කොළඹ අලින්ගේ සෙල්ලම් ඉවරයි

කොළඹ අලින්ගේ සෙල්ලම් ඉවරයි

එස්.බී.දිසානායක

උසස් අධ්‍යාපන ඇමැති

සස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එ.ජා.පයේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරමින් දිගින් දිගටම පරදින පක්ෂය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාවය මතු කළ අයෙකි. එ.ජා.පයට ආවේණික රෝගයක් බවට පත්ව ඇති නායකත්ව ගැටලුව ගැන අදහස් දක්වන ඔහු මෙම මැතිවරණයේදී කොළඹ නගරයද ජයගෙන රට අලුත් දිසාවකට ගෙන යන බව ප්‍රකාශ කර සිටියේ මෙසේ ය.

* පසුගිය පක්ෂ සම්මේලනයෙන් පසු බෙදී ගිය සියලුම පාර්ශව ඒකරාශී කරගත් බවක් පෙන්වූ එ.ජා.ප. නායකත්ව අර්බුදය පසුව තුන් කොන් සටනක ස්වරූපය ගත්තා. මේ අතර හිටි හැටියේම සජිත් පාර්ශවය කරු ජයසූරිය මහතා නායකත්වයට ගෙන ඒමට උත්සාහ කිරීම ඔබ දකින්නේ කොහොමද?

එ.ජා.පය ජරාජීර්ණ පක්ෂයක්. ආයේ කවදාවත් ඔවුන්ට නැගිටින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එ.ජා.පයේ තිබුණු ජන පදනම නැති කරලා උද්‍යෝගීමත් ක්‍රියාකාරීන් ඈත් කරලා හැම මැතිවරණයකදීම පරදින තැනට පත් කරන්න රනිල් යම්කිසි විදිහකින් වගකිව යුතු ද? සජිත් මේ තත්ත්වයට ඊට වඩා වගකිව යුතුයි. කරු ජයසූරිය මහතා ඇතුළු නායකයින් 17 දෙනෙක් ආණ්ඩුව සමඟ එකතු වූ අවස්ථාවේදී මේ නායයෑම වළක්වන්න ජ්‍යෙෂ්ඨයෝ එකතු වෙලා තීරණයක් ගත්තා. ඒ තමයි නියෝජ්‍ය නායකයෙක් හා උප නායකයෙක් පත් කිරීම.

සජිත් අවසාන මොහොතේදී මේ සටන පාවා දීලා රනිල්ට එකතුවෙලා හොඳ මනුස්සයවෙලා නියෝජ්‍ය නායකකම ගන්නයි උත්සාහ කළේ. රනිල් ඒක පාවිච්චි කරලා ඒ වෙනකොට ආණ්ඩුවෙ හිටපු කරූව නියෝජ්‍ය නායක පුටුවට ඇදලා දාලා නායකත්වය බේරා ගත්තා. මේ වෙලාවෙත් සජිත් උත්සාහ කරන්නේ ඒ වගේ ගේම් එකක් ගහන්නයි. රටක, පක්ෂයක නායකත්වයට අවශ්‍ය කරන සුදුසුකමක් ඔවුන්ට නැහැ. සජිත් බලන්නේ කොහොම හරි නායකත්වයට පැමිණීමටයි. රනිල් බලන්නේ නායකත්වය රැක ගන්නයි. දැන් යූ.ඇන්.පියට වෙලා තියෙන්නේ අලි සෙල්ලම් බලන්නයි. මේවා ඔක්කොම මාධ්‍ය සංදර්ශන.

* ඔබ සජිත් ප්‍රේමදාස නායකත්වයට වළිකන තදියම්කරුවෙක් ලෙස ප්‍රකාශ කළත් ඔහු පියා සංවිධානය කළ එ.ජා.පයට වාසිදායක ආසනය වෙනුවට වෙනත් දිස්ත්‍රික්කයක් සංවිධානය කිරීම යූ.ඇන්.පියට ශක්තියක් නෙවෙයිද?

එයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එ.ජා.පයට තිබුණු ජන පදනම නැති කරපු ආකාරය පක්ෂයට කරපු විනාශය පෙන්වන කදිම අවස්ථාවක්. මේ වගේ අවස්ථා ගොඩක් සජිත්ගේ ඉතිහාසයෙන් පෙන්වන්න පුළුවන්. සජිත් කරපු අත්තනෝමතික වැඩ නිසා දිස්ත්‍රික්කයේ හිටපු පැරැණි ශක්තිමත් යූ.ඇන්.පි කාරයෝ පක්ෂයෙන් අයින් වුණා. වතාවක් මෙයා ටික කාලයක් නියෝජ්‍ය ඇමැතිවරයෙක් විදිහට හිටපු අවස්ථාවේදී පක්ෂය නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇමතිවරයාට විරුද්ධව පත්තරයක් ගැහුවා. එ.ජා.පය මතයකට ඇවිල්ලා ගොඩනැගෙන්න හදපු හැම වෙලාවකම සජිත් මොනවද කළේ කියලා බලන්න. හැම වෙලාවෙම ඔහු කළේ ඊට විරුද්ධව කටයුතු කරන එකයි.

* එහෙමනම් සජිත් පාර්ශවය කරු ජයසූරිය මහතාව ඉදිරියට දාගෙන යන්න හදන්නේ කොයි විදිහෙ ගමනක්ද?

සජිත් කරූ ජයසූරියව නායකත්වයට ගෙන එන්න උත්සාහ කරන්නේ එයාට තියෙන ආදරයකට නෙවෙයි. කරුගෙන් එලවලා එයාගේ අතට නායකත්වය ගන්නයි. යූ.ඇන්පියට කවදාවත් නොකළ ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් දා ගන්න බැරි තත්ත්වයට පත් වුණේ සජිත් ඇතුළෙන් ඉඳන් බාධා කරපු නිසයි.

* ප්‍රතිසංවිධානකරුවන් කියන්නේ ආණ්ඩුව හා එ.ජා.ප. නායකත්වය අතර අප්‍රකාශිත එකඟතාවක් පවතින බවයි. මේ ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවද?

මේ ගොල්ලෝ නායකත්වය ගන්න දැඟලුවට ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන සම්ප්‍රදායන් ගැනවත් දන්නේ නැහැ. පාර්ලිමේන්තුව විපක්ෂ නායක කාර්යාලය අලුත්වැඩියා කරන්න මුදල් වෙන් කළාම මේ කට්ටිය කියනවා ඒ සල්ලි විපතට පත්වෙච්ච පාක්ෂිකයන් අතර බෙදන්න කියලා. එක දෙයකට වෙන් කළ මුදල් තවත් දෙයකට යොදා ගැනීම වරදක් කියලා මේ ගොල්ල දන්නේ නැහැ. රටක විපක්ෂ නායක කාර්යාලය නවීකරණය කිරීම ඒ නායකයා වෙනුවෙන් කරන පුද්ගලික උදව්වක් නොවන බවවත් මේ දේශපාලන අඳ බාලයෝ දන්නේ නැහැ. මේ කතාවත් ඒ වගේ එකක්. එ.ජා.පයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා. ඔහු අනිත් පැත්තෙන් විරුද්ධ පක්ෂ නායකයාත් වෙනවා. ඔහු කිසියම් අවස්ථාවක පොලිස් ආරක්ෂාව ඉල්ලුවොත් ඒක ලබා දෙන්න ආණ්ඩුව බැඳී සිටිනවා. ඒ වගේ ම සත්‍යග්‍රහය නවත්වන්න කියලා ඔවුන් දිස්ත්‍රික් උසාවියෙන් තීන්දුවක් ගත්තා. ඒක ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීමක්.

* රජය කල් දමා තිබුණු නගර සභා මැතිවරණය කැඳෙව්වේ මේ බෙදීමෙන් වාසියක් ගැනීමටද?

එ.ජා.පය පසුගිය දාහත් අවුරුද්දටම ප්‍රශ්නයක් නැති අවස්ථාවක් තිබුණ ද? එහෙමනම් කවදාවත් ඡන්දයක් තියන්න ලැබෙන්නේ නැහැ. එ.ජා.පයේ බෙදීම අපිට වාසියක් තමයි. මේ ප්‍රශ්නය ඇති කළේ කවුද? මේ කට්ටියම නේද රනිල් වික්‍රමසිංහව ඒකමතිකව නායකත්වයට තෝර ගත්තේ. ඒ එකඟත්වය මතම නේද? සජිත් ප්‍රේමදාසව කරු ජයසූරියව නියෝජ්‍ය නායකයා කළේ. මැතිවරණයක් කැඳවලා තියෙන අවස්ථාවක යූ.ඇන්.පියේ අර්බුදය හොඳටම පෙන්වලා තව තවත් දුර්වල කිරීම කරන්නේ අපිද? අපිට යූ.ඇන්.පියේ බෙදීමෙන් වාසි ගන්න වුවමනාවක් නැහැ. නමුත් එ.ජා.පයේ තිබෙන අර්බුදයෙන් අපිට වාසියක් ලැබෙනවා තමයි. යූ.ඇන්.පියේ අර්බුදය, බංකොළොත්කම, වගකීමක් භාර ගන්න බැරිකම මුළු රටටම පෙන්වීම ගැන මේ දෙතුන් ගොල්ලටම අපි ස්තූති කරනවා. නමුත් ඒ වාසිය නොතිබුණත් අපි කොළඹ ඇතුළු සියලුම පළාත් පාලන ආයතන දිනනවා.

* විපක්ෂය කියන්නේ රජය මැතිවරණ දිනන්නේ ආණ්ඩු බලය යොදාගෙන කියලයි.

ඔය කතාව හැම මැතිවරණ පරාජයකදීම පුරුද්දට වගේ කියන එකක්. විපක්ෂය මැතිවරණ සටනක් ගෙනියන්නේ නැතිව දැන් තියාම පරාජය පිළිගෙන නිදහසට කාරණා හොයනවා.

* යූ.ඇන්.පිය කොළඹ ජයගෙන ඉදිරි වසර තුන තුළ ඔවුන්ගේම ආණ්ඩුවක් ගෙන එන බව කියනවා. මෙය කළ හැකි දෙයක්ද?

මහ ලොකු ජන පදනමක් තියෙනවයි කියන කොළඹ නගරයට අද යූ.ඇන්.පියේ ශක්තිමත් අපේක්ෂකයෝ නෑ. දෙහිවල - ගල්කිස්සෙත් තත්ත්වය ඒකමයි. නුවරත් මේ පාර යූ ඇන් පියට නැති වෙනවා.

* දීර්ඝ කාලයක් බලයේ සිටින විට ආණ්ඩුවක ජනපි‍්‍රයත්වය පහළ බැසීම ස්වභාවිකයි. නමුත් ඊට වෙනස්ව වර්තමාන රජයේ ජනපි‍්‍රයත්වය සෑම මැතිවරණයක් අවසානයේදීම ඉදිරියට යන්නේ ඇයි?

එල්.ටී.ටී.ඊ. ය පරාජය කරන්න පුළුවන් කියලා කවුරුවත් විශ්වාස කළේ නැහැ. අයර්ලන්ත ගරිල්ලන් ඉදිරියේ බ්‍රිතාන්‍ය රජය හිරවෙලා. රුසියානු රජයත් ඒ වගේම චෙච්නියානු ගරිල්ලන් ඉදිරියේ හිරවෙලා. මුළු ලෝකයේම බලවතුන් ටික ඇමෙරිකාවත් සමඟ ගිහිල්ලා ඇෆ්ගනිස්ථානයේ හිරවෙලා. ඒ වගේ තත්ත්වයක් යටතේ ගොඩබිම් බලය, මුහුදු බලය හා ගුවන් බලය තිබුණු කුරිරුම ත්‍රස්ත සංවිධානය පරාජය කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පුළුවන් වුණා. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේදී එ.ජා.පය ජාත්‍යන්තර වශයෙන් කරන්න පුළුවන් සියලු හතරුකම් කළා. රනිල් වික්‍රමසිංහ බලන් හිටියේ ඉන්දියන් හමුදාව අද එයිද හෙට එයිද කියලා.

ඔවුන් උත්සාහ කළේ එ.ජාතීන්ගේ හමුදාවක් ගේන්නයි. ඒ සියල්ල මැද යුද්ධය දිනලා මේ රට එක්සේසත් කරපු නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂයි. ඔහු යුද්ධය කරන අතරත් රටේ ආර්ථිකය ගොඩනැඟුවා. ජීවන වියදම අඩු කළා. උද්ධමනය තනි ඉලක්කමකට අඩුකළා. රැකියා දුන්නා. චන්ද්‍රිකාගේ යුගයේ එක ව්‍යාපෘතියක්වත් කළේ නැහැ. රනිල්ගේ කාලේ කරපු දෙයක් නැහැ.  නමුත් මේ යුගයේදී හැම තැනම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා. ඒවයේ ප්‍රතිඵල මිනිස්සුන්ට ලැබෙනවා. ඒක නිසා මේ රජයට එන්න එන්න ජන පදනම ගොඩනැගෙන එක ගැන පුදුම වෙන්න හේතුවක් නෑ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා