන් කැරිණි. එම ගිවිසුම සඳහා උපදේශන සැපයූවෝ දෙදෙනෙක් වූහ. පළමුවන්නා නෝර්වේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා ය. දෙවන්නා ශ්‍රී ලංකාවේ එවකට සිටි නෝර්වේ තානාපති ජෝන් වෙස්ට්බාර්ග් මහතා ය. මේ සාම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට බොහෝ දේ අහිමි විය. කොටි සංවිධානයට බොහෝ දේ හිමි විය. 2005 බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා එම ගිවිසුම ඉරා දමන්නට කටයුතු නො කළේ නම් මේ වන විට ශ්‍රී ලංකාව ද සුඩානය මෙන් උතුරු - දකුණු ලෙස දෙකට බෙදෙන්නට ඉඩ තිබිණි.

එරික් සෝල්හයිම් මහතා 2002 වසරේ දී නෝර්වේ හෙවත් තම මවුබිමට වඩා ශ්‍රී ලංකාවේ ගත කළේ ය. ඔහු වඩාත් ප්‍රිය කළ නගරය වූයේ කිලිනොච්චියයි. සෝල්හයිම් මහතා කොළඹට වඩා කිලිනොච්චියෙහි කාලය ගත කළේ ය. එලෙස ම එවකට ශ්‍රී ලංකාවේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා උතුරේ සන්නද්ධ නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් කැටුව සාකච්ඡා කළහ. නෝර්වේ රාජ්‍යයේ ඊනියා සාම ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ගේ වැඩි නැඹුරුව තිබුණේ කොටි සංවිධානය වෙතය. ඉහත කී සාම ගිවිසුමේ ඇතැම් වගන්ති සෝල්හයිම් මහතාගේ අණ පරිදි ක්‍රියාත්මක විය යුතු ව තිබිණි. එම ගිවිසුම මුළුමනින් ම පාහේ කොටි සංවිධානයේ පහසුව හා වාසිය සඳහා කෙටුම්පත් වී තිබිණි.

ඔස්ලෝ නුවරට එල්ල වූ ප්‍රහාරයත්, උටෝයා දූපතේ තරුණ සමුළුවට එල්ල වූ ප්‍රහාරයත් හැම අතකින් ම පාහේ දෛවෝපගත ය. අප මුලින් සඳහන් කළ ලෙස ලෝක ත්‍රස්තවාදයේ ස්වභාවය නෝර්වේ බලධාරීන් හඳුනාගෙන සිටියේ නැත. ඔවුන්ගේ රාජ්‍ය හමුදාවෝ නේටෝ ප්‍රහාර සඳහා එක් ව සිටිති. ඇෆ්ඝනිස්ථානයේ, ලිබියාවේ සටන් භූමි තුළ නෝර්වේ භටයෝ ද සිටිති. යුද්ධයේ ස්වභාවය, රාජ්‍යයක ස්වෛරීත්වය ආරක්ෂා කිරීම, දේශප්‍රේමීත්වය වැනි සාධක කෙරෙහි නෝර්වේ බලධරයන් දක්වන සැලැකිල්ල ඉතා අඩුය. ශ්‍රී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් රැකවරණය හා වෙනත් ආධාර – උපකාර ලබාගත් යුරෝපයේ එක් ප්‍රබල රාජ්‍යයක් වන්නේ නෝර්වේ රට ය. අප එය සටහන් කරනුයේ බලවත් ශෝකයක් ද සමඟින් ය.

මේ ප්‍රහාරයත් සමඟ සමස්ත යුරෝපයත්, බටහිර ලෝකයත් පාඩම් කිහිපයක් උගත යුතුය. එක; ත්‍රස්තවාදය කුමන ස්ථානයකින් උපත ලැබුවේ වුව එය මිනිස් සමාජයට බෙහෙවින් විනාශකාරී දෑ සිදු කරන බව ය. දෙක ; දුප්පත් රටවල ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා ද බලවත් රටවල සහයෝගය ලැබිය යුතු බවය. තුන; ත්‍රස්තවාදීන්ගේ ඊනියා සාම වැඩසටහන් කල්මැරීමේ උපක්‍රමයක් මිස යථාර්ථයක් නො වන බව වටහා ගැනීමය. හතර; ගෝලීය ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා බලවත් රටවලට ඒකාබද්ධ වැඩසටහනක් තිබිය යුතු බව ය. මේ කරුණු හතර අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරන්නේ නම්; ගෝලීය ත්‍රස්ත ව්‍යාපාරවල බලය මුළුමනින් ම හීන කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මීට වසර තුනකට පෙර 2009 දී කියා සිටියේ ලොව කොතැනක වුව සිදුවන ත්‍රස්ත ක්‍රියාව ත්‍රස්තවාදයක් ලෙස සලකා ප්‍රතික්ෂේප කිරීමට හා ඊට එරෙහි ව කටයුතු කිරීමට ශක්තියක් ලෝක නායකයනට තිබිය යුතු බව ය. මහින්ද රාජපක්ෂ මහතාගේ කතාව අද යථාර්ථයක් බවට පෙරැළී තිබේ. බටහිර ධනපති පාලකයෝ ත්‍රස්තවාදීන් කැටුව සෙල්ලම් කළහ. ඔවුනට කිරි - පොවා ඇති දැඩි කළහ. අද එය ඔවුනට පාරා වළල්ලක් වී තිබේ. නෝර්වේ ප්‍රහාර ගැන විවිධ අදහස් හා විවිධ විවේචන තිබෙන්නට පුළුවන. කෙසේ වුව අවසන් විග්‍රහයේ දී මේ ප්‍රහාර දෙක ම ත්‍රස්තවාදය සමඟ එකට ගැට ගැසෙනු ඇත. ත්‍රස්තවාදීනට ප්‍රේම කිරීමෙන් යහපතක් සිදු වන්නේ නැත.

ප්‍රේමය ද වේදනාවෙන් පිරී ඇති බව සොල්හයිම් මහතාට දැන් වැටහෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා