ගාල්ලේ ‘දූවිලි’ තණතීරුව ගැන කරුණු දක්වන්න ශ්‍රී ලංකාවට දින 14ක්

ගාල්ලේ ‘දූවිලි’ තණතීරුව ගැන කරුණු දක්වන්න ශ්‍රී ලංකාවට දින 14ක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ‘පන්දුව පතිත වන විට දූවිල්ල නගින’ තණතීරුවක් සකස් කිරීම පිළිබඳව දින 14ක් ඇතුළත කරුණු දක්වන ලෙසට ජගත් ක්‍රිකට් කවුන්සලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දන්වා තිබේ. මේ තරගයේ ‘තරග තීරක’ ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රෝඩ් විසින් ගාලු තණතීරුව “දුර්වල” එකක් ලෙසින් හඳුන්වා දීමෙන් පසුව ජගත් ක්‍රිකට් කවුන්සලය මේ පියවර ගෙන තිබේ.

බ්‍රෝඩ් “තණතීරුවේ තත්ත්වය පිළිබඳව ඔහුගේ සැලකිල්ල” යොමු කරමින් වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙන අතර එම වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී ඇති ජගත් ක්‍රිකට් කවුන්සලය එම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැහැදිළි කිරීම දින 14ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට දන්වා තිබේ. ගාලු තරගය තවත් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාවට ලකුණු 125ක ජයග්‍රහණයක් අත්කර දෙමින් අවසන් වූයේ සිවුවැනි දිනයේ සවස තේ පානයටත් පෙර ය.

තරගයේ දින හතරකටත් අඩු කාලයක් ඇතුළත කඩුලු 40ක් බිඳ වැටිණි. මින් කඩුලු 16ක් ම බිඳ වැටුනේ තරගයේ දෙවැනි දිනයේදීය. ශ්‍රී ලංකාවේ “පැහැදිළි කිරීම” ප්‍රමාණවත් නොවන බවට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කළහොත් එහි ප්‍රතිඵලය ලොකු දඩ මුදලක් ගෙවීම හා “නිවැරදිව ක්‍රියා කිරීම සඳහා නියෝගයක් ලැබීම” වනු ඇත.

බ්‍රෝඩ්ගේ වාර්තාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන ලෙසට ජගත් ක්‍රිකට් කවුන්සලය නියෝග කර ඇති අතර කවුන්සලයේ සාමාන්‍යාධිකාරී (ක්‍රිකට්) ඩේවිඩ් රිචර්ඩ්සන් හා කවුන්සලයේ ප්‍රධාන තරග තීරක රන්ජන් මඩුගල්ල විසින් මෙම පරීක්ෂණය මෙහෙයවනු ඇත.

මේ දෙදෙන ඔවුන්ගේ තීරණයට පැමිණීමට පෙර “තරගයේ වීඩියෝ පට හා බ්‍රෝඩ් විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු අධ්‍යයනය කිරීම ඇතුළු සියළු සාක්කි සලකා බලනු ඇති” බව කවුන්සලය කියයි. ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් හා ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් යන දෙදෙනා ම තරගයෙන් පසුව එම තණතීරුව පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ එය වියළි එකක් බවයි.  මෙවැනි දුෂ්කර තණතීරුවක තමා කිසිම දිනෙක ක්‍රීඩා කර නැතැයි ක්ලාක් කියා සිටියේය. “තරගයේ පළමු දිනය දැනුනේ පස්වැනි දිනය වගෙයි” ඔහු කීවේය.

“කාසියේ වාසියෙන් ටෙස්ට් තරගයක ප්‍රතිඵලය තීරණය වනවා දකින්න මම හරිම අකමැතියි. පැහැදිළිවම ඒ තණතීරුව සකසා තිබුණේ ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් වෙනුවෙනුයි. එය ඔවුන්ටම පාරාවළල්ලක් වුණා.  කාසියේ වාසිය දිනා ගැනීමට ලැබීම මගේ වාසියක් කියලා මම හිතනවා” ඔස්ට්‍රේලියා නායකයා පවසා සිටියේය. මෙවැනි වියළි තණතීරුවක ක්‍රීඩා කිරීමට තමා බලාපොරොත්තු නොවූ බව තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියේය.  “සාමාන්‍යයෙන් ගාලු තණතීරුව වේග පන්දු යවන්නන් මෙන්ම දඟ පන්දු යවන්නන්ටත් එක සමානව හොඳයි. නමුත් මෙවර එය වියළි වැඩි නිසා පන්දුවට පහර දීම අසීරු වුණා කියා මා හිතනවා” ශ්‍රී ලංකා නායකයා කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා