ප්‍රසිද්ධ නඩු විභාගයක් සමඟ නිල ඇඳුමෙන් එන්නත් ඉඩ ඉල්ලයි

නොර්වේ සමූහ ඝාතකයා අධිකරණය හමුවට

ප්‍රසිද්ධ නඩු විභාගයක් සමඟ නිල ඇඳුමෙන් එන්නත් ඉඩ ඉල්ලයි

නෝර්වේ සමූහ ඝාතකයා ලෙස සැලකෙන පුද්ගලයා.

නෝර්වේ සමූහ ඝාතක 32 හැවිරිදි ඇන්ඩර්ස් බර්රින් බ්‍රෙයිවික් ඊයේ දහවල් අධිකරණය හමුවට පමුණුවීමට නියමිත විය. මේ අතර මෙතෙක් සන්සුන් රටක් ව පැවති නෝර්වේ රාජ්‍ය කම්පනයට පත් කළ සිද්ධියේදී ඝාතනය වූ 93 දෙනාගේ මළසිරුරු ඔස්ලෝ නගර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු නෝර්වේහි ඇතිවූ දරුණුම ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස සැලකෙන බෝම්බ පිපිරවීම හා ඉවක් බවක් නැතිව වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධවල ජිහාඩ් වාදියකු ගේ විලාශය ගත් ඇන්ඩර්ස් ඊයේ දහවල් 1.00 ට අධිකරණය හමුවට ගෙන එන බව පැවසී තිබිණ.

මෙහිදී විනිසුරුවරයා විසින් මෙම නඩුවිභාගය ලෝක ජනමාධ්‍යයේ විමසුම් ඇසට අසු නොවන සේ රහසේ සිදුකළ යුත්තක්ද යන්න තීරණය කරනු ඇතැයි සඳහන් ව ඇත. එහෙත් ඇන්ඩර්ස් ගේ නීතිවේදියා රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ නඩු විභාගය සම්බන්ධයෙන් ඔහු කරුණු දෙකක් අපේක්ෂා කරන බවය.

“ඔහු අපේක්ෂා කරන පළමු වැන්න නම් නඩු විභාගය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බවයි . දෙවැන්න නඩු විභාගයට නිල ඇඳුමින් සහභාගි වීමට ඉඩදිය යුතු බවයි” යනුවෙන් ගෙයිර් ලිප්පෙස්ටඩ් නම් නීතිවේදියා කීවේය.

ඔහුගේ ඝාතන ක්‍රියාවලියේ දී අගමැති කාර්යාල ගොඩනැගිල්ල අබියස බෝම්බ පිපිරවීමෙන් 7 දෙනකු මියගිය අතර ඉන් කිලෝමීටර 40 ක් ඈත උටෝයා දූපතේ වෙඩිතැබීමෙන් 86 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණ. මෙහිදී මියගිය බහුතරය තරුණ කොටස් වන අතර ඔවුන් එහි පැවති පාලක කම්කරු පක්ෂයේ තුරුණු නායකත්ව වැඩමුළුවකට සහභාගි වී තිබිණ.

නෝර්වේ ඛේදවාචකයට ගොදුරු වූවන් වෙනුවෙන් ශෝකයට පත් ජනතාව ඔස්ලෝ නගරයේ මල් කළඹ තැන්පත්කරමින් සිටින අයුරු. ඒ. එෆ්. පී.

සිද්ධ්යෙන් මියගිය අයගේ ඡායාරූප හා නම්ගම් ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කරන අගමැති ජෙන්ස් ස්ටොල්ටන් බර්ග් මිය ගිය අය වෙනුවෙන් ඊයේ මධ්‍යාහ්නයේදී විනාඩියක නිශ්ශබ්ද තාවක යෙදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබිණ.

පෙරේදා මියගිය අයවෙනුවෙන් නෝර්වේ රජ පවුල ඇතුළු දහස් ගණනකගේ සහභාගිත්වයෙන් සමූහ දේවමෙහෙයක් පැවැත්විණ. තවද ඊයේ ඔස්ලෝ සරසවියේදී අගමැතිවරයා විසින් මහජනයාට ශෝකය ප්‍රකාශ කිරීම සඳහා සටහන් පොතක් විවෘත කිරීමටද නියමිත විය. මියගිය බොහෝ දෙනකු තමන් පුද්ගලිකවම හඳුනන බවද ඔහු කියා තිබේ.

ඇන්ඩර්ස් සිද්ධි දෙකේම වගකීම බාරගෙන ඇති අතර නඩු විභාගය අවසන් වනතෙක් ඔහු සැකකරුවකු පමණක් වන අතර එරට මරණ දඬුවම ක්‍රියාත්මක නොවන බැවින් තීන්දුව අනුව ඔහුට වසර 21 ක උපරිම සිරදඬුවමක් නියම වනු ඇතැයි ප්‍රකාශ වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා