සමහරු ඇතුළට තවත් අය එළියට

සමහරු ඇතුළට තවත් අය එළියට

හැමවිටම මාතෘ භූමියට නිදහස ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන හෝඩියේ අකුරු කරන කෝඩුකාරයන්ට දේශපාලන තක්සලාවක්ම විය. ජනතාව වෙනුවෙන් උතුම් මෙහෙවරක් කරන්නට ප්‍රතිඥා දෙන ජනතා සේවකයන්ට උත්තරීතර දේශපාලන ගමන් මග කියාදෙන උපදේශන මූලස්ථානය බවට පත්විය. මේ රටේ කැඩී බිඳී විසිරී ගිය ප්‍රගතිශීලි දේශපාලන කණ්ඩායම් ඒකරාශි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජනතා ප්‍රසාදය දිනාගත් ආකර්ශනීය බලවේගයක් බවට පත්විය. එම පක්ෂයේ 60 වැනි උපන්දිනය සැමරූ පසුගියදා අද පක්ෂයට මාර්ගෝපදේශකත්වය දෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන හාස්කමක් ගැන ඉතාමත් කෙටි විවරණයක් ඉදිරිපත් කළේ ය.

“පක්ෂ මූලස්ථානයේ දොර ඇතුළටයි - පිටටයි දෙකටම ඇරෙනවා. ඇතුළට ගිය අය සනාථයි, එළියට ගිය අය අනාථයි” ජනාධිපති කීය. සමහරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථාන දොරෙන් ඇතුළු වූයේ ජනතා බලපෑම් හමුවේ දේශපාලන සහරාවේ අතරමං වන්නට නොහැකි බැවිනි. හැමදාමත් විවරව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදර දොරටුවෙන් දෙතුන් දෙනෙකු එළියට ගියේ දොරට අගුලු දමා යතුරු ද රැගෙනය. එහෙත් ජනතාවගේ අභිලාෂයන් ඉටුකර දෙන්නට පක්ෂයට නායකත්වය දුන් අය දොරගුලු ගලවාගෙන ඇතුළට ආවේ ජනතා ආශිර්වාදය මතය. කිසිදාක දෙකඩ නොවන සේ පක්ෂය ශක්තිමත් කරන සුදුසුකම් ඇති නායකයෝ ජනතාව විසින්ම මුල් පුටුවට ගෙන එනු ලැබූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොරටුව ඇරගෙන 1964 දී 14 දෙනෙකුම එළියට ගියේ ජනතාවගේ පිරිසිදු ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදරට ඇතුළු වී එම ජනතා මතයම මුදලට පාවාදීමෙනි. එදා එසේ ගිය සියලු දෙනාම දේශපාලන කනත්තට යැවීමට ජනතාව අමතක කළේ නැත. ඒ තරමටම ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරති. ජනතාව වෙනුවෙන් ජනතාවගේම සුබසිද්ධියට බණ්ඩාරනායක රාජපක්ෂ සුසන්යෝගයෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හළ සමහරුන් එදා නතර වූයේ ස්කාගාර සංස්ථාවේ ය. ජනතාවගේ මතයට පයින් ගැසූ තවත් අය අද ඒ අඩිපාරේම යමින් සිරිකොතේ අලියාගේ දෙපාමුල දණගසාගෙන සිටිති. එසේ දණ ගසාගෙන සිටිමින් ජනතාවගේ බහුතර ඡන්දයෙන් බලයට අවුත් රට අවුල් කළ අයටත් අත වනන්නේ සිරිකොත හරහා දේශපාලන කනත්තට අවතීර්ණවීම සඳහා බව හෙට අනිද්දාම සනාථ වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා