ජාතික කාන්තා මලල ක්‍රීඩා සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ගුවන් හමුදාවේ නිමාලී

ජාතික කාන්තා මලල ක්‍රීඩා සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ගුවන් හමුදාවේ නිමාලී

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටු 29 වැනි කාන්තා මලල ක්‍රීඩා සූරතාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ගුවන් හමුදාවේ කේ. ඒ. නිමාලී දිනා ගත්තාය.

දින දෙකක් පුරා පැවැති මේ තරගාවලිය පෙරේදා නිමාව දුටු අතර එහිදී කේ. ඒ. නිමාලි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව විනාඩි 10:31.26 කින් නිමාකර නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළාය. එහි පැරණි වාර්තාව පසුගිය වසරේදී විනාඩි 10:49.15 කින් එරංගා දුලක්ෂි පිහිටුවා තිබුණි.

මේ ක්‍රීඩා උළෙලේදී මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවේ ජී. ජේ. ඒ. ගල්හේන ක්‍රීඩිකාව බිහි කළාය. ඇය මීටර් 38.15 ක දක්ෂතාවක් දැක් වූ අතර, එය පසුගිය වසරේ ඇයගේම මීටර් 33.53 ක වාර්තාව මකා දැමීමකි.

මේ තරගාවලියේ දී නව තරග වාර්තා 5 ක් බිහි වූ අතර වාර්තාවක් සම විය. 18 න් පහළ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අමන්ති සිල්වා මීටර් 37.56 කින් හා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 11.60 ක දක්ෂතාවකින් නව තරග වාර්තා 2 ක් බිහි කළාය.

14 න් පහළ දුර පැනීමේ ඉසව්වේදී කොච්චිකඩේ ලොයලා විදුහලේ පූර්ණිමා කල්පනී මීටර් 4.82 කින්, 20 න් පහළ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේදී රත්නපුර සුමන බාලිකා විදුහලේ නයෝමී ගිම්හානි විනාඩි 1:03.89 කින් 16 න් පහළ මීටර් 100 ඉසව්වේදී මාතලේ ක්‍රිස්තුදේව විදුහලේ ආර්. ජී. එන්. පී. එස්. රඹුක්වැල්ල තත්පර 12.70 කින් නව තරග වාර්තා බිහි කළහ.

පමුණුගම ගොන්සාල්වේස් විදුහලේ ඉසුරිකා කල්‍යානී 20 න් පහළ රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 2.90 ක දක්ෂතාවකින් පැරණි තරග වාර්තාවක් සම කළාය.

කාන්තා මලල ක්‍රීඩා සූරතාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාව

12 න් පහළ - නතාලි මල්පහන (ගේට්වේ රාජගිරිය - දක්ෂතාව මීටර් 100 තප්පර 14.11) 14 න් පහළ- උත්තරා විජේසූරිය (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය - දක්ෂතාව මීටර් 100 තප්පර 13.31) 16 න් පහළ - ආර්. ජී.පී. එන්. එස්. රඹුක්වැල්ල (මාතලේ ක්‍රිස්තුරාජ - දක්ෂතාව මීටර් 200 තත්පර 26.11) 18 න් පහළ - කුමාරී රත්නායක (කෑගල්ල සා. ;ජීෂප් - දක්ෂතාව මීටර් 100 තත්පර 12.44) 20 න් පහළ – පබසරා සේනානායක (කෑගල්ල සා.ජෝෂප් - දක්ෂතාව මීටර් 100 තත්පර 12.44) විවෘත අංශය - ඩබ්ලිව්. කේ. එල්. ඒ. නිමාලී (ගුවන් හමුදාව- දක්ෂතාව මීටර් 3000 බාධක දිවීම විනාඩි 10:31.26)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා