සුනාමියක් ආවත් විපක්‍ෂය එතැනමයි

සුනාමියක් ආවත් විපක්‍ෂය එතැනමයි

ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ගෝමින් දයස් ශ්‍රී

* පළාත් පාලන ආයන 65 ක් සඳහා පැවැති මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ ඔබේ විග්‍රහය කෙබඳු ද?

පළාත් පාලන ආයතන 65 ක් සඳහා පැවැති පුංචි මැතිවරණයේදී දැකිය හැකි වූ ප්‍රධාන ලක්‍ෂණය නම් දකුණේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් උතුරේ බලය දෙමළ සන්ධානයටත් ඊව්ඒ ලැබීමයි. මේ මැතිවරණය විශාල උණුසුමක් දක්නට තිබූ මැතිවරණයක් නෙවෙයි. අනිවාර්යයෙන් බලාපොරොත්තුවූ පරාජයට එජාපය මුහුණ පෑවා. ඛේදවාචකය නම් ඔවුන් පසුබෑමේ විශාල ඡන්ද සංඛ්‍යාවන්ගෙන් වීමයි.

සන්ධානය ලැබූ වැඩි ඡන්ද සංඛ්‍යාව ඉහළයි. මේ තත්ත්වය තුළ එජාපයට යළි බලයට එන්න නම් රැල්ලක් නොව සුනාමියක් ආ යුතුයි. වර්ෂ 23 ක් බලයේ සිටි නිසාත් පළාත් පාලන ආයතන රාශියකම බලයත් රජයටම තිබූ නිසාත් යම් ආකාරයක ජනතා අප්‍රසාදයක් අපේක්‍ෂා කළ හැකියි.

නමුත් එවැනි පසුබෑමක් රජයට ඇති නොවූණේ ජනතාව විපක්‍ෂය කෙරෙහි වඩාත් කළකිරීමෙන් පසුව නිසයි. එජාප අභ්‍යන්තර ප්‍රශ්නත් ඊට අනිවාර්යයෙන්ම බලපෑවා. ඒ වගේම ගම් මට්ටමෙන් තවමත් විශාල සහයෝගයක් මේ රජය කෙරෙහි තිබෙනවා.

යුද්ධය නිමා කිරීම පිළිබඳ ජනාධිපතිතුමා හා රජය කෙරෙහි ඇති කෘතඥතාව තවමත් එලෙසම ජනතාව තුළ තිබෙන බවත් මෙයින් පෙනෙනවා . අනාගතයේ පැවැත්වෙන ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණවලදී ද ඒ තත්ත්වය පවතින බව අපේක්‍ෂා කළ හැකියි. යුද අපරාධ චෝදනාවන්ට රජය ලක්කිරීමට ප්‍රයත්න දරමින් ඇති අවස්ථාවක ජනාධිපතිතුමාගේ නායකත්වය හා රජය වටා ජනතාව රොක්ව සිටින බවත් මේ ප්‍රතිඵලය මඟින් ඔවුන් ජාත්‍යන්තරයට දැනුම් දී තිබෙනවා.

යුද අපරාධ චෝදනා නඟන්නන් සමඟ එජාපය තවදුරටත් එකට නැඟී සිටීමේ ප්‍රතිඵලය ලෙස ඔවුන්ට තවත් දීර්ඝ කාලයක් විපක්‍ෂයේම සිටීමට සිදුවනු ඇති කියන පණිවිඩයක් මේ ප්‍රතිඵලයෙන් ලැබෙනවා. මේ සමඟ ම අපි මතක තබාගත යුතු කාරණයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන කතාකරන්න එන විජාතික බලවේග ප්‍රජාතන්ත්‍රවාදී පිළිතුරක් භාරගැනීමට ලෑස්ති නැතිවිය හැකි බවයි.

* මේ මැතිවරණයේ දී ජවිපෙට අත් වූ ඉරණම ඔබ කොහොමද දකින්නේ?

ජවිපෙට අත්වූ ඉරණම එක් වාක්‍යයකින් කියනවා නම් ඔවුන් ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් ඈත්ව සිටින පක්‍ෂයක් බව මේ ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලි වෙනවා. ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව, හෝමාගම, කඩුවෙල, වැනි ආසන වලින් සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මන්ත්‍රී ආසන කිහිපයකුත් දිනාගත්තා. එම ඡන්ද දායකයන් ද දැන් ජවිපෙන් ඈත් වී ඇති බව මෙවර ඉතා හොඳින් පෙනෙනවා. නිදසුනක් ලෙස කැස්බෑව ආසනය සඳහා ප්‍ර. ජා. සං. 14% ඡන්ද ගත්තත් මේ මැතිවරණයේ දී ජවිපෙට ලැබුණේ 4% යි. ඒ ඡන්ද එජාපයට හා එ. ජ. නි. සන්ධානයට ගොස් ඇති බව පෙනෙනවා. කැස්බෑවදී එජාප ඡන්ද 23% සිට 42% ට වැඩිවී ඇති බවත් එජනිස ඡන්ද 63% සිට 54% ට යම් අඩුවීමකුත් පෙනෙනවා.

* කොළඹ අනෙක් ආසන කිහිපයේදීත් එජාප හා ජවිපෙ පසුබෑම කැපී පෙනෙනවා?

කඩුවෙලින් මහමැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ලැබුණු ඡන්ද මේ මැතිවරණයේදී එජනිසට ලැබී ඇති බව පැහැදිලියි. ප්‍රජාසං ඒ ඡන්දයේදී 15% ගත්තත් මෙවර ජවිපෙට ලැබුණේ 4% යි. එජනිස ඡන්ද ප්‍රතිශතය 59% සිට 67% දක්වා වැඩිවී තිබෙනවා. එජාප වර්ධනය 3%යි. හෝමාගමදී එජාපය තරග බිමේ නොසිටි පසුබිමක තරගය තිබුණේ එජනිස සහ ජවිපෙ අතරයි. එහිදී එජනිස ඡන්ද ප්‍රමාණය18% ක වර්ධනයක් පෙන්නුම් කරනවා. එජාපය තරග නොකළ අවස්ථාවක් වුණත් ජවිපෙ වර්ධනය 2% යි.

සමස්තයක් ලෙස මෙයින් පැහැදිලි වෙන්නෙ ෆොන්සේකා මහතාගේ ඡන්ද ජවිපෙත් ගිලිහී ඒ ඒ ආසනවලදී එජනිසට හා එජාපයට ලැබී ඇති බවයි. මේ නිසා සරත් ෆොන්සේකා මහතා තවදුරටත් දේශපාලන භූමියේ චරිතයක් ලෙස සැලකීමට නොහැකි බවත් පැහැදිලියි. දැන් ඔහු උසාවියට රැගෙන එන විට ජනතාව නොසිටියත් රූපවාහිනී කැමරාවකට අතවනන කෙනෙක් බවට පත්වෙලා.

* උතුරේ මැතිවරණ ප්‍රතිඵලය මඟින් පිළිබිඹු වෙන්නෙ කුමක්ද?

උතුරේ ප්‍රතිඵලයෙන් පෙනෙන්නේ උතුරේ බලය, දකුණේදී රජයට ලැබුණාක් මෙන් ස්ථාවර පදනමකින් දෙමළ සන්ධානයට ලැබී ඇති බව. විශාල සංවර්ධනයක් ඒ ප්‍රදේශවල රජය සිදුකරතත් තවමත් දෙමළ ජනයාගේ හොඳ හිත මුළුමනින් දිනාගැනීමට රජයට නොහැකි වී ඇති බව එයින් පෙනෙනවා. ඊට හේතුව සංවර්ධනය හැරුණු විට එම ජනයාගේ සාධාරණ දුක්ගැනවිලි විසැඳීමට තවමත් රජය මුළුමනින් මනස යොමුකර නැතිවීමයි. නමුත් රජයටත් 20% ක් තරම් ඡන්ද ලැබී තිබෙනවා. දෙමළ සන්ධානයේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස පෙනී සිටීමට එජනිසට හැකිවී තිබෙනවා. එම අවස්ථාව යොදා ගනිමින් දෙමළ ජනයාගේ සාධාරණ අපේක්‍ෂාවන් ඉටු කිරීමට එයට හැකිවුණෙත් මීට වඩා සාර්ථක මට්ටමකට එජනිසට පත්විය හැකියි. මාර්තු මැතිවරණයේදී වවුනියාව, මන්නාරම දිස්ත්‍රික්කවලදී යාපනයට වඩා එජනිස ඡන්ද ලබාගත්තා. බහුතර දෙමළ ජනයා නොමැති ආසනවල හා නැගෙනහිර මුස්ලිම් ජනයා වැඩි වශයෙන් සිටින ආසනවලත් එජනිසට ඡන්ද වැඩියෙන් ලැබී තිබුණා. ඒ නිසා මෙවර යාපනය ප්‍රතිඵලය පිළිබඳ රජය වඩා සංවේදී විය යුතු බව අපගේ අදහසයි.

* උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ඉහළ ගොස් තිබීම පිළිබඳ කාරණය ඔබ විග්‍රහ කරන්නෙ මොන විදියටද?

මහ මැතිවරණයේදී උතුරේ ඡන්ද ප්‍රකාශ වුණේ 15% ක් විතර. නමුත් මෙවර එය 50% -60% දක්වා වර්ධනය වී තිබෙනවා. උතුරේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට පා තබමින් ඇති බව මෙයින් පැහැදිලියි. එය ඉතා හොඳ ප්‍රවණතාවක්.

වැඩියෙන් ඡන්ද ප්‍රකාශ වූ නිසා දෙමළ සන්ධානයට ලැබුණු ඡන්ද සංඛ්‍යාවත් වැඩි වුණත් ඉහළ ප්‍රතිශතයකින් ඡන්ද ප්‍රකාශවීම ගැන සතුටු විය යුතුයි. මේ ප්‍රතිඵලය නවදිල්ලියේ විග්‍රහයට ලක්වනු ඇතැයි සිතිය හැකියි.

තවත් කාරණයක් නම් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ ඹ්ඹ්අඛ් නිර්දේශ ඉදිරිපත්වූ පසු ඊට අනුව ක්‍රියාකිරීමට වගබලා ගැනීමෙන් උතුරේ නිරීක්‍ෂණය වන සුබවාදී තත්ත්වය තවදුරටත් වර්ධනය කළ හැකි බවයි.

* මේ ප්‍රතිඵලයේ ඇති වෙනත් පණිවිඩ පිළිබඳ ඔබට යමක් කිව හැකි ද?

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජවිපෙ වගේ දේශපාලන පක්‍ෂ අතීත දේශපාලන පක්‍ෂ බවට පත්වෙලා තියෙනවා. මුස්ලිම් කොන්ග්‍රසය තම පැවැත්ම තහවරු කරගන්නේ බලයේ සිටින රජය සමඟ එක්ව ඇමැතිධුර ලබාගැනීමෙන්. පළාත් පාලන මැතිවරණයක සාමාන්‍ය ස්වභාවය ඡන්ද දායකයන් පවතින රජයට සහාය දැක්වීමයි. එහි වෙනසක් වෙනවා නම් වෙන්නෙ ජනාධිපතිවරණය, මහමැතිවරණය වැනි ප්‍රධාන මැතිවරණයක් ආසන්නයේ, ඊට පෙර මේ මැතිවරණය පැවැත්වෙනවා නම් පමණයි.

* මේ ප්‍රතිඵලය ඔස්සේ අනාගත දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ යම් පෙර දැක්මක් කරන්න ඔබ කැමැති ද?

මේ ප්‍රතිඵලයෙන් පෙනෙන්නේ දකුණේ දී එජනිස බලකොටුවලට සහ උතුරේ දී දෙමළ සන්ධාන බලකොටුවලට අභියෝගයක් එල්ල කරන්න සෙසු පක්ෂවලට හැකියාවක් නැති බවයි. මේ ප්‍රතිඵලය ඔස්සේ අනාගතය ගැන යමක් කියනවා නම්, එජාපය සංකේතාත්මක විපක්ෂයක ස්වභාවයෙන් මැතිවරණවලට තරග කරන අතර ඔවුන්ට සැලකිය යුතු ආසන ගණනක් පාර්ලිමේන්තුව තුළ ලැබෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය නිසයි. ජවිපෙ ස්වාධීන කණ්ඩායමක තත්ත්වයට පත්ව ඇති බවත් මේ ප්‍රතිඵලය ඔස්සේ ම දකින්න පුළුවනි. මෙහි දී සඳහන් කළ යුතු අවාසනාවන්ත තත්ත්වය නම් ජාතිවාදී කණ්ඩායමක් උතුරේ බලය දරණ අතර ඒ වෙනුවට ජාතික ධාරාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන එජනිස හා එජාපයෙන් ප්‍රමාණවත් අභියෝගයක් එල්ල නොවීමයි. මුළු රටේ ම දේශපාලන බලය තහවුරු කර ගැනීමේ දී ජාතිවාදී දේශපාලනයත් දේශපාලන සිතියමෙන් දුරස්ථ විය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා