මලක කඳුළු !

මලක කඳුළු !

දැරියකගේ දීප්තිමත් දෑසක සටහන් ව ඇත්තේ කුමක් ද? අනාගත ලෝකය පිළිබඳ අපේක්‍ෂාවන් ය. ඒවා මල් මෙන් සියුමැලි ය. සුන්දර ය. අයිස් මෙන් පිරිසුදු ය. ඒ දෑසට එබී බලන මනුෂ්‍යයකුගේ සිත්හි පහළ වනුයේ කරුණාව, දයාව වැනි මෘදු හැඟීම් ය. සැබෑ මිනිසකුට දරුවකු වෙනුවෙන් කළ නොහැක්කක් නැත. දාරක ස්නේහය පියකුගේ සම්. ඇට, මස්, දිගේ කිඳා බසින්නේ යැයි කියති. රුසියාවේ එක්තරා අධ්‍යාපන විශේෂඥවරියක “මහදවත දරුවනට දෙමි” යැයි අගනා පොතක් ලියා තිබේ. පුංචි දැරිය වැඩිහිටියකුගෙන් අපේක්‍ෂා කරන්නේ කුමක් ද? ආදරය රැකවරණය හා ආරක්ෂාවයි. දැරිය අයියා කියා ටිකක් වැඩිමහලු පිරිමියකුගේ අත අල්ලන්නට පුළුවන. මාමා කියා වැඩිහිටි පිරිමියකුගේ ඔඩොක්කුවට පනින්නට පුළුවන. මේ ක්‍රියාවන්හි රැඳී ඇත්තේ රැකවරනය, ආරක්ෂාව ඉල්ලා සිටින ආයාචනයක් මිස ලිංගික සන්තර්පණයක් නො වේ.

ආදරය, ආරක්ෂාව හා රැකවරණය ඉල්ලා සිටින පුංචි දැරියකගේ දෑසට එබෙමින් ලිංගික ආශාවන් සන්තර්පනය කරගත හැක්කේ කාට ද? තිරිසන් සන්තතිය තුළ පවත්නා ලිංගිකත්වය තුළ ශිෂ්ටාචාරයක් හෝ දයාවක් හෝ දැකිය නො හැකි ය. සුනඛයාට තම පැටියා වුව ලිංගික අපයෝජනයෙහි යොදා ගත හැකි ය. එහෙත් දීර්ඝකාලීන ශිෂ්ටාචාරයකට උරුමකම් ඇති මනුෂ්‍යයාට එය කළ හැකි ද? ආදරය රැකවරණය ඉල්ලා සිටින අහිංසක දැරියක ඔසොවාගෙන ගොස් සිහි නැතිවන තුරු ඇයට අඩන්තේට්ටම් කළ හැකි පිරිමියකු වෙතොත්; ඒ මිනිහා මනුෂ්‍යයෙකු නො ව තිරිසනකු ම විය යුතුය. වඩාත් පැහැදිලිව කිවහොත් සුනඛයකු විය යුතුය. එබඳු තිරිසනකු පිළිබඳ ප්‍රවෘත්තියක් මීට දින දෙකකට පෙර පුවත්පත්හි පළ විය. සිද්ධිය වාර්තා වූයේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රසිද්ධ පාසලකින් ය.

එම පාසල අ. පො. ස. උ. පෙ. විභාග මධ්‍යස්ථානයක් ලෙස ද උත්තර පත්‍ර එකතු කරන කේන්ද්‍රයක් ලෙස ද පැවැතී ඇත. එම මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු එක්අතකින් සිදු වෙයි. තවත් අතකින් දෙවන පාසල් වාරය ආරම්භ වීම සඳහා පන්ති කාමර ශුද්ධ පවිත්‍ර කිරීමක් ද සිදුවෙයි. දෙවන කාරණයට පැමිණි පිරිස අතර හුරුබුහුටි දැරියක් වුවා ය. ඇගේ වයස අවුරුදු දහයෙකි. පහ වසරේ ඉගෙනුම ලබන්නී ය. මේ දැරිය වැඩිහිටියන්ගේ පන්ති කාමර ශුද්ධ පවිත්‍ර කිරීමට බාධා නොවන ලෙස ඈතට ගොස් හුදෙකලාවේ සෙල්ලම් කරන්නට වූවා ය. යක්ෂයා පැමිණියේ මේ අතර ය. විභාග මධ්‍යස්ථානයේ ප්‍රධානියා ඇතුළු පිරිසක් මත් රකුසාට බිලි වී පදමට වෙරි වී සිටියහ. ඔවුන් විකෘති වූ මනස්වලින් දැරිය දෙස බලන්නට ඇත. ප්‍රධානියා දැරිය ඔසොවාගෙන පන්ති කාමරයකට ගොස් ඇය සිහිසුන් තත්ත්වයට පත්වන තුරු අපයෝජනයට ලක් කර තිබේ. සෙසු පිරිස ඔහුට සහයෝගය දක්වා ඇත.

මෙය මහ පොළොවට දරා ගත නො හැකි අපරාධයක් බව සදහන් කළ යුතු ය. මල් කැකුලක් වැනි පුංචි දැරියක දෑතින් හිරකොට අල්ලා බලහත්කාරකමක් කළ හැක්කේ කාට ද? මේ සමාජය ඉතා බරපතළ ලෙස විකෘති වී තිබේ. තමාගේ ම දියණිය දූෂණය කරන පියතුමන්ලා ගැන ප්‍රවෘත්ති දැන් පළ වේ.  අයියා, මාමා, බාප්පා නිසා ගර්භනී තත්ත්වයට පත් වන දියණියන් ගැන තොරතුරු ද වරින් වර අසන්නට ලැබේ. සමාජයට සිදු වී ඇත්තේ කුමක් ද? ශිෂ්ටාචාරයට සිදු වී ඇත්තේ කුමක් ද? මේ ගැන ඉතා සියුම් නිරීක්‍ෂණයක් කළ යුතු ව තිබේ. ඉහත සිද්ධියෙන් උගත යුතු පාඩම් ගණනාවක්ද තිබේ. පළමුවන්න දරුවන් නිදැල්ලේ යා නොදී නිරන්තර සෝදිසියකට ලක් විය යුතු බව ය. දැරියගේ අම්මා දියණිය තමා ළඟ ම තබාගත්තේ නම්; මේ විපත සිදුවන්නේ නැත. දෙවන්න දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ඔවුනගේ ආශ්‍රයන් හා හැසිරීම් නිරන්තරයෙන්ම නිරීක්‍ෂණය කළ යුතු බව ය.

දැරියක උඩ පනිමින් සෙල්ලම් කරනු දකින තිරිසන් කාමාතුරයකු ඇය ගැන විකෘති ආශාවන් ඇති කරගන්නට පුළුවන. මෙබඳු අපරාධයක් සිදු වූ සැණෙන් ජනතාව කලබලයට පත් ව විවිධ විනාශකාරී ක්‍රියාවලට ද පෙළඹෙති. එය නැවැත්විය නො හැකි ක්‍රියාවලියෙකි. එහෙත් මෙහිදී නීතියට ඉඩදීම ද මෙවන් අපරාධවලට බලපාන පසුබිම හා අවස්ථාව ඇති නොවීමට වග බලා ගැනීම ද වඩාත් වැදගත් වනු ඇත. ඉහතකී අපරාධයට සැකකරුවෝ නව දෙනෙක් සිටිති. එයින් පස් දෙනකු මත්පැන් පානය කොට සිටි බවට වෛද්‍ය වාර්තාවක් තිබේ. සිද්ධියට සම්බන්ධ අධ්‍යාපන නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබේ. දැනට වාර්තා වී ඇති අන්දමට පස් දෙනෙක් රිමාන්ඩ් භාරයේ පසු වෙති. මෙබදු අපරාධයක් කළ පිරිසට ද ඊට සහාය දැක්වූ පිරිසට ද උපරිම දඬුවම් දිය යුතු ය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුවත්, පොලිසියත් නැවත කල්පනා කළ යුත්තේ නොහික්මුණු – අසංවර පුද්ගලයන් සිය සේවාවන් සඳහා යොදාගැනීම ගැන ය. දරුවන් මුළු ලෝකය තරම් වටින්නේ යැයි හැඟුම්බර ප්‍රකාශ පවතින හා දරුවන්ගේ කාර්යයන් සඳහා බොහෝ කැපවීම් කරන සමාජයක මෙබඳු අපරාධ සිදුවීම පුදුමාකාරය. යහපත් සමාජයක් තුළ විකෘති මනස් ඇති ස්වල්ප දෙනෙකු සිටිය හැකි ය. ඔවුන්ගෙන් අපේ දරු පරපුර බේරා ගත යුතු ය. ඒ සදහා සිවිල් සමාජයෙන් ද යම් මෙහෙවරක් ඉටු විය යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා