ළිඳුල නගර සභා මන්ත්‍රීවරයෙක් නි.පුරපතිගේ වරප්‍රසාද භුක්ති විඳලා

ළිඳුල නගර සභා මන්ත්‍රීවරයෙක් නි.පුරපතිගේ වරප්‍රසාද භුක්ති විඳලා

තලවකැලේ ළිඳුල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස සියලු වරප්‍රසාද ලබාගත් මන්ත්‍රීවරයකු පිළිබඳ පරීක්ෂණ අරඹා තිබේ. නියෝජ්‍ය නගරාධිපති ලෙස කාන්තාවකගේ නමක් රජයේ ගැසට් පත්‍රයේ සඳහන්ව තිබියදී මේ මන්ත්‍රීවරයා එම තනතුර දරා ඇති බව හෙළි වී තිබේ. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ උපදෙස් මත පළාත් පාලන කොමසාරිස්වරයා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම නගර සභාවේ වත්මන් සභාපති අශෝක සේපාල මහතා ලිඛිතව කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත. ළිඳුල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ බැවින් තමාට හිමි තීරුබදු වාහනය ලබා ගැනීම සඳහා සභාපතිගේ අනුමැතිය ලබාගැනීමට පැමිණි අවස්ථාවේ මේ තොරතුරු හෙළි වී තිබේ. වසර 2006 -7/28 දරන රජයේ ගැසට් පත්‍රයේ එම නගර සභාවේ උප නගරාධිපති ලෙස සඳහන්ව ඇත්තේ පිලිප් ගුණසීලි යන නමයි. එසේ වුවත් එම ධුරයේ වසර පහක් තිස්සේ කටයුතු කර ඇත්තේ සවරිමුත්තු බෙනඩික් නමැති අයයි.

ලංකා කම්කරු එක්සත් පෙරමුණ යටතේ මොවුන් නගර සභාවට තරග කර ජයග්‍රහණය කර තිබෙන අතර රජයේ ගැසට් පත්‍රයේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කාන්තාවගේ නමත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැඳුනුම්පතේ අනෙක් පුද්ගලයාගේ නමත් සඳහන්ව ඇත. එක් එක් පක්ෂවලින් තරග කර ජය ගන්නා අපේක්ෂකයන් අදාළ විෂය භාර ඇමැතිවරයා ඉදිරිපිට දිවුරුම් නොදී ඔවුන්ගේ පක්ෂ නායකයන් ඉදිරිපිට දිවුරුම් දීම නිසා මේ ගැටලු මතුවන බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා